සාප්පුවක මතක ඉතිරි කර සමුගන්නා නවසීලන්තයේ ටේලර් | සිළුමිණ

සාප්පුවක මතක ඉතිරි කර සමුගන්නා නවසීලන්තයේ ටේලර්

ලුටෙරු රොස් පුටෝආ ලොට් ටේලර්. කියවාගන්නත් අසීරු නමක්. මේක නමක් නොවෙයි නම් කෑලියක් කැටියක්. ඇත්තටම කවුද මේ. මේ තමයි ලෝක ක්‍රිකට් පිටියේ අපි කාටත් කාලයකට අමතක නොවන ‘දිව දිග’ ක්‍රීඩකයාගේ නම. ඒත් අපි හැමෝම ඔහුව හඳුනන්නේ රොස් ටේලර් කියායි. ඇඳුම් මැසුවත් නොමැසුවත් ඔහු තමයි ක්‍රිකට් පිටියේ ටේලර් වුණේ. නමුත් ඔහු තමන්ගේ ක්‍රිකට් වියමන අවසන් කරන බව පසුගිය දා සඳහන් කර තිබුණා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමින්.

ඔහු දිගු ඉනිම් ක්‍රීඩා කරන්න ශූරයෙක්. ශතකයක් රැස්කළාට පසුව ස්වයංව සතුටු වෙමින් තම දිව එළියට ඇද, දෙනෙත් විශාල කරමින් උද්දාමය ප්‍රකාශ කිරීමත් ඔහුගේ පුරුද්දක්. සැමෝවා රාජ්‍යයේ උපන් මවකගේ කුසේ පිළිපන් ටේලර් මහත්තයා ආයෙ කවදාවත් ක්‍රිකට් පිටියක දකින්න ලැබෙන එකක් නෑ. මේ ඔහු ගැන තැබෙන සටහනක්.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවති 2011 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි පළමු වටයේ 24 වැනි තරගයේ දී එක්තරා ක්‍රීඩකයෙක් විසින් කොල්ලකෑමක් සිදු කළේ ය. එම තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ පාකිස්ථාන කණ්ඩායම අතර ය. ක්‍රීඩාංගණය වුණේ මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික පිටිය ය.

මේ කොල්ලකාරයා අන් කවරකුවත් නොව පසුගිය දා අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතයට සමුදීමට තීරණය කළ නවසීලන්ත පිලේ සුපිරි පිතිකරු රොස් ටේලර් ය.

පල්ලේකැලේ පිටියේ දී ඔහු කළ කොල්ලකෑම හේතුවෙන් පාකිස්ථාන පන්දු යවන්නන් අන්ත අසරණ භාවයට පත් වූ ආකාරය ක්‍රිකට් ලෝලීන්ට සදා අමතක නැත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පාකිස්තානයට අන්ත අසරණ පරාජයක් උරුම වීමය.

එදා ඔහු කළේ කුමක් ද?

ටේලර් එම තරගයේ දී පන්දු 124 ක ට ලකුණු 131 ක් රැස් කළේ පිටිය පුරා එල්ල කළ හයේ පහර 7ක් සහ හතරේ පහර 8 ක් සමඟිනි. එම පිති ප්‍රහාරය රසික හදවත්වලින් ඈත් නොවන්නට කදිම හේතුව මේ පිතිහරඹය ම පමණක් නොවේ.

මන්ද ඔහු සිය පළමු ලකුණු 69 රැස් කළේ ඉතාම මන්දගාමීව ය. ඒ සඳහා ඔහු පන්දු 108 ක් වැය කළ අතර, ඊට හතරේ පහර 4 ක් ඇතුළත් විණි. නමුත් ඔහු ඉතිරි ලකුණු 62 රැස් කළේ පන්දු 16 කිනි.

එම පන්දු 16 ට හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විණි. පකිස්තානයේ සුපිරි වේග පන්දු යවන්නෝ දෙපළක් වූ ෂොයිබ් අක්තාර් සහ අබ්දුල් රසාක් එහි දී ටේලර්ගේ අණසකට යටත් වූ හ. තම 27 වැනි උපන් දිනය දා දියත් කෙරුණු එම සුවිශේෂී ඉනිම ඔහු විසින් ඔහුට ම තිළිණ කර ගත් තෑග්ගක් බඳු විය.

එම තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම හමුවේ ලකුණු 110 ක අතිවිශිෂ්ට ජයක් ලබා ගත් නවසීලන්ත පිලට එම ජයග්‍රහණය උදෙසා ටේලර්ගේ ලකුණු 131 ඉතාම වැදගත් සාධකයක් බවට පත් විය. මෙම ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ටේලර් පල්ලේකැලේ කොල්ලකරුවා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට ක්‍රිකට් ලෝලීහු උත්සුක වූ හ.

අන්තර්ජාතික ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව දැනුම් දුන් රොස් ටේලර් රසික සිත්වලින් මැකී නොයන්නට එක ම හේතුව මෙය පමණක් නොවේ. පහළොස් වසරක් පුරා විහිදුණු ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ රසික හදවත්හි බැඳෙන්නට, ටේලර්ට ම ආවේණික වූ හොකී ක්‍රිකට් පිති පහර සහ ස්ලොග් ස්වීප් පිති පහර ද හේතුවක් විය.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අමතර ව හොකී ක්‍රීඩාවෙහි ද නිපුණයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී හොකී පිත්ත හසුරුවන ආකාරයේ පහරක් අනුගමනය කරන්නට ටේලර්ට එය උදව්වක් වෙන්නට ඇති බව නවසීලන්ත හිටපු ක්‍රීඩක මාටින් ක්‍රෝගේ අදහස විණි.

දිව ඇදෙන ශතක සමරුව

එපමණක් නොව ඔහු ශතකයක් ලබා ගත් පසු එය සමරන ආකාරය ද අපූරුය. එසේ ශතකයක් ලබා ගැනීමෙන් අනතුරු ව පිත්ත ඔසවා එය සමරන විට සිය දිව පිටතට යොමු කිරීම ටේලර්ට ම ආවේණික ක්‍රමයකි.

අන්තර්ජාතික ක්‍රිකට් දිවියට පිවිසීමට පෙර ටේලර් නවසීලන්ත 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවීය. එයින් පසුව අන්තර්ජාතික පිටියට ආවේ 2006 වසරේ සිට ය. තම ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ලකුණු 7584 ක් එක්දින ලකුණු 8581 ක් සහ විස්සයි විස්ස ලකුණු 1909 රැස් කරන්නට ඔහු සමත් විණි.

රොස් ටේලර් සිය ටෙස්ට් දිවිය තුළ ශතක 19 ක් සහ අර්ධ ශතක 35 ක් ද එක්දින ශතක 21 ක් සහ අර්ධ ශතක 51 ක් මෙන් ම විස්සයි20 අර්ධ ශතක 7 ක ට ද හිමිකම් කියයි. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිත්‍ය පන්දු යවන්නෙක් නොවූව ද 2010 වසරේ අහමදාබාද් හි දී ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගයක දී පන්දු යවන්නෙක් ලෙස ලකුණු 4 ක ට කඩුලු 2 ක් දවා ගන්නට ද සමත් විය. හේ 2011 වසරේ නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වන්නට ද සමත් විණි.

නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ද ඔහු උපත ලද්දේ සැමෝවා රාජ්‍යයේ ය. එම රාජ්‍යය 1914 වසරේ සිට නවසීලන්තය යටතේ පැවති අතර 1962 වසරේ දී නවසීලන්තයෙන් වෙන් ව නිදහස ලැබී ය. කෙසේ නමුත් නවසීල-න්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දෙවැනි සැමෝවා නියෝජනය මෙන් ම නවසීල-න්ත කණ්ඩායමේ නායකත්වයට පත් පළමු සැමෝවා ක්‍රීඩකයා වූයේ ද රොස් ටේලර්ය. රොස් ටේලර්ගේ සහකාරිය වන වික්ටෝරියා බ්‍රවුන් ද ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වූ තැනැත්තියකි. ඇය ටේලර් හා විවාහ වීමෙන් අනතුරුව ක්‍රිකට් දිවියට සමු දී ගුරු වෘත්තියට පිවිසුණා ය.

නවසීලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙහි මෙන්ම අයි.පී.එල්. ඇතුළු ලොව පුරා ජනප්‍රිය ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක දී ම ඔහු දක්වා ඇති දස්කම් සහ මතක සටහන් රාශියකි. වරක් ඔහු සිය 34 වැනි උපන්දිනයට දිනකට පෙර එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 181 ඔහුගේ දිවියේ අමතක නොවන මතක සැමැරුමකි.

එමෙන් ම වැඩි ම එක්දින ශතක ලබා ගත් නවසීලාන්තික පිතිකරුවා සේ සැලකෙන්නේ ද ඔහු ම ය. එවන් වූ මතක ගොන්නක් කරපින්නා ගත් අපූරු එහෙත් නිහඬ ක්‍රීඩකයකු වූ රොස් ටේලර් අන්තර්ජාතික ක්‍රීඩාවෙන් සමුගත්තත් ඔහු ගැන මතකය රසික සිත් තුළ බොහෝ කාලයක් යන තුරු නොමැකී පවතින බව නම් සැකයක් නැත.

 

Comments