
කලක් ක්‍රිකට් ලොව අග රජුන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ය. ඒ විශේෂයෙන් ම 1970-80 දසකයන්හි දී ය. එසේ වුවත් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටෙන්නට විණි. ඒ සඳහා ඉවහල් වූ කාරණා මතුවූ කාරණාවක් තිබේ. ඉන් එකක් වූයේ දක්ෂ ක්‍රීඩකයන් එංගලන්ත ප්‍රාන්ත තරගවලට යොමු වීම ය. දෙවැනි මතය වූයේ තවදුරටත් අතීතයේ මෙන් දක්ෂ ක්‍රීඩකයන් බිහි නොවීමයි. තෙවැන්න වූයේ බොහෝ කොදෙව්වන් අමෙරිකාව වෙතට පියමං කිරීම ය.
මෙම මත තුනේ ම යම් කිසි සත්‍යතාවයක් පවතී. එසේ වුවත් ඒ සඳහා වැඩි ම බලපෑමක් කළේ කොදෙව් ක්‍රීඩකයන් අමෙරිකාව වෙතට යෑම හේතුවෙන් බව පසුව තහවුරු විය. එම අවබෝධය කොදෙව් ක්‍රිකට් පාලකයන්ට ලැබෙන විට ප්‍රමාද වැඩි ය. එවිට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් සෑහෙන කල්ය. එහෙයින් පසුව අස්හල වසා දැමුවාට ඵලක් වූයේ නැතිතරම්ය.
කොදෙව් ක්‍රිකට් ඉතිහාසය පුරාවට ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් ම එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළහ. ඇතැමුහූ එරටේම ස්ථිර පදිංචියටත් ගිහය. මේ අතරින් සුළුතරයක් එංගලන්ත ජාතික පිලට ක්‍රීඩා කිරීමට තීරණය කළ නමුත් බහුතරයක් ම කොදෙව් ජාතික පිලට ක්‍රීඩා කළෝ ය. එම නිසා ම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම කොදෙව් ක්‍රිකට් බිඳ දැමීමට ප්‍රබල බලපෑමක් වූයේ නැත.
දක්ෂ හා අතිදක්ෂ අතර පැහැදිලි වෙනසක් ඇතිවාක් මෙන් ම අතිදක්ෂ ක්‍රීඩකයන්ගේ විරල බව කොදෙව්වන්ට පමණක් නොව අනික් සෑම රටකටම පොදු ය. එහෙයින් දෙවැන්න ද කොදෙව් ක්‍රිකට් කඩාවැටීමට සැලකිය යුතු හේතුවක් නොවේ.
එසේ නම් අමෙරිකාව වෙතට කොදෙව් ක්‍රීඩකයන්ගේ සංක්‍රමණය වීම ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑවේ කෙසේ ද? ඊට ඉවහල් වූයේ කොදෙව් දේශයේ දක්ෂ ක්‍රීඩකයන් අමෙරිකාවේ අතිශය ජනප්‍රියත ම ක්‍රීඩාවන් වෙතට යොමු වීම ය. එම ක්‍රීඩා අතරින් පැසිපන්දු, බේස්බෝල් සහ අමෙරිකානු පාපන්දු මුල් ස්ථානයට පත්වේ. ඊට වැඩි වශයෙන් ඉවහල් වූයේ ඔවුන්ගේ උසය.
මෙම ක්‍රීඩාවන්ගෙන් කොදෙව්වෝ විශාල මුදලක් උපයා ගත්හ. එහෙයින් තම රට තුළ කොතරම් ජනප්‍රිය වුව ද කොදෙව් දේශයෙන් අමෙරිකාවට ගිය ක්‍රීඩකයන් යළි කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව ගැන සිතුවේ නැත. එහෙත් මේ නිසා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ බලපෑම සුළු පටු නොවේ.
ශ්‍රී ලංකාවටත් බලපායි ද?
කොදෙව් දූපත් හි ක්‍රිකට් ජනප්‍රිය-තාවය ක්‍රමක්‍රමයෙන් අඩු වන විට එහි හිස්තැන පිරවීමට ඉදිරියට ආ මීළඟ දූපත් රාජ්‍ය ශ්‍රී ලංකාවය. එහි ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් ජනප්‍රිය වූයේ අනූව දසකයේ සිටය.
එදා කොදෙව්වන් උසැති වේග පන්දු යන්නන්ගෙන් හා ප්‍රවේගවත් පිතිකරුවන්ගෙන් ක්‍රිකට් ලොව ආධි-පත්ය සහ ආකර්ෂණය දිනා ගත්තාක් මෙන් ශ්‍රී ලංකා ක්රීඩකයෝද එසේ දක්ෂතා දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනුණ හ. ප්‍රවේගකාරී පිතිහරඹය ඊට මූලික හේතුවක් විය. කෙසේ හෝ පසු කලෙක අතිදක්ෂ ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් සමු ගැනීමත් සමගම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් ක්‍රමක්‍රමයෙන් පසුබැසී-මට ලක් විය.
එසේ වුවත් යළිත් වතාවක් කිසියම් වු ආකර්ෂණයකින් ජාතික පිල ඉදිරියට පැමිණෙමින් තිබෙන අවධියක එදා කොදෙව්වන්ට සිදු වූ අකරතැබ්බයට සමාන අත්දැකීමකට ශ්‍රී ලංකාවට ද මුහුණදීමට සිදු වෙමින් තිබේ. ඒ දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙරටින් සමුගෙන ඇමෙරිකාවට යැම නිසාවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන මෑතක දී අමෙරිකාවට ගිය ජාත්‍යන්තර තරගවලටත් ක්‍රීඩා කළ ප්‍රථමයා ලෙසට ෂෙහාන් ජයසූරිය හැඳින් විය හැකි ය. හෙතෙම ගිය වසරේ ජනවාරි මාසයේ දී නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා-වෙන් සමුගත්තේ ය. පසුව එම වසරේ ම ජුනි මාසයේ දී අමෙරිකාවේ පැවැති සුළු ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරා ගැනිණි.
ඊළග අමෙරිකානු දඩයම වූයේ අමිල අපෝන්සු ය. ළහිරු මිලින්ත ද අමෙරිකාව බලා යන බව පැවසිණි.
මෙසේ බොහෝ දෙනා අමෙරිකාව වෙතට පියමං කරන්නේ දැන් අමෙරිකාව ලෝකයේ දක්ෂ ක්‍රීඩකයන් එක්කර තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උත්සහ කරන හෙයිනි. ඒ අයි.සී.සී.ය අමෙරිකාවට ජාත්‍යන්තර තත්ත්වය පිරිනැමීමෙන් අනතුරුව ය.
එම නිසා ම එරට තුළ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය කිරීමටත් ව්‍යාප්ත කිරීමටත් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කළ අතර, ඒ අනුව තරගාවලීන් දෙකක් පවත්වනු ලැබේ. ඒ සුළු හා ප්‍රධාන ලීග් ක්‍රිකට් වශයෙනි. මෙම තරගාවලි පන්දු වාර 20ට සීමා වේ. මින් සුළු ලීග් තරගාවලිය ගිය වසරේ දී පවත්වනු ලැබිණි. ප්‍රධාන ලීග් තරගාවලිය ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ය.
ප්‍රථම වරට පැවැති සුළු ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සහභාගී වූහ. ඊට ෂෙහාන් ජයසූරිය, අමිල ආපෝන්සු, රෝයී සිල්වා, ගයාන් ප්‍රනාන්දු, රවිදු ගුණසේකර වැනි ක්‍රීඩකයෝත් සහභාගී වූහ. මේ අතරින් රෝයි දිගු කලක් තිස්සේ අමෙරිකාවේ පදිංචිව සිටී. එමෙන් ම රවිඳු කැනඩාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.
මෙම තරගාවලියට සහභාගී වූවන් අතර ඉන්දීය පකිස්තාන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ රැසක් ම සිටිති. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක හෝ ක්‍රීඩකයන් එරටවල්වල ක්‍රීඩාවෙන් සමුගෙන අමෙරිකාවට ගියත් එරටේ ජාතික කණ්ඩායමට වහාම ක්‍රීඩා කළ නොහැකි ය. අයි.සී.සී. ය විසින් ඒ සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් පනවා තිබේ. එනම් තෙවසරක කාලයක් අමෙරිකාවේ පදිංචිව සිටිය යුතු වීමයි.
එවැනි ක්‍රියාදාමයක් සම්පූර්ණ කළ වෙනත් රටවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වන විටත් ඇමෙරිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරති. දකුණු අප්‍රිකාවේ රස්ටි
තෙරොන්, කොදෙව් දූපත් හි ෂේවියර් මාෂල් එවැනි දෙදෙනෙකි.
මේ අතර ඉදිරියේදී එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට බලා-පොරොත්තුවෙන් සිටින හිටපු ජගත් ක්‍රීඩකයෝ කිහිප දෙනෙකුත් සිටිති. කලක් එක්දින තරගයක වේගවත්ම ශතක ලාභියා වූ නවසී-ලන්තයේ කෝරි ඇන්ඩර්සන් එවැනි ක්‍රීඩකයෙකි. මෙම වසරේ දී ඔහුට එම අවස්ථාව උදාකර ගත හැකි ය. ඒ ඔහුගේ බිරිය අමෙරිකානු ජාතික කතක් වීම ය.
පාකිස්තානයේ ෂාමි අස්ලාම් සහ දකුණු අප්‍රිකාවේ ඩේන් පියිඩ්ට් ද හිටපු ටෙස්ට් ක්‍රීඩකයෝ වෙති. ඔවුන් ඉදිරියේ දී ඇමෙරිකන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙති. මෙවැනි වාතාවරණයක් තුළ දැනටමත් ඇමෙරිකාවේ සිටින අනික් ක්‍රීඩකයන්ටත් අමෙරිකානු ජාතික
පිලට ක්‍රීඩා කිරීමේ වරම හිමි වනු ඇත. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝත් අයත් වනු ඇත.
දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හදිසියේ විශ්‍රාම ගැනීමට බලා-පොරොත්තු වන ක්‍රීඩකයන් හට ඒ ගැන කලින් දැනුම් දිය යුතු බවට දන්වා ඇත. එවැනි දේ කිරීම සාධනීය ය. එහෙත් ඊටත් වඩා වේගවත් තීරණ ලබා නොගතහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වන්නේ කොදෙව්වන්ට සිදුවූ අලකලංචියට ම මුහුණ දීමට ය.
ප්‍රශාන්ත ඇල්පිටිය