
තෝරු මෝරු හැපෙන විට තැළෙන්නේ පොඩි වෙන්නේ හාල් මැස්සන්ය. ජාතික ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසානය සනිටුහන් වූයේද එලෙසම ය. විශිෂ්ට දක්ෂතා දැක්වූ කණ්ඩායම් දෙකක් මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් උණුසුම් හැඟීම්වලින් පුරවමින් පැවැති අවසන් මහා තරගයෙන් සුපුරුදු ලෙස ම ජය හිමිකර ගත්තේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමයි.
පසුගිය කාලයේ අඛණ්ඩව ජයග්‍රහණය කළ හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ කිරුළ පහසුවෙන් රැගෙන යෑමට උත්සාහ කළද හිටපු ශ්‍රී ලංකා නායිකා චතුරංගී ජයසූරිය ප්‍රමුඛ දැල්පන්දු ශූරියන් රෑන එය එසේ සුමට ලෙස රැගෙන යෑමට හැටන් නැෂනල් බැංකු පිලට අවස්ථාව ලබා නොදුන්හ.
ඔවුන් පසුපස පන්නමින් විටෙක ඔවුනට වඩා දක්ෂතා දක්ව-මින් අවසන් මහා තරගයක උණුසුම කදිමට තරගයට කාවැද්දී-මට එහෙයින් ඔවුනට දායකත්වය ලබා දීමට හැකි විය. දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඔබමොබ ගිය පන්දු හුවමාරු කිරීම් අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් යොදාගත් පන්දු හුවමාරු තාක්ෂණය වඩාත් ආකර්ෂණීය විය.
ක්‍රීඩාව පිළිබඳ අවබෝධයක් සහිත දැල්පන්දු ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය පුහුණුකාරිනියන් රැසක් මෙම අවස්ථාවේ දී ගුවන් හමුදා ක්‍රීඩා රටාව කෙරේ ආකර්ෂණය වී ඔවුන් වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නඟනු දක්නට ලැබිණි.
එහෙත් සියල්ල අවසානයේ බලය ඇති තැනට බලය කැටිවෙන්නාක් මෙන් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම වෙත විනිසුරුවන්ගේ ආකර්ෂණයක් ද යම් පමණකට බලපෑ බවක් දක්නට ලැබුණේ ඇතැම් තීරණ අතිශය තීරණාත්මක මොහොතක ඔවුනට පක්ෂපාත වීමත් සමඟ ය.
එම තීන්දු අභියෝගයට ලක්කරන්නට දැල්පන්දු නීතියට අනුකූලව කණ්ඩායමක පුහුණුකාරිනියකට අවසර නොතිබුණද ගුවන් හමුදා කණ්ඩායමේ දැල්පන්දු පුහුණුකාරිනිය විනිසුරුවන් ප්‍රශ්න කරන්නට උත්සාහයක් දරන තත්ත්වය දක්වා එම විනිසුරු තීරණ තීරණාත්මක වනු දක්නට ලැබිණි. අවසානයේ ගුවන් හමුදා පුහුණුකාරිනියට අවවාද කිරිමට පිටියේ කටයුතු කළ විනිසුරුවන් ක්‍රියා කරනු ලැබිණි.
මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේම ජාතික ක්‍රීඩිකාවන්ගේ නියෝජනයක් දක්නට ලැබුණු නමුත් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම මෙහි පැමිණ තිබුණේ අතීතයේ තමන් දිනාගත් යශෝ කීර්තියද සමඟින් වන හෙයින් ඔවුනට යම් පක්ෂපාතීත්වයක් නිබඳව හිමිවුණේ ද නැද්ද යන්න ගැන විමසිලිමත් විය යුතු ය. අවසන් තරගය නැරඹූ මැදහත් මතධාරීන් බොහෝ දෙනෙක් ගේ අදහස වූයේ විනිශ්චය මීට වඩා තීරණාත්මක වූවා නම් තරගය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි.
තරග ප්‍රතිඵලය
අවසන් මහා තරගයේ පළමු වටය 10-09 ක් වශයෙන් ගුවන් හමුදා කණ්ඩායම ජය ගත්තේ ය. දෙවැනි වටය 13-09 ක් වශයෙන් තමන් වෙත නැඹුරු කරගත් ජයග්‍රහණයක් බවට පත්කර ගන්නට පළපුරුදු හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවන් සමත් වීමත් සමඟ තරගය වඩාත් උණුසුම් විය. ඒ උණුහුම ඉදිරියට රැගෙන ගිය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තෙවැනි වටය ජයගත්තේ 11-09 ක් වශයෙනි. එහෙත් යළි තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා කණ්ඩායම 11-06 ක් වශයෙන් සිව් වැනි වටය ජය ගැනීමත් සමඟ ලකුණු තත්ත්වය 39-39 ක් වශයෙන් සම විණි.
නියමිත තරග වට හතර අවසානයේ එසේ සම ලකුණු තත්ත්වයක් හිමි වීමත් සමඟ කියැවුණේ දෙපිලම ශූරතාව අතහැරීමට ඇති අකමැත්තයි. ඒ අනුව තරගාවලි සංවිධායක-යන් තීරණය කළේ හැකි කණ්ඩායමකට ශූරතාව හිමි කර ගැනීම වෙනුවෙන් අතිරේක කාලයක් ලබා දී තරගය පැවැත්වීමට ය.
එසේ ලබා දුන් පළමු අතිරේක කාලය අවසන් වූයේද දෙපිලම ලකුණු සම කර ගනිමිනි. ඒ අනුව තවත් අතිරේක කාලයක් පිරිනැමීමට තීරණය විණි. මේ අවස්ථාව වන විට හැටන් නැෂනල් බැංකු පිල තමන්ගේ ක්‍රීඩිකාවන්ගේ ශක්තිය වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පසුබැස්සවීමට උත්සුක වනු දක්නට ලැබුණු නමුත් 47-47ක් වශයෙන් ලකුණු සම විණි.
ඒ අනුව අතිඋද්වේගකර තරගයක් නරඹමින් සිටි දිගන දැල්පන්දු ප්‍රේක්ෂකයිනට පිට පිට ලකුණු දෙකක් රැස් කරන කණ්ඩායමට කිරුළ ප්‍රදානය කිරීමේ තීරණයට එළැඹි සැණින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සිය අත්දැකීම් භාවිතයට ගනිමින් ඉක්මනින් ලකුණු 2 ක් රැස් කරගත් අතර අවසානයේ 49-47 ක් ලෙස මෙම ජාතික දැල්පන්දු කිරුළ ඔවුන් සතු විය.
හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් වන දුලංගි වන්නිතිලක, ගයාංජලී අමරවංශ, ගයනී දිසානායක, දර්ශිකා අබේවික්‍රම ඇතුළත් වූ හ. තරගාවලියේ දැල්පන්දු රැජින වශයෙන් සම්මාන දිනූයේ එම කණ්ඩායමේ මල්මී හෙට්ටිආරච්චි ය.
ගුවන් හමුදා පිල වෙනුවෙන් දක්ෂතා දැක්වූවන් අතර ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා චතුරාංගී ජයසූරිය මෙන්ම දුලංගා ධනංජනී. තිළිණි වත්තේගෙදර, සුරේඛා කුමාරී, රශ්මි පෙරේරා, රුක්ෂිලා හපුආරච්චි හා තිවංකා පෙරේරා වැන්නෝ ඇතුළත් වූහ.
අවසන් පූර්ව වටයේ දී හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ කුරු-ණෑගල කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර, ගුවන් හමුදාව පෙරට පැමිණියේ යුද හමුදාව පරාජය කරමිනි. එම තරගයේ දී ද දෙපිලේ ලකුණු සමවූයෙන් අතිරේක කාලයක් ක්‍රීඩා කරමින් අවසන් මහා තරගයට එක්වන ජයග්‍රාහකයා කවුරුන්ද යන්න පිළිබඳ තීරණය කෙරිණි. කිහිපයක් හේතුවෙන් ලකුණු 10-5ක් ලෙස ජයග්‍රහණය ගුවන් හමුදාව තමන් සතු කර ගත්තේ ය.
මෙවර සම්මාන ප්‍රදානය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහභාගි වූ අතර දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී රංජනී ජයකොඩි මහත්මියද එම අවස්ථාවට සහභාගි වූවා ය. මෙවර සම්මාන බෙදී ගිය ආකාරය මෙසේයි.
දක්ෂත ම පන්දු විදින්නිය - දර්ශිකා අබේවික්‍රම (හැටන් නැෂනල් බැංකුව), දක්ෂත ම මැද පෙළ ක්‍රීඩිකාව - ගයාංජලී අමරවංශ (හැටන් නැෂනල්), දක්ෂත ම ප්‍රහාරිකාව - චතුරංගී ජයසූරිය (ගුවන් හමුදාව), දැල්පන්දු රැජින -මල්මී හෙට්ටිආරච්චි
ඡායාරූප - සුනිල් ගුණවර්ධන (කුණ්ඩසාලේ සමූහ)