පරල වුණු කපිල් දේව් | Page 2 | සිළුමිණ

පරල වුණු කපිල් දේව්

 

ජාතික තරග අභිමානයට වඩා තමන්ගේ පෞද්ගලික උවමනා එපාකම්වලට මුල්තැන දෙමින් වර්තමාන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කරන බව හිටපු ඉන්දීය තුන් ඉරියව්වේ ක්‍රීඩක හා නායක කපිල් දේව් පසුගියදා දොස් පැවරීමක් කළේ ය.

එය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම පසුබැසීම මගින් ම පැහැදිලි වූ බව ඔහුගේ අදහසයි.

‘ක්‍රීඩකයින් ජාතික වගකීමට වඩා අයි.පී.එල්. තරග ගැන පමණක් උනන්දු වනවා නම් මොනවා කියන්න ද? මම විශ්වාස කරන්නේ හැම ක්‍රීඩකයකුම තමාගේ රට නියෝජනය කිරීම ගැන ආඩම්බර විය යුතුයි කියායි. වෙනත් කිසිම කණ්ඩායමකට වඩා තමන්ගේ රටේ කණ්ඩායමට ප්‍රමුඛත්වය දිය යුතු යි’ කපිල් පවසා ඇත.

මේ අතර ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත සඳහන් කළේ මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය සඳහා දැන් සිට ම ඉන්දීය කණ්ඩායම සුදානම් විය යුතු බවයි. මේ වෙනුවෙන් රෝහිත් ශර්මා යටතේ දක්ෂ නවක ක්‍රිඩකයින් ඇතුළත් කණ්ඩායම් සූදනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් පියවර ගත යුතු බව ද පුවත්පත යෝජනා කර ඇත.

මේ අතර කපිල් දේව් නායකත්වය දරමින් 1983 දී ඉන්දියාව ලෝක කුසලාන ශූරයින් වූ කතාව අලළා නිපද වූ චිත්‍රපටයක් මේ දිනවල ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙයි. ‘83’ නමින් වන මේ චිත්‍රපටයේ නායක කපිල් දේව්ගේ චරිතය රඟපාන්නේ රන්වීර් සිං ය. ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ ක්‍රිඩකයින් සියලු දෙනාගේ චරිත සහ ඔවුන් ලැබූ අත්දැකීම් ද චිත්‍රපටයට ඇතුළත් ය.

නායක කපිල් දේව් ඇතුළු ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රීඩකයින්ට චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් මුදල් ප්‍රදානයක් සිදු කොට ඇතැයි සඳහන් වේ. සුනිල් ගවස්කාර්, ක්‍රිෂ්ණමචාරි ශ්‍රී කාන්ත්, මොහින්දර් අමරනාත්, මදන් ලාල්, රොජර් බිනි, යස්පාල් ශර්මා සහ සන්දීප් පටෙල් ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් ය.

 

Comments