නොවැක් ජොකොවිච් ඩොලර් සවියෙන් පුද්ගල ප්‍රතිරූපයෙන් ඔස්ට්‍රේලියානු රජයත් දණගස්වයි | Page 2 | සිළුමිණ

නොවැක් ජොකොවිච් ඩොලර් සවියෙන් පුද්ගල ප්‍රතිරූපයෙන් ඔස්ට්‍රේලියානු රජයත් දණගස්වයි

පුතුගේ මානව හිමිකම්  රැක දෙන්න රැජිනට මැදහත් වන්නැයි ඩිජොවික්ගේ පියාගෙන් ඉල්ලීමක්

'නොවැක් ජොකොවිච් සටන්කාමියෙකි. ඔහු ඔටෝමාන් අධිරාජ්‍යයාගෙන් නිදහස දිනා ගැනීමට සටන් වැදුණු සර්බියානු ජන සමාජයේ නියෝජනයකි. සිවිල් යුද සමයේ ඔහු ටෙනිස් පුහුණුව ලැබූයේ හිස් වූ පිහිනුම් තටාකයක් තුළ ය. එසේ පුහුණු වී ගෝලීය ටෙනිස් අධිරාජ්‍යයට අභියෝග කළ නොවැක් ඩිජොවික් ලෝක ක්‍රීඩා පිටියේ සදාකාලික වීරයෙකි. එහෙත් ඔහු සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්කෙරෙන්නේ කොවිඩ් 19 වයිරසයට එරෙහිව එන්නත් කිරීම ප්‍රතික්ෂේප කළ, ඒ හේතුවෙන්ම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ දී එරට රජය හා දීර්ඝ ගැටුමකට එළැඹි මානව සංචරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්නකු හැටියට ය. මේ ඒ කතාව ය.'

ජොකොවිච් යනු එකිනෙකට වෙනස් ස්වභාවයෙන් යුත් ටෙනිස් පිටිවල පැවැත්වෙන ලෝකයේ විශිෂ්ටත ම ටෙනිස් තරගාවලි හතර ජය ගැනීමට සමත් වූ එක ම ක්‍රීඩකයා ය. ඒ මැටි, දෘඪ හා තණකොළ සහිත ටෙනිස් පිටිවල සංවිධානය කෙරෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා හතර ම ජය ගනිමිනි. වරක් ඔහු එක් තරගවාරයක් තුළ තරගාවලි ජයග්‍රහණය වෙනුවෙන් ටෙනිස් ක්‍රීඩකයකු විසින් උපයාගනු ලබන වැඩිම ත්‍යාග මුදල් ප්‍රමාණය හිමි කර ගත්තේය. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 12 කි. ඒ 2011 වසරේ ටෙනිස් පිටියේ ජය පිට ජය ලබමිනි.

එසේම වෙළෙඳ සන්නාම ප්‍රවර්ධකයකු වශයෙන් ද ජොකොවිච් ලොව පුරා ප්‍රකට ය. 2012 වසරේ දී Uniqlo වෙළෙඳ නාමය ප්‍රවර්ධනය පිණිස පස් වස-රක ගිවිසුමකට එළැඹුණු ඔහු ඒ වෙනුවෙන් වසරකට යුරෝ මිලියන අටක් ගෙවීම් වශයෙන් ලැබුවේ ය. එසේම මර්සිඩීස් බෙන්ස් හා සෙයිකෝ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනයට ද එක්වූ ඔහු එවැනි ගිවිසුම් මඟින් ද සුවිශාල මුදල් සම්භාරයක් උපයා ගත්තේ ය. යුනික්ලෝ සමඟ ගිවිසුම අවසන් වීමෙන් අනතුරුව ඔහු Lacoste හි සන්නාම තානාපතිවරයෙක් විය.

මේ සියලු ඉපැයීම් අතර ටෙනිස් ලෝකයේ වැඩි ම ඉපැයීමක් කළ ක්‍රීඩකයා බවට පත්වීමට ද නොවැක් ජොකොවිච්ට අවස්ථාව හිමිව තිබේ. ඒ රොජර් ෆෙඩරර් විසින් මීට පෙර විම්බල්ඩන් ඉතිහාසයේ ක්‍රීඩකයකු උපයා ඇති ඉහළම මුදල් ප්‍රමාණය ද ඉක්මවා ඉපැයීමට සමත්වීමත් සමඟ ය. ඒ සියලු කරුණු අනුව ලෝකය පිළිගන්නේ නොවැක් ජොකොවිච් යනු අතිශය සටන්කාමී හා නොපසුබස්නා ක්‍රීඩකයකුගේ ආත්ම ශක්තියක් බව ය.

කොවිඩ් හා ඉදිරියට ආ ජොකොවිච්ගේ හිතුවක්කාරකම

එක්තරා ආකරයකට ක්‍රීඩකයකු තුළ දැඩි ආත්ම ශක්තියක් පිළිබිඹු වන්නට ඔහු සතු කිසියම් ආකාරයක මුරණ්ඩු භාවයක් ද හේතු වන බව පිළිගැනීමට සිදු වේ. ඒ අතින් බලන කල නොවැක් ජොකොවිච් යනු නියම මුරණ්ඩුකාරයෙකි. පසුගිය දා ඔස්ට්‍රේලියානු රජය සමඟ ඔහු ඇති කර ගෙන

ඇති ගැටුම මෙකී මුරණ්ඩු භාවයට කදිම උදාහරණයකි.

ඔස්ට්‍රේලියාව සමඟ ජොකොවිච්ගේ අරගලය

බෝට්ටුවෙන් වීසා නොගෙන තම රටට නොඑන්නැයි නිරන්තරයෙන් දැනුම් දෙන රටක් වශයෙන් ඔස්ට්‍රේලියාව අපට නුහුරු රාජ්‍යයක් නොවේ. ඔවුන් තරමක් නුරුස්සනා සුලු, වාග් ගැටුම් සඳහා නිරන්තරයෙන් කැමැත්ත දක්වන්නන් වෙසෙන රාජ්‍යයකැයි සිතේ. ඒ බව පසුගිය දා වඩා තහවුරු කළ සිදුවීමක් වූයේ නොවැක් ඩිජොවික් හා ඔස්ට්‍රේලියානු රජය ඇති කර ගත් මතවාදීමය ගැටුම ය.

ඒ එරටට සංක්‍රමණය වන්නන්ට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කර තිබිය දීත් එසේ එන්නත් කර නොගනිමින් රට තුළට ඇතුළුවීමට ඩිජොවික් ගන්නා ලද උත්සාහයත්

සමඟ ය. තමන් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කරන්නට එරටට පැමිණෙන බව කලක සිට ජොකොවිච් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් ඔහු කොවිඩ් එන්නත්කරණය තරයේ ප්‍රතික්ෂේප කළ, එය තමන් විශ්වාස නොකරන බවද පැවසූ පිලට එක්ව සිටියෙකි.

එන්නත් කර නොමැති කිසිවෙක් අපි රටට වද්දා නොගන්නේ යැයි කියූ ඔස්ට්‍රේලියානු අගමැති යම් හෙයකින් ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ජොකොවිච් වුව ද අදාළ කොවිඩ් සංක්‍රමණ නීති උල්ලංඝනය කරමින් තම රටට පැමිණියහොත් කිසිදු සමාවකින් තොරව ඊළඟ ගුවන් යානයෙන් ආපසු හරවා යවන බව ද පැවසීය.

ඒ අනුව ඇති වුණේ දඩබ්බර සර්බියානු හිතුවක්කාරයාගේ හා ප්‍රතිවාදියා අවඥාවට ලක්කරන ස්වරූපය බොහෝ විට ප්‍රකට කරන ඔස්ට්‍රේලියානු සමාජය අතර සටනකි. මෙල්බර්න් ගුවන්තොටෙන් ඔස්ට්‍රේලියාවට ආ ජොකොවිච්ක් ගුවන්තොටුපොළේ දී ම ආගමන විගමන නිලධාරීන්ට කොටුවිය.

එන්නත්කරණය පිළිබඳ කිසිදු ආකාරයක සහතිකයක් නොතිබූ හෙයින් ඔවුන් කළේ වහා ජොකොවිච්ගේ වීසාව අවලංගු කිරීම හා ඔහු වෙන් කර රඳවා තැබිමය. ඒ සමඟ ඩිජොවික්ගේ සටන්කාමී ස්වභාවය ඉහළට ආයේ ය. ඔහුගේ නීතිඥයෝ එරට අධිකරණය හමුවට ගොස් තම සේවාදායකයාගේ වීසා අවලංගු කිරීම අභියෝගයට ලක් කළහ. එය එසේ අධිකරණ ගත අර්බුදයක් වද්දී සටන අතනොහැරි ඔස්ට්‍රේලියානු බලධාරීන් කළේ වහා ඩිජොවික් සතු ගුවන් ගමන් බලපත්‍රයේ සිට සියලු ලියකියවිලි තම භාරයට ගෙන ඩිජොවික්ව නිරෝධායනය පිණිස නවතාලනු ලබන හෝටලයකට ගාල් කිරීම ය.

මේ අතර ජොකොවිච්ගේ නීතිවේදීන් කීවේ තම සේවාදායකයාට ආහාර, නවාතැන් ආදි සියලු දේ සැපයීමේ දී ආගමන විගමන අංශ අසාර්ථක වී ඇති බවත් ඉන් ඔහුගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් ය. අදාළ ගැටලුව සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ සිදු කෙරුණු නඩු විමර්ශනය දින කීපයකට පසු අවසන් වුණේ ඔස්ට්‍රේලියානු රජය එරට අධිකරණය තුළ දී ම පරාජය වෙමිනි. ඒ අනුව ඩිජොවික් පළමු අදියර වශයෙන් සිය අයිතිවාසිකම් දිනාගත්තේය.

යළි වීසා අවලංගු කළ හැකිය

මෙම සිද්ධියෙන් උරණ භාවයට

පත්වූ රජය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පැවසූයේ ඕනෑ ම අවස්ථාවක යළි ජොකොවිච්ගේ වීසා අවලංගු කිරීමේ බලය එරට ආගමන විගමන කටයුතු භාර අමාත්‍යවරයා සතු අනුල්ලංඝනීය අයිතිවාසිකම් බව ය. කෙසේ නමුත් ජොකොවිච්ක් පවසනුයේ තමන්ට මෙවර ඔස්ට්‍රේලි-යානු විවෘත ටෙනිස් ශූරතාවට සහභාගි වීම අත්‍යවශ්‍ය බවයි. ඒ එය ජය ගැනීම මඟින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ඉතිහාසයට එක්වීමට තමන්ට අවකාශ පවතින බව ද පවසමිනි.

මෙවර තරගාවලිය තමන් ජය ගතහොත් වැඩි ම ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ ප්‍රමාණයක් ලැබූ ලොව බිහිවූ විශිෂ්ටත ම ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීමට තමන්ට අවස්ථාව උදාවන බව ඔහු පෙන්වා දී තිබේ. ඔහුගේ එම හෙළිදරව්වත් සමඟ ලෝක ජන මතය ජොකොවිච්ක් දෙසට හැරෙමින් තිබේ.

බ්‍රිතාන්‍ය රැජිනගෙන් කළ ඉල්ලීම

මේ අතර ජොකොවිච්ගේ පියා බ්‍රිතාන්‍ය රැජිනියගෙන් ඉල්ලීමක් කර-මින් පවසා ඇත්තේ තම පුතුගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස මැදිහත් වන ලෙසයි. තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින ඔස්ට්‍රේලියානු රජයට මෙම ගැටලුව සාධාරණ ලෙස විසඳා ගනිමින් තම පුතුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන්නට දෙවැනි එලිස-බත් රැජිනියට හැකියාව ඇති බව ඔහු පසුගිය දා මාධ්‍ය වෙත පවසා තිබිණි.

මේ අතර එරට රජය පෙන්වා දෙන්නේ ජොකොවිච්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට සෞඛ්‍යමය හේතුන් දක්වා යම් ආකාරයක ලිහිල් කිරීමක් ලබා ගත

හැකි වුවත් රට තුළට ඇතුළු වීමේ දී එරට පිළිගන්නා සෞඛ්‍ය නීතින් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමයට කියන්නාක් මෙන් ඔටෝමන් අධිරාජ්‍යයාට එරෙහිව සටන් වැදුණු සිවිල් යුද්ධයෙන් පීඩා විඳි සර්බියානුවන්ගේ ප්‍රධානත ම ජාත්‍යන්තර සන්නාමය ලෙස සැලකිය හැකි නොවැක් ජොකොවිච් හා ඔස්ට්‍රේලියානු රජය, සෞඛ්‍ය බලධාරීන්, තරගාවලි සංවිධායකයන් මෙන් ම සංක්‍රමණික ජන කණ්ඩායම් ගැටෙන ආකාරය දෙස සමස්ත ලෝකය ම නිශ්චලව බලා සිටින්නේ ඔස්ට්‍රේලියාව විශ්වාස කරන බව කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන් තුළින් ම බිඳවැටෙන්නට ඉඩ තිබේද නැද්ද යන්න සම්බන්ධව ය.

 

Comments