බිමන්දි බණ්ඩාර ‘ආර්යා’ මේස පන්දු ශූරතාව දිනයි | Page 2 | සිළුමිණ

බිමන්දි බණ්ඩාර ‘ආර්යා’ මේස පන්දු ශූරතාව දිනයි

 

ජාතික කනිෂ්ඨ ශුරතා තරගාවලියේ දී මෙන්ම 74 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශුරතා තරගාවලියේ දී ද අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙනුර සිල්වා නැවත වතාවක් රිද්මානුකූල ක්‍රීඩා රටාවක නිරත වෙමින් ඉකුත් සතියේ බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාගාරයේ දී නිමාව දුටු "ආර්යා අභියෝග කුසලාන" විවෘත මේස පන්දු තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස ද අභිෂේක ලැබීය.

මෙරට ලාබාල ක්‍රීඩිකාවන් අතරේ කැපී පෙනෙන චරිතයකට පණ පොවන මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන බිමන්දී බණ්ඩාර මෙවර ආර්යා අභියෝග කුසලානයේ අති ශූරතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

අවුරුදු 19 න් පහළ සහ අවුරුදු 17 න් පහළ ද්විත්ව ශූරතා සෙනුර සිල්වා හා බිමන්දී බණ්ඩාර තහවුරු කර ගැනීම ද ඒ අතරේ දක්නට ලැබිණි.

ඒ අනුව සෙනුර සිල්වා ට සහ බිමන්දී බණ්ඩාර ට ‘ආර්යා ප්ලස් අභියෝග කුසලාන’ සමගින් මුදලින් රුපියල් 10,000 බැගින් පිරිනැමීමට සංවිධායකයින් වූ නුගේගොඩ මේසපන්දු සංගමය කටයුතු යොදා තිබීම කැපී පෙනුණි.

මෙවර තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට සෙනුර සිල්වා ට හැකියාව ලැබුණ ද විවෘත අංශයේ පිරිමි කේවල ශූරතාව තහවුරු කර ගැනීමට නොහැකිවූයේ තීරණාත්මක අවසාන තරගයේ දී ක්‍රිශාන් වික්‍රමරත්න හමුවේ පරාජය වීම හේතුවෙනි.

ඒ අනුව මෙවර විවෘත කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට

මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රිශාන් වික්‍රමරත්න ට හැකියාව ලැබිණි. ජාතික කනිෂ්ඨ සහ ජාතික ජ්‍යෙෂ්ඨ ශූරයා ලෙස කිරුළ දරා සිටින සෙනුර සිල්වා තීරණාත්මක අවසාන තරගයේ දී වට 03ට -02 ක් ලෙස පරාජය කරමින් අදාළ කුසලාන තහවුරු කර ගැනීමට ‍ක්‍රිශාන් වික්‍රමරත්න ට හැකියාව ලැබිණි.

මෙම තරගයේ 01 සහ 03 වට ජය ගනිමින් ප්‍රබල තරගයකට අවතීර්ණ වන්නට සෙනුර සිල්වා සමත් වුව ද එම දක්ෂතාවය අවසන් වටයේ දී ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. ඒ අනුව සෙනුර සිල්වා ලුහුබැඳ ගොස් 02, 04 සහ 05 වට ජය ගනිමින් මෙවර ශූරතාව තහවුරු කර ගැනීමට ක්‍රිශාන් වික්‍රමරත්න සමත්වීම කැපී පෙනුණි.

මෙම අවසන් තරගයේ ලකුණු තත්ත්වය 10/12, 11/06, 09/11, 11/06, 11/02 ලෙස සටහන් විය.

තීරණාත්මක අවසාන තරගයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ හංසනී පියුමිලා වට 03 - 02 කින් පරාජය කරමින් මෙවර කාන්තා කේවල ශූරිය ලෙස සම්මාන ලබා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටි ට හැකි විය.

මෙම අවසාන තරගයේදී 02 සහ 03 යන වට ජය ගනිමින් තියුණු අභියෝගයක් එල්ල කිරීමට හංසනී පියුමිලා සමත් වුව ද 05 වටයේ දී ලත් පරාජයත් සමගින් ම කේවල ශූරතාව අයිලා චිට්ටි සතු වීම කැපී පෙනුණි.

මෙම අවසාන තරගයේ ලකුණු තත්ත්වය 12/10, 11/07, 04/11,07/11, 11/09 ලෙස වාර්තා විණි.

මෙවර පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ සමත් වූ අතර එකී අනුශූරතාව තිසස් රංචාගොඩ සහ නිමේෂ් රංචාගොඩ සතු වූහ. එම අවසන් තරගයේ ලකුණු තත්ත්වය 08/11, 11/03, 10/12, 11/06, 11/06 ලෙස සටහන් විය.

අයිලා චිට්ටි සහ බිමන්දී බණ්ඩාර වට 03ට - 00ක් ලෙස දිනා ගන්නා අතරවාරයේ එකී අනුශූරතාව සඳුනි ප්‍රබුද්ධිකා සහ මනීෂා සාලින්දි ට හිමි විය. ලකුණු තත්ත්වය වාර්තා වූයේ 12/10, 11/05, 11/09 ලෙසිනි.

මෙවර මිශ්‍ර යුගල ශූරතාව තහවුරු කර ගැනීමට ක්‍රිෂාන් වික්‍රමරත්න සහ බිමන්දී බණ්ඩාර සමත්වීම කැපී පෙනුණි. හංසනී පියුමිලා සහ නිමේෂ් රංචාගොඩ ට එකී අනුශූරතාව හිමිවිණි. අවසන් තරගයේදී ලකුණු 11 /04, 08/11, 11/07, 05/11, 11/05 ලෙස තරග වට 03ට - 02ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ක්‍රිෂාන් සහ බිමන්දී සමත් වූහ.

මෙවර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා තිළිණ ප්‍රදානය රයිගම් මාකටින් පෞද්ගලික සමාගමේ සන්නාම විධායක අධ්‍යක්ෂ නිරූෂී තියඩෝර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මේස පන්දු ක්‍රීඩාවේ ප්‍රවීණයකු වන චන්දන පෙරේරා මහතා මෙවර තරගාවලියේ තරග කළමනාකරු ලෙස කටයුතු කළේ ය.

මෙම තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු වයස් සීමා තරග මාලාව ආශ්‍රිතව ශූරතාව සහ අනු ශූරතාව දිනා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දැක්වේ.

19න් පහළ බාලක කේවල - 01. සෙනුර සිල්වා (ආනන්ද විදුහල) 02.ධනුෂ්ක විජේසිංහ (කිංග්ස්වුඩ් විදුහල) (11/06, 11/06, 11/08)

19න් පහළ බාලිකා කේවල - 01. බිමන්දී බණ්ඩාර (හිල්වුඩ් විදුහල) 02.මනීෂා සාලින්දි (ධර්මාශෝක විදුහල) (11/04, 11/05, 12/14, 11/05)

17න් පහළ බාලක කේවල - 01. සෙනුර සිල්වා (ආනන්ද විදුහල) 02.විනුක ගුණවර්ධන (රාජකීය විදුහල) (11/03, 11/03, 11/09)

17න් පහළ බාලිකා කේවල - 01.බිමන්දී බණ්ඩාර (හිල්වුඩ් විදුහල) 02.චමීෂා තුෂාධී (කෑගලු බාලිකා විදුහල) ( 11/09, 09/11, 11/08, 12/10)

15න් පහළ බාලක කේවල - 01. හසිර දිනුසර (ධර්මාශෝක විදුහල) 02 සාලුක ප්‍රේමචන්ද්‍ර (ආනන්ද විදුහල) (11/07, 15/13, 11/05)

15න් පහළ බාලිකා කේවල - 01.චමීෂා තුෂාධී (කෑගලු බාලිකා විදුහල) 02.ඔනෙලි ලෙහන්සා (මියුසියස් විදුහල) (11/07, 11/08, 11/06)

13න් පහළ බාලක කේවල - 01. හරේන් නිම්දිනු (ධර්මාශෝක විදුහල) 02. ජනිත් බටුගෙදර (රාජකීය විදුහල) (11/09, 05/11, 11/04 , 13/11)

13න් පහළ බාලිකා කේවල - 01.තමාදි කාවින්ද්‍යා (දේවානන්ද විදුහල) 02.සදින්තී ජයසිංහ (මියුසියස් විදුහල) (12/10, 10/12, 11/03, 11/09)

11න් පහළ බාලක කේවල - 01.අගස්ත්‍ය ආනන්දිත (විද්‍යාර්ථ විදුහල) 02. ඔසද උපේක්‍ෂණ (විද්‍යාර්ථ විදුහල) (11/05, 11/08 , 11/08)

11න් පහළ බාලිකා කේවල - 01. ඩබ්ලිව්. මුතුලි සහන්යා (සවුත්ලන්ඩ් විදුහල) 02. සෙනුදි පටබැඳි (මහනුවර උසස් බාලිකා විදුහල) (11/09, 14/12, 11/07)

 

Comments