ඉන්ධන හා බෝ නොවන රෝග අර්බුදයන්ට ක්‍රීඩාත්මක විසඳුමක් | Page 2 | සිළුමිණ

ඉන්ධන හා බෝ නොවන රෝග අර්බුදයන්ට ක්‍රීඩාත්මක විසඳුමක්

 

පසුගිය දා මධ්‍යම අධිවේගී මාර්ගයේ අඹේපුස්ස සිට කුරුණෑගලට ඇති කොටස ජනතා අයිතියට පත්කරමින් අධිවේගී මාර්ග පාපැදි තරගයක් සංවිධානය කෙරිණි. එය ලොව පැවැත්වූ පළමු අධිවේගී පාපැදි ධාවන යැයි ද ප්‍රකාශ විණි. මෙම තරගය මඟින් අපට පාපැදිය හා ජන සමාජය අතර යාවජීව සම්බන්ධය තවදුරටත් වැඩි නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැන නැංවූයේ ය.

එය වඩාත් අපට දැනෙන්නේ මේ මොහොතේ අප රටක් වශයෙන් යම් බලශක්ති අර්බුදයකට මුහුණපා සිටින හෙයිනි. රට තුළ ගෑස්, විදුලිය, ද්‍රව ඉන්ධන සම්බන්ධයෙන් සංකූලතාවයක් හටගෙන තිබේ. එය පවතිනවාට වඩා විශාල කොට පෙන්වීමද දැකිය හැකිය. එය ජනතාව ත්‍රස්ත කිරීමකි. යම් ප්‍රමාණයකට ඉන්ධන අර්බුදයක් ගොඩනැගී ඇත්නම් ඊට වැඩි වශයෙන් බලපා ඇත්තේ රට තුළ පවතින ඩොලර් හිඟය ය.

මේ ඩොලර් හිඟය මතුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රට වැසියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය එන්නත් ආනයනය පිණිස පසුගිය කාලයේ සුවිශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවීම ය. සමාජය තුළ කොවිඩ් පැතිරීම වළක්වන්නට සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් රටේ ආර්ථිකයේ ගලනය නතර විණි. එමඟින් කාලයක් තිස්සේ යම් යම් හැල හැප්පීම් සහිතව හෝ ජන සමාජය තුළ සුමට බවකින් යුතුව ගලා ගිය ආර්ථිකය යම් පමණකට බිඳ වැටුණේය. ඒ ප්‍රමුඛ වශයෙන් කොවිඩ් නිසා නිර්මාණය වූ තත්ත්වයකි. ඒවායේ ආදීන දැන් අපට දැනෙමින් තිබෙන්නේ පෙර දැක්වූ බලශක්ති ගැටලුව වැනි අර්බුද ආකාරයටය.

එහෙත් ඒවා එසේ නිර්මාණය වද්දී රජයට දොස් නඟමින් වගකීමෙන් ඉවත්වීමට වගකිව යුතු පුරවැසියන් වශයෙන් ඔබට අපට හැකියාවක් නැත. අප කළ යුත්තේ හැකිතාක් දුරට මෙකී බලශක්ති අර්බුදයට පිළියම් සොයන්නට කටයුතු කිරීම ය.

එහි දී සංචරණය අත්හළ නොහැකි අවශ්‍යතාවන්ට පමණක් සීමාකිරීම, ඉන්ධන භාවිතයේ සකසුරුවම් භාවය පවත්වා ගැනීම වැනි බොහෝ ක්‍රම ඉදිරිපත් කරන්නට පිළිවන. ඒ අතර 'ක්‍රීඩා' ව ඔස්සේ මෙම ඉන්ධන අර්බුදය සරල කරගැනීම අරභයා කළ හැකි සුවිශාල මෙහෙවරක් ලෙස පාපැදි ක්‍රීඩාව වෙත වැඩිවශයෙන් ආකර්ෂණය වීම දැක්වීමට පිළිවන.

පාපැදි ක්‍රීඩාවට අතිරේකව ඇවිදීම වැනි ක්‍රීඩාත්මක ක්‍රමවේද යොදවා ගැනීම මඟින් රට තුළ ක්‍රීඩක ප්‍රජාව වැඩිද වර්ධනය කරගැනීමට ද හැකියාව උදාවෙයි. මෙය එක රැයකින් සිදු කළ හැක්කක් නොවේ. එහෙත් එය යම් තැනකින් යළි ආරම්භ කළ හැකිය. දැනට මෙරට මාර්ග පද්ධතියේ පවතින අධික වාහන මෙකී ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම අසීරු කරන්නට ඉඩ තිබේ. එහෙත් අසීරු වූ පමණින් එය අතනොහැරිය යුතු ව්‍යාපෘතියකි. එය එසේ වන්නේ පාපැදි හෝ ඇවිදීම වැනි ක්‍රීඩාත්මක අභ්‍යාස මඟින් ඉටුවන මෙහෙවර රාශියක් පවතින හෙයිනි. එකක් ඉන්ධන අර්බුදයට යම් පිළියමක් වීම ය. දෙවැන්න පවුල් ඒකක තුළ පවතින ආර්ථික අර්බුදවලට යම් සහනයක් ඉන් ලබාගත හැකි හෙයිනි. තෙවැන්න වනුයේ සෞඛ්‍යමය ප්‍රවර්ධනයයි. කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, බෝනොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම, ස්ථූල භාවය වළකාලීම, සමාජ උද්යෝගය ඉහළ නංවමින් සමාජමය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එමගින් අවස්ථාව උදාවෙයි.

මෙම ව්‍යාපෘතිය සමාජය තුළට එන්නත් කිරිමේ දී සුවිශාල කාර්ය භාරයක් ලබාගත හැක්කේ ක්‍රීඩා අමාත්‍යාංශය තුළිනි. එම අමාත්‍යාංය හා පාපැදි සම්මේලනය එක්ව රට තුළ ප්‍රවාහන විප්ලවයක් නිර්මාණය කළ හැකි ය. රජයක් වශයෙන් උත්සහ ගනිමින් සිටින හරිත විප්ලවය වඩාත් ඵලදායී කරන්නට එමඟින් ම හැකියාව උදාවෙයි. අප එසේ කියන්නේ කාබන් මොනොක්සයිඩ්, ඊයම් ඇතුළු බැර ලෝහ මිශ්‍ර වූ වායුව වායුගෝලයට මුක්ත කිරීම යම් පමණකට අඩු කරන්නට ද ඇවිදීම, පාපැදි වැනි ක්‍රීඩාත්මක ක්‍රමවේදයන්ට ප්‍රවාහන මුහුණුවරක්ද ලබා දීමෙන් හැකියාව උදාවන හෙයිනි.

ඒ සඳහා කළ යුතුව ඇත්තේ පාපැදි භාවිතය සඳහා සමාජය තුළ පෙලඹවීමක් ඇති කරලීමය. ආරක්ෂාකාරීව ගමන් කළ හැකි ආකාරයට පාපැදි මංතීරු සකස් කිරීම, පාපැදි සඳහා ම වෙන් කළ මාවත් නම් කිරීම ය. ඊට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සහයෝගය ලබා ගන්නටත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහයෝග සලසා ගන්නටත් රජයට හැකියාව ඇත.

මෙහිදී පාපැදි ක්‍රීඩාව, ඇවිදීම, ධාවනය වැනි ක්‍රීඩාත්මක අභ්‍යාස වෙත රටේ ළමා, නව යොවුන් හා තරුණ පරපුර යොමු කර ගන්නට සමාජය දිරිගැන්විය හැකි ය. පාසල් පැමිණෙන සිසු දරු දැරියන් අතර ප්‍රවාහන මාධ්‍ය වශයෙන් පාපැදි යොදවා ගන්නට ඔවුන් දිරිගන්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පිළිවන. එය ක්‍රීඩාවක් වශයෙන් සිදු කිරීමට පුරුදු පුහුණු වන්නටත් පාසල් සිසුනට පෙලඹවීමක් ගොඩනැංවිය හැකි ය. ඒ සඳහා පාසල් ආශ්‍රිතව ඇති මංමාවත් හා අතුරු මාවත් හි යම් දුර ප්‍රමාණයක් රථ වාහන පොලීසියේ අධීක්ෂණය සහිතව වඩා සුරක්ෂිතව පාපැදිය මඟින් හෝ ඇවිදීම මඟින් සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නටද පිළිවන.

රැකියාවට පැමිණෙන්නවුන් අතරේ ද පාපැදි ක්‍රීඩාව වෙනුවෙන් ආකර්ෂණය වන තැනැත්තන් විෂයේ පාපැදිය භාවිතයට පෙලඹවීමක් ඇති කිරීමට පිළිවන. දින දින ඉහළ යන ප්‍රවාහන හා ඉන්ධන ගාස්තු වෙනුවට ශාරීරික යෝග්‍යතාවයද රැක ගනිමින් ආර්ථික වශයෙන් ද සුරක්ෂිත භාවය වර්ධනය කර ගන්නට ඉන් පොදු මහජනතාවට ඉන් හැකියාව උදාවන බව ප්‍රවර්ධනය කළ හැකිය. මාර්ග ආශ්‍රිතව ස්වයංක්‍රීය කැමරා පද්ධති යොදා අධීක්ෂණය කිරීම. පාපැදි මංතීරු සැකසීම, වේග සීමා නීති දැඩිව ක්‍රියාත්මක කිරීම ආදියත් පාපැදිය මඟින් සේවයට පැමිණෙන පුද්ගලයන් සිටීනම් ඔවුනට විශාල ප්‍රතිලාභ සහිත රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඒ සඳහා යොමුවීමට සමාජය ශක්තිමත්ව පොලඹවාලිය හැක.

මෙවැනි යෝජනා යම් විසුළු සහගත විසඳුමකැයි ද්වේශයෙන් එසේත් නැතහොත් දේශපාලන කෝණයෙන් ඒ දෙස බලන්නකු තුළ ඇතිවෙන්නට පිළිවන. එය ආණ්ඩුව ආරක්ෂා කරන විසඳුමක් ලෙසද ඇතැමුන් දකින්නට පිළිවන.

එහෙත් එය එසේ නොවේ. මෙතැන දී අප සෘජුව අවබෝධ කරගත යුතු දෙයක් ඇත. ඒ ක්‍රීඩාව යනු දේශපාලන ලේබලයෙන් ඔබ්බට ගිය ගෞරවනීය ක්ෂේත්‍රයක් බව ය. එහිදී අපි යෝජනා කරන මෙම ඇවිදීම, පාපැදි ධාවනය වැනි ක්‍රමවේදයන් අනාගතයේ සමස්ත ලෝකයටම අර්බුදයක් වෙමින් ඇති ඉන්ධන අර්බුදය අරභයා යොදවා ගැනෙන්නකි.

බස් නැවතුම් දෙක තුනක් වෙනුවෙන් බස් රියේ නැඟ යන්නට නැවතී සිටින මිනිසුන් වෙනුවට පාපැදිය, ඇවිදීම හුරු කරගන්නා මිනිසුන්ට ලබා දිය යුත්තේ වෙනත් වාහන ඇතුළු නොවන මංතීරු, වළ ගොඩැලි නැති ඇවිදිය හැකි පදික වේදිකාවක්, යතුරුපැදි ගාල්කර තැබිය හැකි පහසුකමත් පමණි.

ඒවා සපයා දුන්නා කියා රජයකට සිදුවන දීර්ඝ කාලීන අයහපතක් නැත. අපි එසේ කියන්නේ එමඟින් සුවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකියාව උදාවෙන හෙයිනි. ඖෂධ අරභයා මෙන්ම ඉන්ධන වෙනුවෙන් ද පිටරටට ගලායන විනිමය විශාල ප්‍රමාණයක් ආරක්ෂා කර ගන්නට රජයට හැකියාව උදාවෙයි. එහෙයින් සිදු කළ යුතුව ඇත්තේ මේ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වහ වහා උත්සුකවීම හා එලෙස සැලසුම් කළ ප්‍රතිපත්ති ඇමැතිවරුන්ගෙන් ඇමැතිවරුනට, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොකොට අවම වශයෙන් දසකයකට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාවට නැංවීමය. මේ ඒ සඳහා සුදුසුම කාලය ය.

***************************

අන්තර් පළාත් පාපන්දු ශූරතාව 25 ඇරඹෙයි

 

අන්තර්ජාතික පාපන්දු තරග මාලාවන් ආශ්‍රිතව පදක්කම් දිනා ගත හැකි ජාතික කණ්ඩායමක් නිර්මා-ණය කර ගැනීම ප්‍රධානත ම ඉලක්කය කර ගනිමින් අන්තර් පළාත් ශූරතා පාපන්දු තරගාවලිය අඟහරුවාදා (25) ආරම්භ කෙරේ.

කුරුණෑගල නගරයේ පිහිටි මාළිගාපිටිය ක්‍රීඩාංග-

ණය කේන්ද්‍ර කර ගනිමින් 25 දින ආරම්භ කෙරෙන මෙවර තරගාවලියේ සමාප්තිය එළඹෙන පෙබරවාරි මස 28 දා ය.

ලීග් ක්‍රමයට සංවිධානය කර ඇති මෙම තරගාවලියට අයත් තරග පළාත් රැසක දී පැවැත් වේ.

අන්තර්ජාතික තරග අත්දැකීම්වලින් ස්වයංපෝෂිත වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන පළපුරුදු ක්‍රීඩකයන් මෙන් ම ජාතික සංචිතයට අයත් ජවයෙන් පිරි ක්‍රීඩකයන් සමඟ අනාගතයට මුහුණ දීමට හැකි යොවුන් ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලියට එක්ව සිටීම හේතුවෙන් මෙවර තරගාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා ම තියුණු හා උණුසුම් මුහුණුවරකට පරිවර්තනය වනු ඇතැයි අනුමාන කළ හැකි ය.

තමන් ස්ථිර පදිංචි ප්‍රදේශය අයත් පළාත නියෝජනය කරමින් සෑම ක්‍රීඩකයකු ම මෙවර තරගාවලියට අව-තීර්ණ වීම අනිවාර්ය කර තිබේ.

උතුරු මැද පළාත සහ වයඹ පළාත එක් කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට නම් කර ඇති අතර, බස්-නාහිර, මධ්‍යම, උතුර, ඌව, දකුණ, සබරගමුව සහ නැගෙනහිර සහභාගි වන සෙසු පළාත් කණ්ඩායම් වේ.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව නියෝජනය කරන සියලු උප සභාපතිවරුන්ට වැඩි වගකීම් ප්‍රමාණයක් පවරා තිබීම ද විශේෂත්වයකි. ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති හිටපු ක්‍රීඩකයන් මෙවර තරගාවලියට සහභාගි

වන කණ්ඩායම් හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස නම් කර ඇත.

මෙම තරග මාලාවෙන් අනතුරු ව ජාතික සංචිතයේ පුහුණු කිරීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

මේ අතර වාරයේ මෙරට ක්‍රියාත්මක වූ කුලුඳුල් වෘත්තීය ක්‍රීඩා සමාජාන්තර පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමට හිමි "සුපර් ලීග් අභියෝග කුසලාන" සමඟින් මුදලින් රුපියල් මිලියන 05 ක ත්‍යාගය පිරිනැමීම ඉකුත් බ්‍රහස්පතින්දා තලවතුගොඩ දී සිදු කෙරුණි.

මෙවර තරගාවලියට එක්ව සිටි සෑම කණ්ඩායමකට ම මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයන් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන පියවර ගෙන තිබිණි.

එයට සමගාමීව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් අනු ශූරතාව දිනා ගත් ක්‍රීඩකයන් අගයමින්

ඔවුන් හට ශ්‍රී ලංකා ජාතික වර්ණ පිරිනැමීමද සිදු කෙරුණි.

************************

මාතලේ නිදහස් පාපැදි තරගය 4 වැනි දා

 

මාතලේ දිසා පාපැදි සංගමය සංවිධානය කරන මධ්‍යම පළාත් විවෘත පිරිමි නිදහස් සමරු පාපැදි තරගය මෙම පෙබරවාරි මස 4 වැනිදා පෙරවරුවේ මාතලේ පුරවරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. කලක් ඉහළ තත්වයක පැවැති මාතලේ දිසාවේ පාපැදි ක්‍රිඩාව මෑත කාලීනව කඩාවැටිමත් සමග යළි එය නගා සිටුවීම සඳහා නව සංගමය බිහිකරගෙන තිබීමද විශේෂත්වයකි.

එම නව පාපැදි සංගමය මගින් සංවිධානය කරන මුල්ම පාපැදි තරගය වනුයේ ද මෙයයි. කිලෝ මීටර් 100 ක දුරකින් සමන්විත මෙම තරගය පෙබරවාරි මස 4 වැනි දා පෙරවරු 8.00 ට මාතලේ එඩ්වඩ් ද සිල්වා හොකී ක්‍රීඩාංගණය අසලින් ආරම්භවේ. ඒ 9 මාර්ගය ඔස්සේ දඹුල්ල දක්වා ගොස් , තලකිරියාගම , ගලේවෙල ,වහකෝට්ටේ ,පල්ලේපොල, පලාපත්වල ඔස්සේ මාතලේ නගරය දක්වා පැමිණ තරගය නිමාවේ. මෙම තරගය සදහා ඉදිරිපත්වන මධ්‍යම පළාතේ පාපැදි ක්‍රීඩකයන් පෙබරවාරි මස 1 වැනිදාට පෙර සිය සහභාගිත්වය සංවිධායකවරු වෙත දැන්විය යුතුය. මේ පිළිබද තොරතුරු පහත දුරකථන අංක ඇමතිමෙන් ලබාගත හැකිය. සමන් - 0777 /841482. රවි - 076 /9884303. සියලුම තරගකරුවන් පෙබරවාරි 4 වැනි දා පෙරවරු 6. 30 ට පෙර ආරම්භක ස්ථානයේදි ලියාපදිංචි වියයුතු බවත් , ජයග්‍රාහකයන්ට වටිනා ජයසංකේත සහ මුල්‍ය ත්‍යාග ලබාදිමට නියමිතව ඇතැයි මාතලේ පාපැදි සංගමයේ සභාපති සමන් අලුවිහාරේ මහතා පැවසිය.

 

 

Comments