මතකයේ දිදුලමින් සමුගත් මිනිසා | සිළුමිණ

මතකයේ දිදුලමින් සමුගත් මිනිසා

 

පාකිස්තානයෙන් ක්‍රිකට් ලෝකයට තිළිණ වූ විශිෂ්ට ක්‍රීඩකයෝ බොහෝ ය. එදා මෙදා තුර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පෙළහර පෑ බොහෝ දෙනෙක් අද වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන පුරාවෘත්ත වශයෙන් මතකයේ ස්ථිර අවකාශයක් වෙන් කර ගෙන අවසන් ය.

 

වසීම් අක්‍රම්, වකාර් යුනිස්, සහීඩ් ඇෆ්රිඩි, සහීඩ් අන්වර්, ඉම්රාන් ඛාන් ආදි ක්‍රීඩකයෝ එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටිති. පකිස්තානයෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් සුරුවෙක් වන මොහොමඩ් හෆීස් පසුගිය දා තමන් වෙනුවෙන් ද එකී මතක ගොනුවේ ස්ථිර අවකාශයක් හිමි කර ගැනීමට සමත් වූයේ ය. ඒ තමන් අන්තර්ජාතික ක්‍රීඩා දිවියට සමුදෙන බව නිවේදනය කිරීමත් සමඟ ය.

2003 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පා තබන මොහොමඩ් හෆීස් ඒ අනුව වසර 18 ක අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතයට තිත තබමින් පිටියෙන් නික්ම යන්නේ ය. 1980 පකිස්තානයේ පන්ජාබ්හි සර් ගෝධා ගම්මානයේ උපන් හෆීස් කුඩා කල සිට ම ක්‍රිකට් පිත්තට සහ පන්දුවට මහත් ඇල්මක් දැක්වීය. “මම කවදා හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනවා” යන අරමුණැති වැකිය ඔහුගේ මුවගින් නිතර ම කියැවිණි. නමුත් ඔහුගේ මාපියන් ඔහුගේ අරමුණ පිළි-

බඳ ව එතරම් සතුටක් පළ නොකළ අතර, හෆීස් කවදා හෝ ඉංජිනේරුවරයෙක් වනු දැකීම ඔවුන්ගේ සතුට විය.

කෙසේ නමුත් කල් ගත වෙත්ම හෆීස් වඩාත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට බව ඔහුගේ දෙමාපියෝ වටහා ගත්හ. හෆීස්ගේ අරමුණ පසක් කරමින් 2003 වසරේ දී ඔහුට පාකිස්තාන ජාතික කණ්ඩායම හා එක්වන්නට අවස්ථාව උදා විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් ලැබූ ඔහු ඊට සිව් මසකට පසු බංග්ලාදේශය සමඟ පළමු ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කළේ ය. ටෙස්ට් තරග 55 ක දී ලකුණු 3652ක් සහ කඩුලු 53ක් ද එක්දින තරග 218ක දී ලකුණු 6614ක් සහ කඩුලු 139ක් ද විස්සයි20 තරග 119කදී ලකුණු 2514ක් සහ කඩුලු 61ක් ලෙස ඔහුගේ දක්ෂතා ලැයිස්තුගත වී ඇත.

හෆීස් පාකිස්තාන විස්සයි20 ජාතික කණ්ඩායමේ නායකත්වය ද දැරූ අතර, පාකිස්තාන විස්සයි20 තරග ඉතිහාසයේ වැඩි ම තරගාවලි ජයග්‍රහණ සංඛ්‍යාවකට නායකත්වය දුන් ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වී ඇත. අඛණ්ඩව තරග 3ක දී අර්ධ ශතක රැස් කළ පළමු පාකිස්තාන නායකයා වන්නේ ද හෆීස් ය. 2011 වසරේ දී ලෝක xi ටෙස්ට් කණ්ඩායමටත් 2013 වසරේ දී ලෝක T20 xi කණ්ඩායමටත් 2014 වසරේදී ලෝක එක්දින xi කණ්-ඩායමටත් හෆීස්ව නම් කරන්නට අයි.සී.සීය කටයුතු කළේ ඔහුගේ විශිෂ්ට දස්කම් පදනම් කර ගෙනය. පකිස්තාන් සුපර් ලීග්, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්, කැරිබියන් ප්‍රිමියර් ලීග් ආදි ප්‍රිමියර් ලීග් තරගාවලි රාශියක් තුළ ද හෙතෙම ක්‍රීඩා කර තිබේ.

මොහොමඩ් හෆීස් ක්‍රිකට් ජීවිතයේ අභියෝග රාශියකට මුහුණ දුන් ක්‍රීඩ-කයෙකි. 2003 වසරේ අග භාගයේදී ඔහු දිගින් දිගට ම අන්තර්ජාතික පිටි-යෙහි දස්කම් අතර, නොපැමිණි අතර එම නිසා වසරක පමණ කාලයක් ඔහුට අන්තර්ජාතික පිටි‍යෙන් ඉවත්ව සිටින්නට සිදු විය. 2014 වසරේ සිට තෙවතාවක් ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව අයිසීසීයට ප්‍රශ්න සහගත විය. 2014 නොවැම්බර් මස නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියක දී ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී යැයි චෝදනා එල්ල කෙරුණි. මසක් ඇතුළත හෆීස් ඊට වැරදිකරු වූ අතර ඔහුට ක්‍රිකට් තහනමක් පැනවිණි. 2015 වසරේ දී ඔහු නැවතත් සිය පන්දු යැවීම අයි.සී.සීය ඉදිරියේ තක්සේරු කරවා ගැනීමට කටයුතු කළේය. 2017 සහ 2019 වසරවල දී ද හෆීස්ට එම චෝදනාව එල්ල කෙරුණු අතර එම දෙවතාවේදීම ඔහුට තහංචි පැනවීමට බලධාරීන් කටයුතු කරන ල දී.

මොහොමඩ් හෆීස් ක්‍රිකට් ක්‍රීඩාවෙහි තුන් ඉරියව් දක්ෂයෙක් වනවා සේම

අන් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ක්‍රිකට් පිළිබඳ ව දැනුමකින් සහ අවබෝධයකින් පරිපූර්ණ ක්‍රීඩකයෙක් ලෙස බොහෝ දෙනා අතර පිළිගැනීමට ලක් වෙයි. එම නිසා මොහොමඩ් හෆීස් සිය ක්‍රීඩා සගයන් අතර මහාචාර්ය (ප්‍රොෆෙසර්) යන නික් නාමයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් ව සිටියි. ක්‍රිකට් විචාරකයන් සහ අදහස් දක්වන්නන් හෆීස්ව ආමන්ත්‍රණය කරන්නේ Snake of Sargodha යන අන්වර් ථ නාමයෙනි. ඔහු ලකුණු ලබා ගැනීමට කඩුලු අතර දිව යෑමේදී අනුගමනය කරන සිග්සැග් රටාව නිසා එම නාමය ඔහුට අන්වර්ථ වී ඇත.

2007 වසරේදී හෆීස්, නාසියා හෆීස් නම් තරුණිය සමඟ විවාපත් වූ අතර, අද වන විට ඔවුන්ට රොෂාන් හෆීස් සහ අමල් හෆීස් නමින් දරු දෙදෙනෙක් ද වෙති. රොෂාන් හෆීස්ද තම පියාගේ අඩි පාරෙහි ගමන් කරමින් මේ වන විටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා අතරට පැමිණ සිටියි.

 

Comments