අයි.පී.එල්. ලංසුවට ක්‍රීඩකයෝ පෝලිම් ගැසෙති | සිළුමිණ

අයි.පී.එල්. ලංසුවට ක්‍රීඩකයෝ පෝලිම් ගැසෙති

 

ටාටා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (2022) ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 යන දිනවල දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. මෙවර වෙන්දේසිය පැවැත්වෙන ස්ථානය ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

ඒ අනුව අයි.පී.එල්. තරගාවලියේ 15 වැනි අදියර මෙම වසරේ මාර්තු සහ මැයි අතර කාලය තුළ දී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

තරගාවලියේ නිල ආරම්භය අප්‍රේල් 2 වැනි දා ලෙස නිවේදනය කර තිබුණ ද, සමහර මාධ්‍ය සඳහන් කරන්නේ තරගාවලිය සතියකට පෙර, එනම් මාර්තු 27 වැනි දා ආරම්භ කරනු ඇති බවයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 10 ක් සහභාගි වේ. ඒ අනුව පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 60 සිට 74ක් දක්වා වැඩි කර ඇති අතර, හැකිතාක් දිවා තරග සංඛ්‍යාව අඩු කර ගැනීමට අයි.පී.එල්. සංවිධායකයෝ අපේක්ෂා කරන බව ප්‍රකාශිත ය.

ඒ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය මාර්තු 27 විය යුතු බව කණ්ඩායම් හිමිකරුවන් කීපදෙනකුගේ ම කැමැත්ත වී ඇත. කෙසේ නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගය මාර්තු 18 ලක්නව් හි ක්‍රිඩා කිරීමෙන් පසු දින 14 ක නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කළහොත් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක දිනය අප්‍රේල් 2 දා විය හැකි යැයි පැවසේ.

මෙවර තරගාවලිය වෙනත් රටකට රැගෙන යෑමේ කිසිදු අරමුණක් නැතැ-යි ද දැනටමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා ඇත.

'කණ්ඩායම් හිමිකරුවන් බහුතරය-කගේ මතය තමයි තරගාවලිය ඉන්-දියාවේ දී පැවැත්වීම. මෙවර තරගාවලිය සඳහා අහ්මදාබාද් සහ ලක්නව් යන නගරවලින් කණ්ඩායම් දෙකක් එකතු වන නිසා පාලක මණ්ඩලය ද තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට අපේක්ෂා කරනවා. අපි තරගාවලියේ පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව කිසි විටෙක නොසලකා හැර නෑ. කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදයත් සමඟින් දෙවැනි සැලැස්මක් ගැනත් මීට සමගාමීව අවධානය යොමු කර තිබෙනවා.' ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් හිමිකරුවන් සියල්ලන් පවසා ඇත්තේ මෙවර තරගාවලිය මුම්බායි හෝ පූනේ කේන්ද්‍ර කරගෙන පැවැත්විය යුතු බවයි.

එහෙත්, කොවිඩ් වසංගතයේ කිසියම් හෝ බලපැමක් මත තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට අවසර නොදෙන්නේ නම්, මෙවරත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙනු ඇත.

මේ අතර ටාටා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා එක්-වන නව කණ්ඩායම් දෙක වන අහ්මදාබාද් සහ ලක්නව් කණ්ඩායම් සිය කණ්ඩායම් මිල දී ගත් ක්‍රීඩකයන් ‌පිළිබද තොරතුරු නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ ලබන මාසයේ පැවැත්වෙන ක්‍රීඩක වෙන්-

දේසියට පෙර ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් මිල දී ගැනීමට අවසර ලබා දී ඇති හෙයිනි. මෙම අවස්ථාව උපයෝගී කර ගනිමින් ලක්නව් කණ්ඩායම විසින් කේ.එල් රාහුල්, රවී බිෂ්නෝයි හා ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස් සමඟ ගිවිසුම් ගතව ඇත.

රාහුල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 17 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 46 ක් පමණ) ගෙවා ඇති අතර, එය ඉතිහාසගත වුණේ අයි.පී.එල් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයකු සමඟ ගිවිසුම්ගත වූ සම ඉහළ ම වටිනාකම ලෙස ය. මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම 2018 දී විරාත් කෝලි සමඟින් එම මිලට ම ගිවිසුම්ගතව තිබිණි.

ලක්නව් කණ්ඩායම විසින් ස්ටොයිනිස් මිලදී ගෙන ඇත්තේ ඉන්-දීය රුපියල් කෝටි 9.2 කට ය. බිෂ්නෝයි වෙත ඔවුන් ගෙවා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 4 කි.

මේ අනුව ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලක්නව් කණ්ඩායම මුහුණ දෙන්නේ එම කණ්ඩායම සන්තකයේ ඉන්දීය රුපියල් කෝටි 60 ක මුදලක් ඉතිරි කර ගනිමිනි.

අහ්මදාබාද් කණ්ඩායම හර්ද්‍රික් පාන්ඩ්යා, ෂුබ්මන් ගිල් හා ඇෆ්-ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමඟ ගිවි-සුම් ගතව තිබෙන අතර පාන්ඩ්යා හා රෂීඩ් ඛාන් සඳහා එම කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 15 බැගින් ගෙවා තිබේ. ෂුබ්මන් ගිල්ට ගෙවා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 8 කි.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියට අහ්මදාබාද් කණ්ඩායම ඉදිරිපත් වන්නේ සිය කණ්ඩායම සන්තකයේ ඉන්දීය රුපියල් කෝටි 50කට අධික මුදලක් ඉතිරි කර ගනිමිනි.

හර්ද්‍රික් පාන්ඩ්යා අහ්මදාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ තිබේ.

මෙවර ටාටා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය 20 වැනි දා අවසන් විණි. මෙවර වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1,214 දෙනකු ලියාපදිංචි වී ඇත. ඊට ඉන්දීය ක්‍රීඩකයන් 896 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් 318 දෙනෙකු ඇතු-ළත් ය.

ලියාපදිංචි වූ ක්‍රීඩකයන් අතරින් 270 දෙනකු ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන ඇති ක්‍රීඩකයන් වේ. 903 දෙනෙකු මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති අයවලුන්ය. ටෙස්ට් වරම් දිනා නොමැති රටවල ක්‍රීඩකයන් 41 දෙනකු ද මෙවර වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබේ.

ක්‍රීඩක වෙන්දේසිය සදහා වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙනි. එම සංඛ්‍යාව 59 කි.

දකුණු අප්‍රිකාවෙන් 48 ක්, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් 41 ක්, ශ්‍රී ලංකාවෙන් 36 දෙනෙකු ද වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති.

ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමි වන ක්‍රීඩක ලැයිස්තුවට ක්‍රීඩකයන් 49 දෙනෙකු ඇතුළත් ය. ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයන් 17 දෙනෙකු එක්ව ඇත. පසුගියදා පැවති විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ වීරයා වූ ඩේවිඩ් වෝනර් සහ අවසන් තරගයේ වීරයා වූ ඔහුගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයා වූ මිචෙල් මාෂ්, ඔවුන්ගේ මූලික මිල උපරිමයට ලැයිස්තුගත කර ඇති ක්‍රීඩකයන් 49 දෙනා අතර සිටී.

ඒ අතර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පන්දු යවන්නා වන වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් සහිත කාණ්ඩයට ලියාපදිංචි වී තිබීම විශේෂත්වයකි.

සෑම කණ්ඩායමකටම උපරිම වශ-යෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකි අතර, තරගාවලියට එක්වන කණ්ඩායම් 10 විසින් මේ වන විටත් ක්‍රීඩකයන් 33 දෙනෙකු රඳවා ගැනීමට හා මිල දී ගැනීමට කටයුතු කර තිබේ. ක්‍රීඩකයන් 33 දෙනෙකු රඳවා තබා ගැනීමට සහ අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දහය දැනටමත් ඉන්දීය රුපියල් කෝටි 338 ක ට ආසන්න මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 45 ක් පමණ) වැය කර ඇත.

විවිධ රටවලින් ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇති ආකාරය

ඔස්ට්‍රේලියාව 59, දකුණු අප්‍රිකාව 48, බටහිර ඉන්දීය කොදෙව් 41, ශ්‍රී ලංකාව 36, එංගලන්තය 30, නවසීලන්තය 29, ඇෆ්ගනිස්තානය 20, නේපාලය 15, අමෙරිකා එක්සත් ජනපදය 14, බංග්ලාදේශය 9, නැම්බියාව 5, අයර්ලන්තය 3, ඕමානය 3, සිම්බාබ්වේ 2, භූතානය 1, නෙදර්ලන්තය 1, ස්කොට්ලන්තය 1, එක්සත් අරාබි එමීර් රාජ්‍ය 1

බන්ධුල ජයමාන්න

Comments