
'පසුගිය සති අන්තයේ ජාතික ශූරතා දැල්පන්දු තරගාවලිය පැවැත්වුණේ මහනුවර, දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ය. ඒ උණුසුම තවමත් පහව ගොස් නොතිබිය දී ලොව පළමු වරට නෞකාවක පැවැත්වූ දැල්පන්දු තරගයක් ගැන තොරතුරක් අසන්නට ලැබිණි. මේ ඒ ගැන ය.'
නැවක් ක්‍රීඩා පිටියක් බවට පෙරළා ගැනීම හා ඒවායේ එවැනි ක්‍රීඩාංගණ පැවැතීම ද අසාමාන්‍ය දෙයක් නොවේ. මන්ද විශාල මගී ප්‍රවාහන නෞකා තුළ මේස පන්දු, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා පැවැත්වීමට පහසුකම් සලසා දී තිබීමයි.
නැවක් මඟින් සංචාරයේ නියැළෙන මගීහු සිය විනෝදය උදෙසා විවිධ ක්‍රීඩාවන්හි නියැළෙති. එහෙත් නෞකා-වක් තුළ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම
නම් අප අසා නොමැති කතාවකි. එය එතරම් දුලබ ගණයේ සිදුවීමකි. නමුත් පසුගිය දා සෞදි දැල්පන්දු සංසදය, සෞදි සංචාරක අධිකාරිය එක්ව අපුරූ දැල්පන්දු තරගාවලියක් සංවිධානය කළේ ය. ඒ නෞකාවක් තුළ ය.
එය පසුගිය වසරේ සැප්තැම්බරයේ සංවිධානය කෙරුණු අතර තරගාවලිය පැවැත්වුණේ සුඛෝපභෝගී නෞකාවක් තුළ සකස් කළ ක්‍රීඩාංගණයක් මත ය.
MSC Bellissima නම් නෞකාව මෙම තරගාවලිය සඳහා සත්කාරක නිවහන වී තිබිණි. නෞකාව රතු මුහුදේ ගමන් කරන අතරවාරයේ දී එම තරගාවලිය පැවැත්වීම ද විශේෂත්වයකි. මෑත ඉතිහාසයේ රතු මුහුදේ ගමන් කළ විශාලත ම මගී නෞකාව ලෙස සැලකෙන MSC Bellissima නෞකාව තුළ තරගය පැවැත්වෙද්දී මගීහු 4500 ක් පමණ ගමන් කරමින් සිටියහ.
සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලි ජීවන රටාවක් වෙනුවෙන් ක්‍රීඩාව සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමට දායකත්වය සැපයීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ බව සෞදි දැල්පන්දු සංසදය ප්‍රකාශ කළේ තරගාවලියේ අරමුණ පැහැදිලි කරමිනි. 2030 වසර වන විට එම ඉලක්කය සපිරෙනු දැකීම සිය සංසදයේ අපේක්ෂාව බව ද ඔවුහු පවසති.
සෞදි ගෝල්ඩන් ස්පෝර්ට්ස් ඇක-ඩමියේ දැල්පන්දු කණ්ඩායම් දෙකක් මෙම තරගාවලිය සඳහා සහභාගී වී තිබිණි. කණ්ඩායම් දෙක නියෝජනය කරමින් තරගයට සහභාගී වූ 32 දෙදෙනාම වයස අවුරුදු 13 ත් 23 ත් අතර ක්‍රීඩිකාවෝ වූ හ. එම කණ්ඩායම ද්විත්වය හැඳින් වුණේ ජෙඩා සහ රියාද් නමිනි.
තරගාවලියෙහි තරග තුනක් පැවැත්-වුණු අතර එම තරග තුනෙහි ම ජය රියාද් කණ්ඩායම සතු විය. මෙම නෞකා දැල්පන්දු තරගාවලිය දින තුනක් මුළුල්ලේ පැවත්විණි. දැල් පන්දුවලට අමතරව පැසිපන්දු, වොලිබෝල්, ස්කොෂ්, ටෙ-නිස් සහ ගොල්ෆ් යන ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම්වලින් ද මෙම නෞකාව සන්නද්ධ ය.
2022 වසරේ පෙබරවාරි මාසයේ ද නෞකාවක් මත තවත් මෙවන් ක්‍රීඩා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ටෙනිස් තරගයක් වන එය ඇන්ටාටික් සාගරය මධ්‍යෙය් සිදු කිරීමට නියමිත ය. ඇට්ලස් සාගර ගමන තේමා කරගෙන පැවැත්වෙන මෙම ටෙනිස් තරගයට හිටපු ඇෙමරිකානු ටෙනිස් ක්‍රීඩකයන් දෙපළක් වන ජෝන් සහ පැට්‍රික් මැකෙන්රෝ ද සහභාගී වීමට නියමිතය.