තිලක් විමලසිංහ උපහාර හොකී ශූරතාව මාතලේ ශාන්ත තෝමසුවන්ට | සිළුමිණ

තිලක් විමලසිංහ උපහාර හොකී ශූරතාව මාතලේ ශාන්ත තෝමසුවන්ට

 

වසර 35ක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබු ප්‍රවීණ හොකී ක්‍රීඩකයෙකු , පුහුණුකරුවෙකු හා ක්‍රීඩා නිලධාරියෙකු වන තිලක් විමලසිංහ මහතාගෙන් හොකී ක්‍රීඩාවට සිදු වූ සේවය අගයමින් පැවැති තිලක් විමලසිංහ උපහාර පාසල් හොකී තරගාවලියේ ශුරතාව දිනාගැනිමට මාත‍ලේ සාන්ත ‍‍තෝමස් ජාතික පාසල සමත් විය.

තිලක් විමලසිංහ උපහාර රන් කුසලාන සඳහා මාතලේ දිසාවේ පාසල් අතර ජ්‍යෙෂ්ඨ බාලක සත් සාමාජික තරගාවලියක් ලෙස මෙම තරගය පසුගිය දා මාතලේ එඩ්වඩ් ද සිල්වා හොකී ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

දිවයිනේ හොකී නිජබිම ලෙස සැලකෙන මාතලේ දිසාවෙන් බිහිවු දක්ෂ හොකී ක්‍රීඩකයෙකු වන ඒ මහතා මාතලේ හොකී පිල මෙහෙයවමින් මාතලේ පුරවරයට ලබා දී ඇති ජයග්‍රහණ රැසකි. මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පාසල් සමයේ දී ද දක්ෂ ක්‍රීඩකයෙකි.

1982 සිට 90 දක්වා ශ්‍රී ලංකා ජාතික හොකී පිල ද ඔහු නියෝජනය කර තිබේ. 1990 වසරේ ශ්‍රී ලංකා ජාතික හොකී පිලේ නායකයා වූයේ ද ඔහු ය. එම නායකත්වය යටතේ සිංගප්පූරුවේ දී පැවති ජාත්‍යන්තර පස් සාමාජික හොකී තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගත්තේ ය.

1986 වසරේ දී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස සේවයට එක්වූ ඔහු පසුව ජාතික හොකී පුහුණුකරු ලෙස ද , මාතලේ දිසා ක්‍රීඩා සම්බණ්ධීකරන නිලධාරි ලෙසද සේවය කළේ ය.

ඔහුගෙන් සිදුවූ සේවාව අගයමින් පැවැති මෙම තරගාවලිය පාසල් කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල සහ ක්‍රිස්තුදේව ජාතික පාසල අතර පැවැත්වුණු අතර දෙපිලම නියමිත කාලය තුළදි ගොල් වාර්තා කිරිමට අසමත් විය. පසුව ලබාදුන් දඩුවම් පහර වාරය ද ගෝල් 7-7 ක් ලෙස සම දක්ෂතා දැක්වීය.

පැවති කාලගුණික තත්ත්වයමත කාසියේ වාසියෙන් සාන්ත තෝමසුවට ශුරතාව හිමිවිය.ශුරතාවය දිනු තෝමස් කණ්ඩායම මදුෂාන් බණ්ඩාර හේරත් සහ අනු ශුරතාව දිනු ක්‍රිස්තුදේවය හේෂාන් දොඩංවල විසින් මෙහෙය වූ හ.

අවසන් මහා තරගය ඩි ආර්.බී දිසානායක සහ ඉන්දික ජයවර්ධන යන විනිසුරුවන් විසින් විනිශ්චය කළහ.තරගාවලියේ දක්ෂතම දැල්රකින්නා ලෙස ක්‍රිස්තුදේව විද්‍යාලයේ දුෂේන් පබසර ගුණවර්ධන සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශාන්ත තෝමස් විදුහලේ ළහිරු මධුශංක රත්නායක සම්මාන ලැබූ හ.

මෙම තරගාවලියේ ජයසංකේත ප්‍රදානය මාතලේ දිසා හොකී සංගමයේ සභාපති පාර්ලි‍මේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. එම අවස්ථාවට තිලක් විමලසිංහ මහතා ඇතුළු ආරාධිතයන් රැසක් එක්වූ හ.

 චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිදගොඩ - මාතලේ දිසා විශේෂ වාර්තාකරු

Comments