
VIV RICHARDS 7 අවසන් කොටස
පො දු ජ න ක්‍රි ක ට් ක්‍රී ඩ ක යා
“විවියන් සාධාරණ මිනිසෙක්.” නමුත් ක්‍රිකට් පිටියේ දී ත් ඉන් පිටත දීත් ප්රවේගකාරි කෙනෙක්. එය ඔහුගේ චරිතය තුළ අසාධාරණ හැසිරීමක් නොවෙයි.
‘විවියන් කියන්නේ ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙක්. අපට අනුව නම් අපි නොදැක්ක බ්‍රැඩ්මන්ටත් වඩා නූතනවාදී ක්‍රිකට් ක්‍රීඩකයා විවියන් රිචඩ්ස්. පන්දු යවන්නන් තුට්ටුවකට මායිම් නොකර පිටිය සිසාරා පන්දුවට පහර දුන් මේ කළු රැවුල්කාරයා අපූරු චරිතයක්. සති හතක් පුරා ඔහුගේ ජීවිතය ගැන සංක්ෂිප්තව ලියන එක ලෙහෙසි නෑ. මේ ලියැවිල්ලට හසුකර ගත්තෙත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී සංසිද්ධි කීපයක් පමණයි. මේ එහි අවසන් දිගහැරුම.’
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ ඉහළ මෙහෙවර වෙනුවෙන් ලෝක ක්‍රිකට් සමුළුව වෙතින් විවියන්ට විශේෂිත සම්මානයක් පිරිනැමුණේ 2009 වසරේ දී ය. ඒ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමාවලියට එහෙමත් නැත්නම් “යාවජීව” ක්‍රීඩකයන් අතරට ඔහුව ඇතුළත් කරමිනි. “විවියන් වැනි විශිෂ්ටයකු මේ නාමාවලියට ඇතුළත් කිරීම ඔහුට කරන්නා වූ ඉහළ ගෞරවයකි.” යැයි අයි.සී.සී. ය සටහනක් තැබුවේ එහෙයිනි.
තරුණ වයසේ දී විවියන් ක්‍රිකට් ක්‍රීඩාවට අතිරේකව මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩා කළේ ය. ඒ විශේෂයෙන් තමාගේ ශාරීරික සුවතාවය වෙනු-වෙනි. පසුව ඔහුට ඇන්ටිගුවා සහ බාබුඩා කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමේ වරම් හිමිකර ගත්තේ ය. 1974 ලෝක පාපන්දු තරගාවලිය වෙනුවෙන් පැවැත් වූ යෝග්‍යතා තරග සඳහා ද විවියන්ට කැඳවීම් ලැබුණේ ය. එහෙත් එහිදී ඔහුව කණ්ඩායමට තෝරා ගැනුණේ නැත. ඔහුගේ පාපන්දු ක්‍රීඩා දිවිය අවසන් වීමට එය හේතු විණි.
හිස් බැංකු චෙක්පතට පයින් ගැසීම
විවියන් ගැන ඇති මතක සටහන් අතර ඔහු කළ එක් ක්‍රියාවක් ඉහළින් සටහන්ව ඇත්තේය. ඒ 1980 දසකය තුළ සිදුවූ සිද්ධියක් හේතුවෙනි. එකල දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් තම රටට “කැරැලිකාර” ක්‍රිකට් කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටියහ. තම රට අන්තර්ජාතික තරග තහනනමකට ලක්ව සිටි බැවින් විශාල වශයෙන් මුදල් යොදවා ප්‍රකට අන්තර්ජාතික ක්‍රීඩකයන් මේ සඳහා යොමු කර ගැනීමට පියවර ගනිමින් උන්හ. මේ අවධියේ කොදෙව් කණ්ඩා-යමක් ද දකුණු අප්‍රිකාවට ගියේ ය. නමුත් විවියන් එම කණ්ඩායමට එක් වුයේ නැත.
එවකට දක්ෂතා අතර ඉහළ මට්ට-මක සිටි විවියන්ව දකුණු අප්‍රිකාවට ගෙන්වා ගැනීමට එරට ක්‍රිකට් බල-ධාරීහු ප්‍රබල උත්සාහයක යෙදුණ හ. ඔවුහු අත්සන් පමණක් යෙදූ හිස් “චෙක්පතක්” විවියන්ට ලබා දුන්නෝ ය. එසේ චෙක්පත නිකුත් කර කියාසිටියේ තමා කැමති මුදලක් ඊට යොදා කැරලිකාර කොදෙව් කණ්ඩායමට එක් වී දකුණු අප්‍රිකාවට පැමිණෙන ලෙසයි. නමුත් විවියන් කළේ හිනැහීම පමණි. ඔහු එකහෙළාම එය ප්‍රතික්ෂේප කරමින් ඒ චෙක්පත යළි පෙරළා ඔවුන් වෙත යැවීය. එසේ යවමින් ඔහු කියා සිටියේ මුදලට වඩා තමාගේ කොදෙව් ක්‍රිකට් ගමන වඩා වටිනා බවයි.
විවියන්ගේ මේ ක්‍රියාව එදා ක්‍රිකට් විචාරකයන්ගේ ඉමහත් පැසසුමට ලක් විය. තමන්ගේ රටට ක්‍රීඩා කිරීම අත්හැර දමා මුදල් පමණක් ලබා ගැනීමට ක්‍රියා කරන ක්‍රීඩකයන්ට විවියන් ලබා දුන්නේ කදිම ආදර්ශයක් බව විචාරකයෝ ලියූ හ.
විවාහය
විවියන් විවාහ වුණේ කාලයක් ඔහුගේ පෙම්වතියව සිටි මිරියම් සමගය. විවියන් සහ මිරියම් යුවළට දරුවන් දෙදෙනෙකි. පුතා මාලි වසය අටේ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස වයස 15 දී ඇන්ටිගුවා වයස 15 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරා ටික කාලයක් පළමු පෙළ තරගවලටත් ක්‍රීඩා කළේ ය. විවියන් දකුණත් පිතිකරුවකු වුවත් ඔහුගේ පුතු මාලි වමත් පිතිකරුවෙකු විය. තමා මෙන් මාලිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිගු ගමනක් යනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණ ද විවියන්ගේ එම අපේක්ෂාව ඉටු වුණේ නැත.
මේ අතර ඉන්දියානු නිළියකව සිටි නීනා ගුප්තා සමඟත් විවියන්ගේ සම්බන්ධතාවයක් පැවතුණේ ය. මේ සම්බන්ධතාවය නිසා ඇගෙන් ඔහුට දියණියක් සිටී. මසාබා ගුප්තා නම් ඇය ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. අදත් ඉඳහිට ඉන්දියාවට පැමිණ නීතා සහ මසාබාගේ දුක සැප බලන්නට විවියන් අමතක නොකරන්නේ එහෙයිනි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තාට පසු
තමන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පසු විවියන් අත බැඳගෙන සිටියේ නැත. ඔහු අදටත් බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ විශේෂඥ විස්තර විචාරකයෙකි. ඉඳහිට කොදෙව් තරග විස්තර විචාරයට ද එක්වීමට ඔහු අමතක කරන්නේ නැත. 2013 දී හේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග මාලාවේ ෙදිල්ලි ඩෙයා ඩෙවල්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය. 2016 සිට 2020 දක්වා වසර පහක් අප කතානායකයා පකිස්තාන සුපර් ලීග් තරග මාලාවට සහභාගී වන කුයෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ද උපදේශකවරයකු විය.
1987 දී එංගලන්තයේ “චැරිටි” රූපවාහිනිය නිපද වූ “ද ග්‍රෑන්ඩ් නොකවුට් ටූනර්මන්ට්” කතා මාලාවේ “ෆයර් ඉන් බැබිලෝන්” කතාවේ විවියන් කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලැබූ අත්දැකීම් මාලාව ගැන කතා කළේ ය.
ලෝකය කියන දේ
මේ අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන ලෝක ප්‍රකට ක්රිකකයින් සහ විචාරකයින් විවියන්ට ප්‍රශංසා කරමින් කියූ දේවල් බොහෝය.
බ්‍රයන් ලාරා වරක් විව් ගැන කීවේ “මම දුටු හොද ම පිතිකරුවා ඔහුයි. විවියන් රිචඩ්ස් නම් මේ විශිෂ්ට ක්‍රීඩකයා මට ශක්තියක් වුණා” ය කියා ය. ඒ සමඟ සචින් ටෙන්ඩුල්කාර් ද එකඟ වන්නේ “මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩෙන කොට මගේ වීරයා වුණේ ඔහුයි. ඔහු තමයි අප දුටු හොඳ ම පිතිකරුවා.” යැයි පවසමිනි.
ඊට සරිලන ප්‍රකාශයක් පසු කලෙක ලෝකයේ ක්‍රිකට් වීරයකු වූ කුමාර සංගක්කාර ද පවසා ඇත. ඒ මෙසේ පවසමිනි. “මගේ ක්‍රිකට් වීරයාත් ඔහුයි. විවියන් සමඟ ලාරා මා දුටු හොඳම පිතිකරුවන් දෙදෙනායි.’’ මේ අතර පාකිස්තානයේ ඉන්සමාම් උල් හක් ද විවියන් ගේ දක්ෂතා ගැන පවසා ඇත්තේ “මා දුටු හොඳම පිතිකරුවාත් ඔහුයි. සෙසු පිතිකරුවන් සියලු දෙනා අතරම ඔහු ඉහළට ඔසවා තබනවා.” කියා ය.
විවියන් යනු කලාප කීපයකින් කියවා ඉවර කළ හැකි ජීවන චරිතයක් නොවේ. ඔහු අපේ කාලයේ ලෝකයේ පහළ වූ අසමසම ක්‍රිකට් වීරයා ය. සනත් ජයසූරිය “මාස්ටර් බ්ලාස්ටර්’’ වීමට පෙර ලෝක ක්‍රිකට් පිටියේ මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සුනුවිසුනු කරන්නා වූයේ ඔහු ය. එසේම ඔහුට ස්මෝකින් ජෝ - කිංග් විව් කියා ද හැඳින්වේ.
විවියන් පිතිකරුවකු ලෙස මොන තරම් සාර්ථක දැයි පෙන්වන්නට ටෙස්ට් එක් දින සහ පළමු පෙළ තරගවල දී ලකුණු සාමාන්‍ය 45.00 ඉක්මවා පවත්වා ගැනීමට සමත්වීම කදිම සාක්ෂියකි.
“විවියන් සාධාරණ මිනිසෙක්.” නමුත් ක්‍රිකට් පිටියේ දී ත් ඉන් පිටත දීත් ප්රවේගකාරි කෙනෙක්. එය ඔහුගේ චරිතය තුළ අසාධාරණ හැසිරීමක් නොවෙයි. ඒ මට ඔහු ගැන හැඟෙන හැටි” විවියන් රිචඩ්ස් නම් අසිරිමත් පිතිකරුවා ගැන කොදෙව් ක්‍රිඩක ජීමී ඇඩම්ස් වරක් ප්‍රකාශ කළේ ය.
සැබැවින්ම ඔහු අසිරිමත් ය. අපි ද මෙම පිතිකරුවා ශ්‍රී ලංකා භූමියේ ක්‍රීඩා කරන ආකාරය සියැසින් දැකීමට තරම් පින් කර ඇත්තෙමු. ලෝකයක් සතුටු කළ විවියන් රිචඩ්ස් නමැති මේ පතාක ක්‍රිකට් යෝධයාට අපට කිව හැක්කේ තවත් අනාදිමත් කාලයක් යෙහෙන් වැජඹෙන්නැයි ආසිරි පැතීමය. එය සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ පරම පැතුම බව අපි නිසැකව ම දනිමු.