ජාන වෙනස් කර බද්ධ නොකළ ද ධෛර්යය පිරවූ හදවත් වර්ධනය කරමු | සිළුමිණ

ජාන වෙනස් කර බද්ධ නොකළ ද ධෛර්යය පිරවූ හදවත් වර්ධනය කරමු

පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදය නවීන වෛද්‍ය විද්‍යාව තුළ තවත් හාස්කමක් සිදු කළ බව කියැවුණේ ය. ඒ මිනිසකුට ඌරකුගේ හදවතක් බද්ධ කරමිනි. එරට වෛද්‍ය සභාවේ අනුමැතිය සහිත ව සිදු කළ මෙකී සැත්කම අතිශය සාර්ථක බවත් මෙම හදවත් බද්ධයට භාජනය වූ තැනැත්තා ක්‍රමක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ ය.

වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් ලෙස සැලකිය හැකි මෙම සත්ත්ව ඉන්ද්‍රිය බද්ධ කිරීම හැඳින්වෙන්නේ 'සීනෝ ට්‍රාන්ස් ප්ලාන්ට්ටේෂන්' යන නමිනි. මෙකී හදවත් බද්ධය ක්‍රීඩා කතුවැකියෙන් කතා කරන්නේ ඇයි දැයි දැන් ඇතමකුට සිතෙන්නට පිළිවන.

එය මූලිකවම අප කතුවැකියෙන් සාකච්ඡාවට ලක්කරන්නේ මෙම සත්ත්ව හදවතක් මිනිස් සිරුරකට බද්ධ කිරීම වෛද්‍ය ඉතිහාසයේ මෙන්ම එහි මානව ක්‍රීඩා අනාගතය අරභයා ද වැදගත් සොයාගැනීමක් වීමට ඉඩකඩක් ඇති හෙයිනි. අප එය එසේ යැයි කියන්නේ ඇයි? අනාගත ලෝකයේ ක්‍රීඩාවට අවශ්‍ය සුමෝ ක්‍රීඩකයන් වැනි ප්‍රවේගී, ශක්ති සම්පන්න මිනිසුන් බිහි කරද්දී ඇතැම් විට මෙම හදවත් හෝ විවිධ අවයව බද්ධය ප්‍රයෝජනයට ගන්නට ඉඩක් පවතින හෙයිනි.

ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල් ස්වකීය ක්‍රීඩක බලකාය අරභයා ශක්තිමත් ජවාධික ජාන වෙනස් කළ අශ්ව හදවතක් බද්ධ කරන්නට උත්සහ ගන්නා කාලයක් ඉදිරියේ දී උදා නොවනු ඇතැයි කිසිවකුටත් කිවිය නොහැකි ය. මන්ද මානව සමාජය එතරම් ජයග්‍රහණ හඹා යන්නට උත්සුක වනහෙයිනි.

එවැනි උත්සාහයන් ආරම්භ වුවහොත් එවැනි ප්‍රයත්න අප වැනි තුන් වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සොයා පැමිණෙන්නේ කවර කලක දී දැයි කියන්නට අප දන්නේ නැත. එහෙත් එවැනි සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් පසුපස යනවාට වඩා අපේ ක්‍රීඩකයන්ගේ හදවත් අලුත් කරන්නට දැනටමත් අපට හැකියාව ඇත. ඒ ඔවුනගේ හදවත් තුළට ධෛර්යය හා අධිෂ්ඨානය එන්නත් කරමිනි.

ත්‍යාග මුදල්, ජාතික සංචිත පෝෂණ දීමනා, අනුග්‍රාහක ආවරණ, දෙස් විදෙස් විශේෂඥ පුහුණුව ආදි විවිධ ක්‍රමවේදයන් මඟින් උත්සහ කරනුයේ ද මෙම ධෛර්යය හා අධිෂ්ඨානය වර්ධනය කිරීම බව සැබෑය. ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් බලධාරීත්වය ක්‍රීඩක ජයග්‍රහණ අරභයා අත දිගහැර වියපැහැදැම් කරන්නේ එකී ධෛර්යය ක්‍රීඩක හදවත් තුළට එන්නත් කිරීමටය. එහි යම් යම් සාධනීය ප්‍රතිඵල මේ වන විට අප අත්විඳිමින් සිටී.

එහෙත් එය තවදුරටත් වර්ධනය විය යුතු ය. එවැන්නක් සිදු කළ හැක්කේ ක්‍රීඩා බලධාරීන්, ක්‍රීඩා ප්‍රේමීන් මෙන්ම ක්‍රීඩකත්වය ජන සමාජය තුළට රැගෙන යන ජනමාධ්‍ය ආදි සමාජයේ සියලු ස්ථරයන් එක්ව ක්‍රීඩකයාගේ ධෛර්යය, අධිෂ්ඨානය වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමෙනි. නව වසරේ ඒ වෙනුවෙන් අප සැවොම ජන සමාජයක් වශයෙන් එක්විය යුතුව තිබේ. එවිට 'සීනෝ ට්‍රාන්ස් ප්ලාන්ට්ටේෂන්' මෙන්ම ජයග්‍රහණයන් සොයා යන ශක්තිමත් ක්‍රීඩක හදවත් නිර්මාණය කරගැනීමට හැකියාව උදාවනු නිසැකය.

Comments