
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව ගියේ ය.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අවසාන මහා තරගයේ දී පරාජයට පත්වූයේ ඉන්දියාව අතිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සදීෂ රාජපක්ෂ 35,131 හා 11 සහ චමිඳු වික්‍රමසිංහ 54,111,12 ක් ලෙස ලකුණු රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූහ. ඊට අමතරව පවන් පතිරාජ 86,11 ෂෙවෝන් ඩැනියෙල් 54,17,01 සහ රනුද සෝමරත්න (නොදැවී) 60, 8 ද එහි දී කැපී පෙනුණි.
පන්දුයැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 10ක් (2/4,58/1,31/3,16/2) සදීෂ රාජපක්ෂ කඩුලු 03 ක් (4/3) ට්‍රෙවින් මැතිව් කඩුලු 6 ක්(17/2,14/4) සහ මතීෂ පතිරණ කඩුලු 6 ක්(7/2,49/3,8/1) වශයෙන් දස්කම් දැක්වූ හ.
ට්‍රෙවින් මැතිව් ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් පාකිස්තානටය එරෙහිව ලකුණු 14කට කඩුලු 4ක් දවා-ගත් අතර එය මෙවර ආසියා තරගාවලියේ පන්දු යවන්නකු සටහන් කළ දෙවැනි හොඳ ම පන්දු යැවීම ද විය.
කොදෙව් සංචාරය
මේ අනුව 14 වැනි වරට පැවැත්වෙන අවුරුදු 19 න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට නම්කර ඇත්තේ ආසියා යොවුන් කුසලාන තරගාවලියට එක් වූ 17 දෙනකුගෙන් සමන්විත සංචිතය ම වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සාන්ත ජෝසප් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ට පැවරී ඇත. උප නායකයා ලෙස කටයුතු කරනුයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා ය.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පිතිකරුවන් 7 ක්, වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් සිව්දෙනකු බැගින් ඇතුළත්ව සිටිති. ආසියා යොවුන් ක්‍රිකට් අනුශූරයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක්ව සිටීම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑමට විශාල ශක්තියක් වනු ඇත.
තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල එහිදී සත්කාරක කොදෙව් පිල , ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය සමඟ තරග වදී. තරගාවලිය සමාරම්භය සනිටුහන් කරමින් 14 දා සත්කාරක බ.ඉ.කොදෙව්වන් සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වෙයි . එදිනම දෙවැනි තරගය වශයෙන් ශ්‍රී ලංකාව තරග වදින්නේ ස්කොට්ලන්තය සමඟය. 17 වැනි දා ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකාව 21 වැනි දා මූලික වටයේ අවසන් තරගයට එක් වන්නේ සත්කාරක බ.ඉ.කොදෙව්වන්ට එරෙහිව ය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 05 වැනි දා පැවැත්වෙයි.
යොවුන් ලෝක කුසලාන ඉතිහාසය
පළමු වරට යොවුන් ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කර තිබෙන්නේ 1987/88 වසරේ දී ය. එම තරගාවලිය බ.ඉ.කොදෙව් හි පැවැත්වෙන පළමු වතාව ලෙස සැලකෙන්නේ මේ වසර ය.
අවසන් වරට මෙම තරගාවලිය 2019/20 තරග වර්ෂයේ දී පැවැත්-වුණේ දකුණු අප්‍රිකාවේ ය. තරගා*-වලියේ ශූරතාව හිමිකරගත්තේ බංග්ලාදේශයයි. ඔස්ට්‍රේලියාව (1987/88, 2001/02, 009/10), ඉන්දියාව (1999/2000, 2007/08, 2012, 2017/18), පාකිස්තානය (2003/04, 2005/06) එංගලන්තය 1997/98,දකුණු අප්‍රිකාව 2013/14, බ.ඉ. කොදෙව් 2015/16, වශයෙන් මෙම ශූරතාවයේ අභිෂේක ලබා තිබේ.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ සංචිතය - දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා (උප නායක), සදීෂ රාජපක්ෂ, වනුජ සහන්, රනුද සෝමරත්න, මල්ෂ තරුපති, ට්‍රෙවින් මැතිව්, යසිරු රොද්‍රිගෝ, ෂෙවෝන් ඩැනියල්, අංජල බණ්ඩාර, පවන් පතිරාජ, මතීෂ පතිරණ, චමිඳු වික්‍රමසිංහ, විනුජ රන්පුල්, අභිෂේක් ලියනාරච්චි, සදීෂ් ජයවර්ධන, සකුණ ලියනගේ.
බන්ධුල ජයමාන්න
--------------------------
කාන්තා ක්‍රිකට් පුහුණුකරු තනතුරට ලංකා
ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්න හට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් ලංකා ද සිල්වා මහතා තාවකාලික පුහුණුකරු වශයෙන් පත්කර ඇත.
-------------------------
පාපන්දු සංචිතය විසුරුවයි
ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මාස දෙකක කාලයකට විසුරුවා හැරීමට පාපන්දු සම්මේලනය කටයුතු කර ඇත. නව අන්තර් පළාත් පාපන්දු තරගාවලියට ජාතික පිලේ ක්‍රීඩකකයන් සහභාගි කරවීමේ අරමුණ පෙරදැරිව මෙලෙස සංචිතය විසුරුවා ඇත.
----------------------
ජාතික ජුඩෝ ශූරතාව යුද හමුදාවට
ජතික ජුඩෝ බාලක හා බාලිකා ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. බාලක අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දිනා ගත් අතර, බාලිකා අනුශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විය. මෙවර තරගාවලියේ දී දක්ෂත ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චාමර ධර්මවර්ධන සම්මානයට පාත්‍ර වූ අතර, දක්ෂත ම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ. ඩබ්ලිව්. ඉමේෂා සම්මාන හිමි කර ගත්තාය.
-------------------------
දිමුත් ලෝක ටෙස්ට් සංචිතයට
“ක්‍රීක් ඉන්ෆෝ“ අන්තර්ජාතික ක්‍රීඩා මාධ්‍ය ආයතන වෙබ් අඩවිය විසින් නම් කළ 2021 වසරේ ටෙස්ට් සංචිතය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළත් කර තිබේ. ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය එංගලන්තයේ ජෝ රූට්ස්ට හිමි ව ඇත. ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න, ඉනිදියාවේ රෝහිත් ශර්මා, රිෂාබ් පාන්ට් සහ රවිඩන්ද්‍රන් අශ්වින් ඊට ඇතුළත් ය. පකිස්තානය නියෝජනය හසන් අලී, ෂහීඩ් අෆ්ර්ඩ් හා ෆවාඩ් අලාම් ද නවසීලන්තය නියෝජනය කරමින් කයිලි ජෙමිසන් මෙන්ම ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් මානුස් ලැබ්ස්වේස් ද ඊට නම් කර තිබේ.
-----------------------------
මලල ක්‍රීඩා සියවස අප්‍රේල් 7 වැනි දා
2022 ජනවාරි 22 වැනිදාට යෙදී තිබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සියවස් සමරුම නිමිත්තෙන් ලබන අප්‍රේල් 7 වැනිදා ආසයානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති කටාර් ජාතික දහලාන් ජුමාන් අල් හමාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාර-නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී නිල සමරු උත්සවය පැවැත්වේ.
එදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් ද නිකුත් කිරීමට නියමිත ය. එදින ම පස්වරුවේ දී දකුණු ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක සභා රැස්වීමක් ද කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.