
ක්‍රිකට් යනු සුවිශේෂී ක්‍රීඩාවකි. ඇතැමුන් කියන්නේ එය අර්ධ ක්‍රීඩාවක් කියාය. කෙසේ නමුත් ලෝකයේ දැන් දැන් බොහෝ රටවල් හි ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියවෙමින් තිබේ. එවැනි තත්ත්වයක් යටතේ එම තරගාවලිය විවිධ නව්‍යකරණයන්ට ලක්වෙමින් ඉදිරියට ගලායමින් තිබේ. ඒ කෙසේ වෙතත් තරගයක ජයග්‍රහණය හෝ පරාජය සම්බන්ධයෙන් සලකද්දී පිතිකරුවන්ගේ භූමිකාව මෙතැනදී සුවිශාල එකකි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ට තරග නිමකරන්නන් බවට පත්වූ පිතිකරුවන් අතර වඩාත් මතකයට එන ක්‍රීඩකයන් කීපදෙනෙක් සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් වර්ණිතය.
පීඩනය දරා ගනිමින් එය කළමනාකරණය කර තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන පිතිකරුවන් අතර විශිෂ්ට ක්‍රීඩකයන් දස දෙනා කවුරුන්දැයි යන්න පිළිබඳ පසුගිය කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය විශ්ලේෂණයක නියැලී තිබිණි. එක්දින තරගයක් වඩාත් සාර්ථකව අවසන් කරන්නා ලෙස ඔස්ට්‍රේලියාවේ මයිකල් බෙවන් පසුගිය සතියේ ගේ විශේෂාංගයක් 'ක්‍රීඩා' පුවත්පතේ පළවීමෙන් අනතුරුව ලෝකයේ හොඳම තරග අවසන් කරනනන් දස දෙනා පිළිබඳ මෙම ලිපිය මගින් කතාකරනු ලබයි. එහෙත් මෙම ලිපිය ලිවීමේදී පළමුවෙන්ම දැක්විය යුත්තේ මෙරට විශිෂ්ටතම තරග අවසන් කරන්නකු ලෙස සැලකෙන අර්ජුන රණතුංග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් කරුණු දක්වා නොතිබීමයි. අවම වශයෙන් ඔහුගේ නම හෝ වෙනත් ශ්‍රී ලාංකික සුපිරි පිතිකරුවකුගේ නම පවා ඊට ඇතුළත් කිරීමෙන් මගහැර සිටීමට ඔවුහු කටයුතු කර තිබීමද මෙහිදී දක්වා ලිය යුතුය.
ලොව හොඳම තරග අවසන් කරන්නෝ
01 එම්.එස්.දෝනි
ඔහු සලකන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථක තරග අවසන් කරන්නා ලෙසය. දෝනි ඔස්ට්‍රේලියාවේ මයිකල් බෙවන්ටත් වඩා තරග සම්පූර්ණ කිරීමේ විශිෂ්ටයෙකි. දෝනි සතු විශ්වාසය හා සැලසුම් සහගතව තරගයක් පිළබඳ ගණනය කිරීමට ඇති හැකියාව ඔහු විශිෂ්ටතම තරග නිමකරන්නා ලෙසින් ලෝකයේ ක්‍රිකට් විචාරකයන්ගේ ගෞරවාදරයට ලක්කළේ ය.
කිසිසේත්ම ජයගැනීමට හැකිවෙතැයි විශ්වාස නොකළ තරග ඉන්දියාවට ජයග්‍රහණය කර දීමට ඔහුගේ පිතිහරඹය හා නායකත්වයේ ගුණාංග බොහෝ ප්‍රයෝජනවත් විය.
02 ඒ.බී. ඩිවිලියර්ස්
360 මහත්තයා යැයි හඳුන්වන ඩිවිලියර්ස් ලෝකයේ පහළ වූ අතිවිශිෂ්ට තරග නිමකරන්නෙකි. ඔහු පිටියේ ඕනැම දිශාවකට පන්දු පහර එල්ල කිරීමට දක්ෂයකු වීම හේතුවෙන් 360 මහතා ලෙසින් හැඳින්වේ. එසේ පිටියේ විවිධ දිශාවන්ට පහර එල්ල කිරීමේදී ඔහු කොතරම් විශිෂ්ටද යත් එකම තැනට පතිත වන පන්දුව පිටියේ එකිනෙකට වෙනස් දිශාවන්ට හරවා යැවීමට තරම් ඔහු දක්ෂයෙක් බව කියැවෙයි.
03 අබ්දුල් රසාක්
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නකු වූ රසාක් වඩාත් ප්‍රකට පන්දුයවන පිතිකරුවකු ලෙසය. එරට පසුපෙළ පිතිහරඹ ලැයිස්තුව ශක්තිමත් කරන්නකු වශයෙන් ඔහු තරග රැසක් පාකිස්තානය වෙනුවෙන් වෙනස් කිරීමට මූලික වී ඇත. වරක් ඔහු පාකිස්තානය වෙනුවෙන් පන්දු එකොළහකදී ලකුණු 47ක් රැස් කළ නමුත් එය වේගවත්ම අර්ධ ශතකය දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව ඔහු සතුනොවිණි.
04 සහීඩ් ඇෆ්රිඩි
පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට සැමවිටම රුචිකත්වයක් දැක්වූ පිතිකරුවෙකි. තමන් වටා සිටින ක්‍රීඩක වළල්ල නොමැති දිශාවන් මනසේ ඇඳගනිමින් ක්ෂණයෙන් ප්‍රහාරයක් දියත් කළ හැකි පිතිකරුවකු ලෙස ඇෆ්රිඩි සැලකේ. ඔහු ක්‍රීඩා කරන සමයේ විචාරකයන් පැවසූයේ සහිඩ් ඇෆ්රිඩි ක්‍රීඩාගාරයට හැරී ගොස් නොමැති නම් තරගයක ජයග්‍රහණය, පරාජය ගැන කිසිවක් කියන්නට නොහැකි බවයි. වරක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගයකදී රවිචන්ද්‍ර අෂ්වින්ට එරෙහිව පිට පිට පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කරමින් තරගයක් ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය ඊට ප්‍රබල උදාහරණයකි.
05 මයිකල් බෙවන්
පසුගිය සතියේ අප ලියා දැක්වූ විශේෂාංගයේ කතානායකයා වන බෙවන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශේෂ දක්ෂතා දක්වා ඇති තරග නිමකරන්නෙකි. අංක හය ස්ථානයේ පිටියට පිවිස ඕනෑම තරගයක් සැණෙකින් වෙනස් කරන්නකු වශයෙන් ඔහු සලකනු ලැබේ.
06 ලාන්ස් ක්ලූස්නර්
සුලු ගෝත්‍රය නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වූ පළමු ක්‍රීඩකයා ලෙස සැලකුණු ලාන්ස් ක්ලූස්නර් ද විශිෂ්ට තරග නිමා කරන්නෙකි. මුල් පන්දුවාර කීපයේ යාර තිහේ සීමාවට ඉහළින් පන්දුවට දෙන ඔහු තරගයක අවසන් පන්දුවාර අට හෝ දහය තුළ කඩුල්ලෙන් ඉදිරියට පැමිණෙමින් පන්දුයවන්නන් අන්දමන්ද කරවන ප්‍රහාරකයෙකි.
07 මයිකල් හසී
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු වශයෙන් කටයුතු කළ මයිකල් හසී සුදු පන්දුවට එරෙහිව ක්‍රීඩා කිරීමේ විශේෂඥයකු ලෙසින් සැලකේ. ඔහු වරක් පාකිස්තානයට එරෙහිව අවසන් පන්දුවාරයේ දී රැස්කිරීමට තිබූ ලකුණු දහ අටක ඉලක්කය පිට හයේ පහර දෙකක් එල්ල කර යළි සිව්වැනි පන්දුවේදී තවත් එවැනිම හයේ පහරකින් සම්පූර්ණ කළේ ය.
08 විවියන් රිචඩ්ස්
විව් රිචඩ්ස් කිසිදු තර්කයකින් තොරව සලකනුයේ පිතිකරුවන් අතර විනාශකාරී පිතිකරුවා ලෙසය. තරග ස්වරූපය වෙනසකට භාජනය කළ විව් ගේ ප්‍රහාරක රිද්මය හා සමාන කළ හැකි වේගයකින් පන්දුවට පහරදෙන පිතිකරුවන් කීපදෙනෙක් පසුකාලීනව ලෝකය තුළ බිහිවිය. එහෙත් මේ අතරින් තවමත් ලොව පහළ වූ සාර්ථකම තරග නිමා කරන්නෙක් ලෙසින් සලකනු ලබන්නේය.
09 ජාවඩ් මියන්ඩාඩ්
ජාවඩ් මියන්ඩාඩ් යැයි කියූ සැණින් නූතන පරපුරේ මතකයට ඇතැම්විට ඔහුගේ පිතිහරඹය සිහියට එන්නේ නැත. එහෙත් කඩුල්ල මත ඇවිදිමින් පන්දුයවන්නන් අන්දමන්ද කරමින් හා ඔවුන්ගේ ඉලක්ක විසුණු කරන පිතිකරුවකු ලෙස ඔහු සැලකෙයි. ඔහු තම ඉනිම අරඹන්නේ ඉතා සන්සුන් ආකාරයෙන් වුවත් පසුව එය මහා සුළි කුණාටුවක් තරමට චණ්ඩ ස්වරූපයකට හරවා ගනී. අසීරු අවස්ථාවකට පැමිණ සිටින මොහොතක කිසිවිටෙකත් පසුබෑමට ලක් නොවූ පිතිකරුවකු වශයෙන් ක්‍රීඩා කළ මියන්ඩාඩ් සැලකුවේ සිංහ හදවතක් සහිත ක්‍රීඩකයා කියාය.
10 ජොස් බට්ලර්
බට්ලර් සැලකෙනුයේ විශ්වාස කළ නොහැකි ආකාරයේ පිතිකරුවකු වශයෙනි. කඩුලු රකින්නකු වශයෙන් ද කටයුතු කරන ඔහුගේ එක්දින ප්‍රහාරක වේගය 116.97 කි. සෑමවිටකම තම කණ්ඩායම පහළ වැටීමට ඉඩනොදී වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාව සහිත පිතිකරුවකු සේ සැලකෙන බට්ලර් කිසිදු තර්කයකින් තොරව වර්තමාන ක්‍රිකට් පිටියේ දක්නට ලැබෙන ඉතා විශිෂ්ට තරග නිමාකරන්නෙක් සේ සැලකේ.