ඕමානයේ දී ශ්‍රී ලංකාව හොකී සම්මානයක් ලැබුවා - එය අපි ලැබූ විශිෂ්ට ජයක් | Page 2 | සිළුමිණ

ඕමානයේ දී ශ්‍රී ලංකාව හොකී සම්මානයක් ලැබුවා - එය අපි ලැබූ විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකාව හා ඕමානයේ හොකී සමාජ හතරක සහභාගිත්වයෙන් පැවැති අන්තර් සමාජ හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා හොකී සමජය පසුගියදා සමත්විය. ඕමානයේ පැවැති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ හොකී සමාජ කණ්ඩායම් දැක්වූ දක්ෂතා කැපී පෙනුණි. මෙම තරග සංචාරයේ දී කොළඹ හොකී සමාජය (සී.එච්.) නියෝජනය කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා වන නලන්ත ද සිල්වා සමඟ 'ක්‍රීඩා' සාකච්ඡා කළේ එම ජයග්‍රහණය පිටුපස තිබූ අත්දැකීම් බෙදාහදා ගැනීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකා - ඕමාන ක්‍රීඩා සමාජාන්තර හොකී තරගාවලියක් සංවිධානය වුණු පළමු අවස්ථාව මෙය නේ ද?

ඔව්. අපි මෙයට පෙර ඕමානය හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සමාජාන්තර හොකී තරගාවලියක් පවත්වා තිබුණේ නෑ. මෙය තමයි පළමු අවස්ථාව. එහි ජයග්‍රහණය අත්පත් කර ගන්න ලැබීම ගැන සතුටුයි.

කවුද මේ තරගාවලිය සංවිධානය කරන්න මුල් වුණේ?

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමයි ඕමානය සමඟ පැවැත්වූ සාකච්ඡාවකට අනුව මෙවැනි සුහද ක්‍රීඩා තරග දෙරට අතර පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණේ. ශ්‍රී ලංකාවේ හොකී දියුණු කිරීමට බලාපොරොත්තුවක් තිබෙන නිසා ක්‍රීඩා ඇමතිතුමා මේ සම්බන්ධතාව ඇති කර ගත්ත එක ගැන ක්‍රීඩකයන් වශයෙන් අපි සතුටු වෙනවා. මෙම තරගාවලිය සංවිධානය කිරීමේ දී මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඕමාන හොකී සංගමය මූලිකත්වය ගෙන තිබුණා. ඒ වගේම දෙරට අතර තානාපති සම්බන්ධතා අරඹා හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් තරගාවලිය සංවිධානය වීමත් තවත් සුවිශේෂත්වයක්.

තරගාවලිය පැවැත්වුණේ කොහේ ද?

සුල්තාන් ක්වාබූස් ක්‍රීඩා සංකීර්ණයේ තමයි තරගාවලිය පැවැත්වුණේ.

කවුද මේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම්?

ශ්‍රී ලංකා ඩිෆෙන්ස් වොරියර්ස් සහ ඕමානයේ සොහාර් ක්‍රීඩා සමාජය, සී.එච් සහ එෆ්.සී. පිල මෙන්ම ඕමානයේ අහ්ලි සිඩාබ් ක්‍රීඩා සමාජය ඊට සහභාගි වුණා.

එම තරගාවලියේ දී අපි ලැබුවේ මොන වගේ ප්‍රතිඵලයක් ද?

අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපි ලැබුවා. එම තරගාවලියට සහභාගි වුණේ ඔවුන්ගේ ආරක්ෂක සේවා කණ්ඩායම් දෙකක්. ඔවුන් ඔවුන්ගේ රටේ දී ම පරාජය කිරීමට හැකි වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

මෙතැන තිබුණු තරගකාරිත්වය කොහොම ද?

ඇත්තටම ලොකු තරග-කාරිත්වයක් තිබුණා. පළමු තරගය 3-1 ක් ලෙස ජයග්‍රහණය කළා. ඒත් දෙවන තරගය 4-4 ක් ලෙස තරගය සම සමව නිමා කෙරුණා. ඊට පසුව දඬුවම් පහර මගින් තමයි ජයග්‍රාහකයා තෝරන්න සිදු වුණේ. එතැන දී යළි අපි ජය-ගත්තා. ඇත්තටම කියනවා නම් මෙතැන දී දැල රකින ක්‍රීඩක තරිඳු හෙන්දෙනිය අපේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළා.

මේ තරගාවලියේ ලබා ගත්තු අත්දැකීම් මොන වගේ ද?

ආරක්ෂක සේවා කණඩායමේ සිටි ක්‍රීඩකයින් 18 දෙනාගෙන් 13 ක් ම 2018 ආසියානු හොකී තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වෙනුවෙන් ඕමානයේ තරග වැදුණු අය. අලුත් ක්‍රීඩකයන් සිටියේ සුළු පිරිසක්. නමුත් ඔවුන්ට හොඳ තරග අත්දැකීම් ලබා ගන්න හැකියාව උදාවුණා. ඒ වගේම ඕමාන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් නවදෙනෙක් මෙම තරගාවලියේදී ඔවුන්ගේ කණ්ඩායමට ක්‍රීඩා කළා. ඉශංක ජයසුන්දරගේ නායකත්වය යටතේ තමයි අපි ක්‍රීඩා කළේ.

ඇත්තටම ඕමාන රාජ්‍ය තුළ හොකී ක්‍රීඩාවේ තත්ත්වය මොන වගේ ද?

එරට හොකී ක්‍රීඩාව දියුණු තැනක තිබෙනවා. ක්‍රීඩාව පවත්වාගෙන යෑමට හොඳ ක්‍රීඩාංගණ පවතිනවා. ඒ වගේමයි ඕමානයේ හොකී ක්‍රීඩාව වෙනුවෙන් හොඳ ප්‍රචාරණයක් ලැබෙනවා. ඒ නිසා එරට හොකී කියන්නේ දියුණු ක්‍රීඩාවක්.

එතකොට ඔබලාගේ මේ සුහද තරගාවලිය නරඹන්න ප්‍රේක්ෂකයෝ ඇවිත් හිටිය ද ?

ඇත්තටම කීවොත් විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සිටියා. 2018 දී අපි ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරග වෙනුවෙන් ඕමානයට යද්දී විශාල ප්‍රේක්ෂක පිරිසක් දුටුවා. මෙම තරගාවලියේදීත් අපි වෙනුවෙන් ජයඝෝෂා නඟන්න විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සිටියා.

මේ තරගාවලියට යන්න අපේ කණ්ඩායම පුහුණු වුණේ කොහොම ද? මේ වන විට ලෝකය ම තිබෙන්නේ කොවිඩ් අර්බුදය එක්ක පැටලිලායි. ඔබලත් ජීව බුබුළක් විදිහට ද පුහුණු වුණේ?

ක්‍රීඩකයන් 22 සංචිතය කර තමයි පුහුණුවීම් කළේ. කොවිඩ් නිසා එකට පුහුණුවීම් කරන්න අසීරු වුණා. ඒ නිසා අපි නේවාසික වුණේ නෑ. පුහුණුවීම් අවසන් වුණු සැණින් එකිනෙකා සේවය කරන ආරක්ෂක අංශවලට ගොස් ආරක්ෂක විධාන අනුගමනය කරමින් යළි පුහුණුවීම්වලට ආවා.

මේ තරගාවලිය ගැන පෞද්ගලික මතය මොකක් ද?

ඇත්තටම සතුටුදායක ආරම්භයක්. 2018න් පස්සෙ තමයි මෙවැනි තරගාවලියකට සහභාගි වුණේ. වසර දෙකක් තිස්සේ අපිට හොකී තරග අහිමිව තිබුණා. අපි ඕමානයේ තරග වැදුණා වගේ සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව වැනි රටවල් හා තරග කරන්න පුළුවන් නම් හොඳයි කියායි මා විශ්වාස කරන්නේ.

පසුගිය කාලයේ වැඩිපුර පුහුණුවීම් කරන්න බැරි වෙන්න ඇති නේද?

මාස එකහමාරක් වගේ කාල සීමාවක් අපි පුහුණු වුණා. රැකියාව නිසා හොකී පුහුණුව ගැටලුව් වුණේ නෑ.

අඩුවෙන් පුහුණු වෙලා පැරැණි දක්ෂතා අතරට එන එක අසීරු වුණේ නැද්ද?

අපි හැමදාම පුහුණු වීමිවල නිරත වෙන නිසා අමාරු වුණේ නෑ. අපිට හොඳ පුහුණුකරුවන් තිදෙනකුගේ සේවය ලැබුණා. ඉතින් ඒ මඟ පෙන් වීමත් සමඟ කණ්ඩායම ඉදිරියට ගියා.

හොඳයි ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්. කලක් ශ්‍රී ලංකා හොකී පිලේ නායකයා ඔබ. මොනවද අපට ඉදිරියේ තියෙන තරගාවලි?

ඉදිරියේදී හරියටම කියනවා නම් පෙබරවාරියේ අග ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය (AHF CUP) තියෙනවා බංග්ලාදේශයේ.

ඒ වෙනුවෙන් ජාතික සංචිතය යළි කැදවලා තිබෙනවද?

වසර දෙකකට පසුව අලුත් කිුඩකයින් 35 ක් සිටින සංචිතයක් කැඳවලා තිබෙනවා. යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වා එයින් තෝරාගන්නා ක්‍රීඩකයින් සංචිත කරන බව තමයි අපට දැනුම් දී තිබෙන්නේ.

දැන් අපි ඔබේ පෞද්ගලික ඉලක්ක ගැන කතා කරන්න කැමතියි. මොනවද අනාගත සැලසුම් වශයෙන් ඔබ යෝජනා කරන්නෙ?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන හොකී ක්‍රීඩාංගණ හැදෙන්න උවමනායි. හොකී ක්‍රීඩාව දියුණු තැනකට ගෙනැවිත් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයට පැමිණෙනවා නම් මම ගොඩාක් සතුටු වෙනවා.

කාන්ති ජයසිංහ

Comments