ජාතික මේස පන්දු ශූරයා ආනන්ද විදුහලේ සෙනුර - ශූරිය නාවික හමුදාවේ මුතුමාලි | සිළුමිණ

ජාතික මේස පන්දු ශූරයා ආනන්ද විදුහලේ සෙනුර - ශූරිය නාවික හමුදාවේ මුතුමාලි

ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අතිශූරත ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ 16 හැවිරිදි සෙනුර සිල්වා ජාතික ජ්‍යෙෂ්ඨ මේස පන්දු තරගාවලියේ දී ද අතිශූරත ම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබී ය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළාබාල ශිෂ්‍යයකු වීම ද කැපී පෙනෙයි.

74 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියේ අතිශූරත ම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූයේ නාවික හමුදාව නියෝජනය කළ මුතුමාලී ප්‍රියදර්ශනී ය. ඔවුන් දෙදෙනා ම ජ්‍යෙෂ්ඨ කේවල ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වූ කුලුඳුල් අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ක්‍රීඩක යින් 128 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙවර පිරිමි තරගාවලියේ කේවල ශූරතාව මෙන් ම යුගල ශූරතාව හා මිශ්‍ර යුගල අනුශූරතාව තහවුරු කර ගන්නට සෙනුර සිල්වා සමත් විණි.

චමීර ගිනිගේ සමඟ එක්ව යුගල ශුරතාව ද ජිතාරා වර්ණකුලසූරිය සමඟ එක්ව මිශ්‍ර යුගල අනු ශූරතාව ද තහවුරු කර ගැනීමට සෙනුර සිල්වා ට මෙවර හැකි විය.

පිරිමි කේවල අවසාන තරගයේ දී ඔහු හමුවේ වට 04 - 03 ක් ලෙස පරාජය ලැබූයේ මහනුවර ආදි විද්‍යාර්ථ සමාජයේ ක්‍රිශාන් වික්‍රමරත්න ය. ඔහු ට අනු ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. මෙම අවසාන තරගය අතිශය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනිණි.

කේවල අවසන් පූර්ව වටයේ දී සෙනුර සිල්වා හමුවේ මිලින්ද ලක්ෂිත වට 04 - 03 ක් ලෙස ද ‍ක්‍රිශාන් වික්‍රමරත්න හමුවේ ප්‍රසාද් ද සිල්වා වට 04 - 01 ක් ලෙස ද පරාජය ලැබූහ.

ක්‍රීඩිකාවන් 64 දෙනකු සටන් වැදුණු මෙවර කාන්තා තරග මාලාවේ කේවල අවසාන තරගයේ දී මුතුමාලී ප්‍රියදර්ශනී හමුවේ වට 04 - 00 ක් ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා ට අනුශූරතාව හිමි විය.

පසුගිය වර කේවල ශූරතාව දිනා ගනිමින් ජාතික ශූරිය බවට පත්වුණු හංසනී පියුමිලා මෙවර අවසාන තරගයේ දී තියුණු තරගයකින් තොරව ලකුණු 11- 04, 14 - 12, 11- 04 සහ 11- 05 ක් ලෙස පරාජයට පත්විණි.

එකී අවසන් පූර්ව වටයේ දී මුතුමාලි ප්‍රියදර්ශනී හමුවේ වට 04 - 00 ක් ලෙස කසුනි පිටිගල ද හංසනී පියුමිලා හමුවේ වට 04 - 01 ක් ලෙස මනීෂා ශලින්දී ද පරාජය ලැබී ය.

මෙවර පිරිමි යුගල අංශයේ ශූරතාව සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ එක්ව දිනා ගන්නා අතර වාරයේ එකී අනුශූරතාව ක්‍රිෂාන් වික්‍රමරත්න සහ නිර්මලා ජයසිංහ සතු විය.

එහි දී තරග වට 03 - 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ ට හැකි විය

අවසන් පූර්ව වටයේ දී නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ වට 03 - 00 කින් පරාජයට පත් කරමින් සෙනුර සිල්වා සහ චමීර ගිනිගේ ද සුපුන් වරුෂවිතාන සහ හිරුණ වරුෂවිතාන වට 03 - 01 කින් පරාජයට පත් කරමින් ක්‍රිශාන් වික්‍රමරත්න සහ නිර්මල ජයසිංහ ද අවසන් තරගය සඳහා වරම් ලබා ගත්හ.

ජිතාරා වර්ණකුලසූරිය සහ තනුෂී රුද්‍රිගෝ වට 03 - 02 කින් පරාජයට පත් කරමින් වසරේ කාන්තා යුගල ශූරතාව තහවුරු කර ගැනීමට තෙදිනි තුෂාරා සහ මනීෂා ශලින්දී මෙවර සමත් විය.

එකී අවසන් පූර්ව වටයේදී ඉෂාරා මධුරංගි සහ හංසනී පියුමිලා වට 03 - 02 කින් පරාජය කරමින් ජිතාරා වර්ණකුලසූරිය සහ තනුෂී රුද්‍රිගෝ ද මුතුමාලී ප්‍රියදර්ශනී සහ නදුනි සූරසිංහ වට 03 - 02 කින් පරාජය කරමින් තෙදිනි තුෂාරා සහ මනීෂා ෂලින්දී ද තීරණාත්මක අවසන් තරගයට වරම් ලැබූහ.

සෙනුර සිල්වා සහ ජිතාරා වර්ණකුලසූරිය වට 03 - 02 කින් පරාජයට පත් කිරීමට සමත් වූ නිමේෂ් රංචාගොඩ සහ හංසනී පියුමිලා මෙවර මිශ්‍ර යුගල ශූරතාවයට හිමිකම් කීහ.

එකී අවසන් පූර්ව වටයේදී හංසනී පියුමිලා සහ නිමේෂ් රංචාගොඩ හමුවේ වට 03 - 01 ක් ලෙස එන්.නිරෝෂණ සහ කේ. පිටිගල ද ජිතාරා වර්ණකුලසූරිය සහ සෙනුර සිල්වා හමුවේ වට 03 - 01 ක් ලෙස ඉෂාරා මධුරංගී සහ තිසස් රංචාගොඩ ද පරාජය ලැබූහ.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට කුසලාන ප්‍රදානය රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලන සභාපති මෙන් ම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සපුමල් වීදිය බණ්ඩාර

Comments