මට තවම පුළුවන් ආසියානු දැල්පන්දු ශූර ශ්‍රී ලංකා පිලේ නායිකා චතුරංගි ජයසූරිය | සිළුමිණ

මට තවම පුළුවන් ආසියානු දැල්පන්දු ශූර ශ්‍රී ලංකා පිලේ නායිකා චතුරංගි ජයසූරිය

 

‘ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව වශයෙන් කලක් කටයුතු කළේ ඇය ය. එහෙත් මීට දෙවසරකට පමණ ඉහත දී ඈ ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගත්තේ සිය පෞද්ගලික ජීවිතයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි. කලකට පසු ‘ක්‍රීඩා’ හිටපු දැල්පන්දු නායිකා චතුරංගි ජයසූරිය සමඟ සම්මුඛ විය.’

දැන් මම සිඟිති දියණියකගේ මවක්. නමුත් මගේ ශරීර යෝග්‍යතාවය හොඳින් තියෙනවා.’ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා චතුරංගි ජයසූරිය ‘ක්‍රීඩා’ වෙත පැවසුවා ය.

‘දුවට වයස අවු.1 මාස 8 යි. ඇගේ නම විහංසා අභිමානි. මගේ සැමියා ධනුෂ්ක ශ්‍රීමාල් සමරසිංහ. වෘත්තියෙන් ගුරුවරයෙක්. ඔහුගේ උපන් ගම හසලක. ඒත් දැන් අපි පදිංචි වෙලා ඉන්නේ බොරැල්ල ප්‍රදේශයේ යි.

මගේ පළමු දැල්පන්දු පුහුණුකාරිණිය වුණේ ට්‍රික්සි නානායක්කාර මහත්මිය යි. ඇයට මම තවමත් ආදරය කරනවා. අද මෙතනට එන්න මාර්ගය සකසා දුන්නේ එතුමිය යි.’ යැයි චතුරංගි සිය අතීතය සිහිපත් කරමින් පැවසූවා ය.

පාසලේදී වැඩිපුරම කළේ ක්‍රීඩාවයි. නමුත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළින් ම සමත් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැමිණීමෙන් පසු උපාධියක් සම්පූර්ණ කළා. ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබර ව කළ නිසා අද ඕනම අභියෝගයකට මුහුණ දෙන්නත් නිර්භයව ඇත්ත කතා කිරීමේ ශක්තියත් ලැබී තිබෙනවා.

2009 වසරේ ආසියානු දැල්පන්දු තරගාවලිය අපි ජයග්‍රහණය කරනවා මා පත්තරයකින් දැක්කා. එම ජයගුහන දකිද්දි මටත් දැල්පන්දු කරන්න ඇත්නම් යැයි ආසාවක් ඇතිවුණා. ඒ ජයග්‍රහණය මගේ අම්මා මට පෙන්නුවා. කොහොම හරි ඒ එක්කම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ කළමනාකාරිණිය ලෙස සිටි ට්‍රික්සි නානායක්කාර මහත්මිය උසින් වැඩි ක්‍රීඩිකාවන් අවශ්‍ය බව පුවත්පතකට කියා තිබුණා. මගේ උස අඩි 6.1 ක් නිසා මමත් ඉල්ලුම් පත්‍රයක් හදාගෙන මිස්ව හම්බ වෙන්න අම්මයි, මල්ලියි එක්ක ගියා.’ ඇය සිය දැල්පන්දු ගමන් මඟ ගැන කියන්නී ය.

‘මම ගුවන් හමුදාවට බැඳෙද්දී වයස අවුරුදු 20 යි. ඊට පස්සේ මම බොහොම කැපකිරීම් කරලා පුහුණුවීම් කළා. මේ කැපකිරීම් නිසා ම මගේ යාළුවෝ මට කියන්නේ උනන්දුවා කියලයි. මම පුහුණුවීම්වලදී බොරු කරන්නේ නැහැ. මම රැකියාව පවා කරන්න කැමැති නිවැරදිවයි. මගේ ජීවිතයේ බොරුව සහ වංචාව නැහැ. සත්‍ය ජය ගන්නා බව මා දන්නවා.

මම තවම දැල්පන්දුවට ආදරෙයි. නමුත් සිඟිත්තියකගේ භාරදූර වගකීම නිසා කොළඹින් පිට ගොස් පුහුණුවීමට නම් දැන් අමාරුයි. බබා හම්බවෙන්න පෙර නම් විවාහයෙන් පසුත් මම පූල් එකේ නතර වෙලත් පුහුණුවීම් කළා. වසර 2017 දී මා යුග දිවියට පත් වුණා. අප කණ්ඩායම වසර 2018 ආසියානු දැල්පන්දු ශුරතාව හිමිකර ගත්තා. 2019 වසරේ දී දැල්පන්දු ලෝක ශුරතාවයේ 15 වැනි ස්ථානයට පැමිණියා. ඒ ජයග්‍රාහි අවස්ථා දෙකේ දී ම මා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා.

රාජකාරියට අමතර ව මම දිනපතා ඇවිදීම ඇතුළු ව්‍යායාම කිරීම නම් අතපසු කරන්නේ නැහැ. මොකද යෝග්‍යතාව තියාගන්න එක අනිවාර්යය නිසා. කෝවිඩ් කාලසීමාවේ අපි ගුවන් හමුදාව ඇතුළේ දැල්පන්දු පුහුණුවීම් කළා. නමුත් පූල් එකේ පුහුණුවීමි තිබුණේ නැහැ. ලබන වසරට තරගාවලි ඇවිත් ති‍ෙයන නිසා පුහුණුවීමවලට ජනවාරිවල කැඳවීම් කර තියෙනවා.

ඇතැම්විට දැනටමත් නවක ක්‍රීඩිකාවෝ තෝරාගෙන ඇති. ඔළු ගෙඩි මොණව වුනත් ක්‍රීඩා පරිපාලන ප්‍රතිපත්ති නොවෙනස් ව පවත්වාගෙන යා යුතුයි කියා යි මම විශ්වාස කරන්නේ. ජාතික මට්ටමේ මලල ක්‍රීඩිකාවක් ඔලිම්පික් යන්න නම් වසර 10ක් වත් පුහුණුවීම් කළ යුතුයි. දැල්පන්දු ක්‍රීඩාව සමූහ තරගයක් නිසා ලෝක ශුරතාව වෙනුවෙන් අඩුම තරමේ වසර 5ක් වත් පුහුණුවීම් කළ යුතුයි.

ඉදිරියේ දී අපි ලෝක ශුරතාවේ 10 වැනි ස්ථානයටවත් පැමිණිය යුතුයි. මෙතෙක් එම ස්ථානයට පැමිණීමට නොහැකි වුණේ ඇයි දැයි විමර්ශනයක් කර ඒ වෙනුවෙන් අවශ්‍ය පිළියම් යෙදීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට මෙතෙක් පුහුණු කාල සීමාවේ දී කිසිදු ගෙවීමක් රජයෙන් වත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයෙන් වත් ලැබී නැහැ. 2018 වසරේදී අපි ආසියානු ශුරතාව හිමිකර ගත්තාට පසු මා නායිකාව විදියට අප කණ්ඩායම වෙනුවෙන් ගෙවීමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හරහා රජයෙන් ඉල්ලීමක් කළා. එවිට අපට මාසයකට රු.15000 බැගින් මාස 6ක කාලසීමාවක් වෙනුවෙන් ගෙවීම් කළා.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට කිසිදු වරප්‍රසාදයක් මෙතෙක් ලබා දී නැහැ. ප්‍රවාහන ගාස්තු පවා අතින් ගෙවාගෙන අපි පුහුණුවට ආවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් 6 පහරට 4 පහරට ගෙවීම් කරනවා. රට වෙනුවෙන් දහදිය හෙලන කකුල් අතපය කඩා ගන්නා දැල් පන්දු ක්‍රීඩිකාවන් වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් ලැබී නැහැ. දැල්පන්දුව වෙනුවෙනුත් එවැනි ප්‍රතිලාභයක් අවශ්‍ය බවයි මා කියන්නේ. මම අවුරුදු 10ක් රට වෙනුවෙන් දැල්පන්දු ක්‍රීඩාවේ හිටියා. තව අවුරුද්දක් ඕන නම් දෙකක් ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි. ඉන්පසු මා විශ්‍රාම යනවා. ඉදිරියේ දී එන ක්‍රීඩිකාවන් වෙනුවෙන් හෝ සාධාරණය ඉටු විය යුතු යැයි මා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

උදුලා පීරිස්

Comments