
'අයි.සී.සී. යේ මහා මංගල්‍යයක් තමයි වාර්ෂික සම්මාන උළෙල. මේ වන විට අයි.සී.සී. ටෙස්ට් ක්‍රීඩකයා කවුරු ද කියලා සොයන්න දැනටමත් නිර්දේශිත නාම ඉදිරිපත් කරලා අවසන්. එතැන දී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්නට හොඳ පිළිගැනීමක් හිමි වෙලා තිබෙනවා. දැන් විස්සයි විස්සේ දී ත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ගේ නම සලකා බලන්න අයි.සී.සී. ය තීරණය කරලා. මේ ඒ ගැන.'
අයි.සී.සී. වසරේ විස්සයි20 ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කර ඇති ක්‍රීඩකයන් සිව් දෙනා අතරට වනිඳු හසරංග ද ඇතුළත් ව තිබේ. වනිඳු සමඟ එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්, ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සහ පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් මෙලෙස වසරේ විස්සයි20 ක්‍රීඩකයා සඳහා නිර්දේශ කළ ක්‍රීඩකයන් සිව් දෙනායි.
මේ වසරේ අයි.සී.සී සම්මානයක් සඳහා නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් වූ දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනිඳු වන අතර, මින් පෙර අයි.සී.සී. ය විසින් නිකුත් කළ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත් විණි.
ගෙවී ගිය වසරේ ලොව වැඩි ම විස්සයි20 කඩුලු ලාභියා වන හසරංග තරග 20ක දී පන්දුවාර 77 ක් යවමින් ලකුණු 419 කට කඩුලු 36 ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ 11.63 ක සාමාන්‍යයක් සමඟිනි. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 09 කට කඩුලු 04 කි. මෙකී පන්දු යැවීමට ත්‍රිත්ව කඩුලු දවා ගැනීමක් ඇතුළත් පන්දු යැවීමේ දස්කමක් ද වේ. පිතිකරුවකු වශයෙන් පිත්තෙන් ද දස්කම් දක්වා ඇති වනිඳු අර්ධ ශතකයක් (වැඩිම ලකුණු 71) ද සමඟ ලකුණු 196 ක් රැස් කර ඇත. රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 05 කි.
මේ වන විට ලොව අංක එකේ විස්සයි20 පන්දු යවන්නා වන වනිඳු වසර පුරා ම ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ දී පැවැති විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක ම පන්දු යවන්නා වනුයේ ද වනිඳු හසරංග ය. එහි දී ඔහු කඩුලු 16 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වූ අතර, අයර්ලන්තයට එරෙහිව පිත්තෙන් ද වටිනා ලකුණු 71ක් රැස් කළේ ය.
24 හැවිරිදි වියේ පසුවන වනිඳු, ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව සාජා පිටියේ දී පැවැති පළමු වටයේ තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කිරිමට සමත් විය. එකී තරගයේ දී ඔහු පන්දුවාර 4 ක් තුළ ලකුණු 20කට කඩුලු 3 ක් දවා ගත්තේ ය.
ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් තරග 21 කට එක් වෙමින් ලකුණු 627ක් රැස් කර ගෙන තිබේ. වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලබා ගත් ලකුණු 77 කි. සාමාන්‍යය 36.88ක් වන අතර, කඩුලු 8 ක් ද බිඳ දමා ඇත්තේ සාමාන්‍යය 18.37ක් වශයෙන් රඳවා ගනිමිනි. රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 09 කි.
විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉතා ඉහළ දස්කම් දැක්වූ මාෂ් එහි තරග 6 ක දී ලකුණු 185 ක් රැස් කර ගත්තේ 61.66 ක සාමාන්‍ය-යක් රඳවා ගනිමින් ය. මාෂ් නවසීලන්තයට එරෙ-හිව අවසාන මහා තරගයේ දී ත් වටිනා ඉනිමක් දියත් කළේ ලෝක කුසලානය සිය රටට දිනා දෙමින් ය.
මොහොමඩ් රිස්වාන් ගෙවී ගිය වසරේ තරග 29කදී හොඳ ම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 73.66 ක් සමඟින් වසරේ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙන ලකුණු 1326 ක් රැස් කර තිබේ. මෙකී ලකුණු සංඛ්‍යාවට ශතකයක් (නොදැවි ලකුණු 104) සහ අර්ධ ශතක 12 ක් ද ඇතුළත් ය.
ගෙවී ගිය වසරේ වැඩි ම හතරේ (119) සහ හයේ (42) පහරවල් එල්ල ක්‍රීඩකයා වනුයේ ද ඔහු ය. එමෙන් ම කඩුල්ල පිටුපස දවා ගැනීම් 22කට ද දායක වී ඇති රිස්වාන් උඩ පන්දු 20ක් රැක ගෙන ඇති අතර, කඩුල්ල බිඳ දැමීම් දෙකකට දායක වී තිබේ.
එංගලන්තයේ ජෝස් බට්ලර් තරග 14 ක දී ලකුණු 589 ක් රැස් කර ඇති අතර, වැඩි ම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 101කි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 65.44කි. අර්ධ ශතක සංඛ්‍යාව 05කි. හතරේ පහර 49ක් එල්ල කර ඇති බට්ලර් හයේ පහර 26ක් ගෙවුණු වසර පුරා තම විස්සයි විස්ස ක්‍රිකට් දිවිය තුළ
එල්ල කර තිබේ. කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 24කට දායක වී ඇති ඔහු සිදු කර තිබෙන දවා ගැනීම් සංඛ්‍යාව 13කි. ඒ උඩ පන්දු 8ක් සහ ස්ටම්ප් කිරිම් 05ක් වශයෙනි.
නිමා වූ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 67ක දී රැස් කළ ලකුණු 101 බට්ලර්ගේ මේ වසරේ සුපිරි ම ඉනිම්වලින් එකකි. ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 10 දී ග්‍රහණයට ගත් තරගය සම්පූර්ණයෙන් ම උදුරා ගත් බට්ලර්, එංගලන්තයට ජයග්‍රහණය ගෙන ඒමට සමත් විය. විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානයේ දී එංගලන්තයේ වැඩි ම ලකුණු ලාභියා ද වූ බට්ලර් රැස් කළ ලකුණු ප්‍රමාණය 269 කි.
බන්ධුල ජයමාන්න