බොල් පිළිමයක් නොවන ගෝවේ පිළිරුව | සිළුමිණ

බොල් පිළිමයක් නොවන ගෝවේ පිළිරුව

 

'ඉන්දියාවේ ගෝවේ නගරයේ පාපන්දු ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විශාල අර්බුදයක් ගොඩනැඟී තිබුණේ ය. විරෝධතාකරුවන් මෙම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක්කරනු ලැබී ය. විශාල මුදලක් වියපැහැදම් කරමින් විදේශීය පාපන්දු ක්‍රීඩකයකුගේ පිළිරුවක් තම නගරයේ ඉදි කරන්නේ මන්දැයි මෙම විරෝධතා දක්වන්නන්ගේ ප්‍රධාන ගැටලුව විය. එහෙත් පසුගිය දා අදාළ ගැටලුව විසඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි. මේ එම විරෝධතා කතාවේ සුලමුල හා වර්ධනය සම්බන්ධව ය.'

ලෝකයේ වත්මන් පාපන්දු රජු කවුරුන්ද යන්න ගැන සොයා බලද්දී එහි සක්විති රජකු ලෙස අවිවාදයෙන් සැලකෙන පාපන්දු තාරකාව වනුයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. අත දිගහැර පිනට දහමට මුදල් වැයකරන, දක්ෂතාවය, ප්‍රසිද්ධිය තුළින් මුදල් උපයන ඔහු ත්‍යාගශීලි පාපන්දු තරුවක් ලෙස සුප්‍රකට ය. එවැනි මිනිසකුගේ පිළිරුවක් ගෝවේ නගරය ආශ්‍රිත ව ඉදි කිරීමට එම ප්‍රදේශයේ බලධාරීන් තීරණය කර තිබුණේ ය.

මෙම තීරණය කන වැකීමත් සමඟ එහි ජීවත් වන කණ්ඩායම් අතර මහා විරෝධයක් ගොඩනැඟී තිබිණි. ඔවුන් තර්ක කළේ මෙවැනි විදේශීය ක්‍රීඩකයකු සම්බන්ධයෙන් ඉන්දියාවේ ගෝවේ නගරය තුළ ස්මාරකයක් ඉදි කිරීමේ අරමුණ කුමක් ද යන්නයි.

'අපිට මොකටද පරංගියෙක්ගේ පිළිරුවක්. පිළිරූ තනන්න තරම් වටින දේශීය ක්‍රීඩකයෝ නැද්ද?' විරෝධතාකරුවෝ පසුගිය කාලය පුරා ම නොඅසා ඇසූ ප්‍රශ්නය එය විය. සැබැවින්ම ඊට ඉවහල් වූ ප්‍රධාන හේතුව කුමක් ද?

ධෛර්යය දෙන්නලු

'මිනිස්සු පාපන්දු ගැන කතා කරද්දී හැම කෙනෙක්ම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන කතා කරනවා. අපි ඔහුගේ ස්මාරකයක් අඹන්න තීරණය කළේ පාපන්දු ගැන කැමැත්තක් තියෙන පුංචි කොල්ලන්ට, කෙල්ලන්ට ඒ ක්‍රීඩාව ගැන ධෛර්යයක්, ආශාවක් ගොඩනඟන්නයි. එතකොට ඔවුන් වයසින් වැඩෙද්දී තව තවත් මේ ක්‍රීඩාවට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වගේම පාපන්දු ඔවුන් අතරත් විලාසිතාවක් බවට පත්වෙනවා. දැන් ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි පාපන්දු ජනප්‍රිය ම ක්‍රීඩාව වෙලා තියෙන්නේ ඒ නිසයි.' පිළිරුවක් ඉදි කරන්න තීරණය කිරීම සම්බන්ධයෙන් ගෝවේ ප්‍රාන්ත ආණ්ඩුවට සම්බන්ධ ඇමැතිවරයකු වන මයිකල් ලොබෝ පවසා තිබුණේ එසේ ය.

මෙම පිළිරුව ඉදි කරනු ලැබූවේ ගෝවේ පිහිටි ප්‍රධාන උද්‍යානයක ය. ඒ රොනාල්ඩෝගේ සැබෑ උසට ගැළපෙන ආකාරයටය. එවැනි පිළිරුවක් මඟින් උද්‍යානයේ අලංකාරත්වය ද ඉහළ යන බව මෙම ඉදි කිරීම් යෝජනාවට පක්ෂපාතව ඉදිරිපත් කර තිබූ අදහසක් විය.

විරෝධතාව

රොනාල්ඩෝගේ පිළිරුවක් ගෝවේ ප්‍රධාන නගරය වන පාංජි හි ස්ථාපනය කිරීමෙන් දිනකට පසුව සුවිශාල විරෝධතාවයක් දක්වමින් කළු කොඩි රැගත් විරෝධතාකරුවන් රැසක් එම නගරය හා පිළිරුව වටකොට තිබිණි. රාත්තල් 882 ක් බර මෙම පිළිරුව එහි ස්ථාපනය කිරීම සිදු නොකළ යුත්තක් බව විරෝධතාකරුවන් දැඩිව ඉදිරිපත් කළ සටන් පාඨය විණි.

එහි දී විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ගෝව නගරය තුළ විදේශීය පාපන්දු ක්‍රීඩකයකු ගෞරවයට පාත්‍ර කිරීම අනවශ්‍ය කරුණක් බවයි. එමෙන් ම මෙම පාපන්දු ක්‍රීඩකයා නියෝජනය කරන රට වන පෘතුගාලය සත වර්ෂ කීපයක් තිස්සේ ඉන්දියාවේ ගෝව නගරය සිය ආධිපත්‍ය යටතේ පාලනය කළ බව ද විරෝධතාකරුවන් පෙන්වා දී තිබුණේ ය. එවැනි තත්ත්වයක් යටතේ එම රටේ ක්‍රීඩකයකුගේ පිළිරුවක් ගෝවේ නුවර ඉදි කිරීම යෝග්‍ය නොවන බවද විරෝධතාකරුවන්ගේ අදහස විය.

'අපේ ප්‍රදේශයට පෘතු-ගාලයෙන් නිදහස ලැබිලා අවුරුදු හැටක්. ඇත්තටම මීට දසක හයකට පෙර තමයි ඒ දේ සිද්ධ වුණේ. නැත්නම් දිගු කලක් තිස්සේ අපේ ස්වෛරීත්වයට බාධා එල්ලවී තිබුණා. ඒවා අපිට අමතක කරන්න බෑ.' විරෝ-ධතාකරුවෝ පවසා තිබුණහ.

ඇයි මේ?

ඉන්දියාවේ සිට සැතපුම් 5700ක දුරින් පිහිටි පෘතු-ගාලයේ පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් ඉන්දියාවේ ගෝවේ හි පිළිරුවක් ඉදි කළේ ඇයි?

ඊට පිළිතුර ගොනු කරන්නට එකී යෝජනාව ක්‍රියාත්මක කළ පාර්ශ්වය කටයුතු කර තිබුණේ ය. එහි වැඩි ම විරෝධය එල්ල වන්නේ ස්වෛරීත්වයට නොව පවුම් 12000 ක් වියදම් කරමින් අදාළ ඉදි කිරීම සිදු කිරීම බවද ඇතැම් කණ්ඩායම් පෙන්වා දෙති.

ඊට පිළිතුරු ලෙස යෝජනාව ක්‍රියා-වට නැංවූ ගෝවේ ඇමැති මයිකල් ලොබෝ පසුගිය දා සිය ට්විටර් අඩ-වියේ පිළිරුවේ ඡායාරූප පළ කරමින් සටහනක් තබන්නට අමතක කර තිබුණේ නැත.

'ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව වෙනස් අදියරකින් දකින්න ඕනෑ නම් මේ වගේ දේවල් සිදු කළ යුතුයි. රොනාල්ඩෝගේ පිළිරුව ගෝවේ විරාජමාන වෙනවා දකින තරුණ, තරුණියන් නිසැකව ම මේ පිළිරුව එක්ක සෙල්ෆි ඡායාරූප ගන්නවා. එහෙම අරගෙන සමාජ ජාලාවල පළ කරනවා. අනිත් තරුණ තරුණියන්ටත් එය උන්මාදයක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. එවිට රොනාල්ඩෝ වගේ වෙන්න හිතාගත්තු තරුණ පරපුරක් නිර්මාණය වෙනවා. අන්න ඒ වෙද්දී තමයි ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව වෙනස් වෙන්න ගන්නේ. දැන් පාපන්දුවේ එතරම් විශාල පුනරුදයක් අපි දකින්නේ නෑ. අපි මේ වගේ පිළිරුවක් ඉදි කිරීමෙන් අපේක්ෂා කරන්නේ එයයි.' විවිධ විරෝධතාවයන්ට පිළිතුරු දෙමින් ගෝවේ ඇමැතිවරයා පවසා තිබු-ණේ ය.

එහෙත් එයට විරෝධය දක්වන්න-වුන් පවසන්නේ ජාත්‍යන්තරය දිග් විජය කළ ඉන්දීය පාපන්දු වීරයන් ඕනෑ තරම් ඉන්දියාව සතු බවයි.

'ඇයි මෙහෙම කරන්නේ. ගෝවෙන් බිහි වුණු විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෝ ඉන්නවා. බෘනෝ කෝතිනෝ සහ යොලන්ඩා ඩි සූසා එවැනි වීරයන්. ඔවුන් අන්තර්ජාතික වශයෙන් ඉන්දියාවට විශාල කීර්තියක් රැගෙන-

විත් තිබෙනවා. ඇයි ඔවුන්ගේ පිළිරුවක් ඉදි නොකර පෘතුගීසි පාපන්දු තරුවකගේ පිළිරුවක් ස්ථාපනය කරන්නෙ?' ගෝව විරෝධතා පාර්ශ්වය නියෝජනය කරන කණ්ඩායම තර්ක-යක් ගොඩනඟා තිබේ.

කෙසේ නමුත් රොනාල්ඩෝ යනු

පස් වතාවක් බැලැන්ඩෝර් සම්මාන-යෙන් පිදුම් ලැබූ ලෝකයේ ම ආක-ර්ශනය දිනා ගත් පාපන්දු තරුවක් වීම තරුණ තරුණියන් තුළ පාපන්දු උන්මාදයක් ගොඩනැංවීමට ඉවහල් වන බව ඊට පිළිතුරු දෙන පිරිස් පෙන්වා දෙති.

මේ අර්බුදය 2017 වසරේ සිට ඉන්දියාව හා ලෝකය තුළ අවදානයට පාත්‍ර වූ සිදුවීමක් වුවත් දැන් එකී

පිළිරුව ඉදි කර අවසන් ය. එහෙත් තමන්ගේ පිළිරුවක් ගෝවේ පාංජි හි ස්ථාපනය කිරීම ගැන රොනාල්ඩෝ කිසිවක් ප්‍රකාශ කර නැත.

මෙම පිළිරුව කිලෝ ග්‍රෑම් 410 ක් බර වන අතර ඉන්දියාව තුළ ඔහුගේ පිළිරුවක් ඉදි කළ පළමු අවස්ථාව ද මෙය විණි.

'අපේ රජයට, නගර සභාවට පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම හරහා බොහෝ දේ උකහා ගන්න පිළිවන්. හොඳ ක්‍රීඩාංගණ ඉදිකරන්න, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් මේ ක්‍රීඩාව නගාලන්න හැකියි. හොඳ ෆුට්සාල් ක්‍රීඩාංගණ ඉන්දියාවේ ගොඩනැගිය යුතුයි. එමගින් රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාවට ආකර්ශනය වෙන එකයි එමගින් මුදල් උපයාගැනීමයි ඉහළ යනවා.' මයිකල් ලොබෝ පවසන්නේය.

'අපිට හොඳ පුහුණුකරුවෝ ඕනෑ. ඒ වෙනුවෙන් හිටපු ක්‍රීඩකයෝ පත්කරන්න හැකියි. රජය තමයි ඒ දේවල් කළ යුත්තේ. ඉන්දියාව වෙනුවෙන් ගෝව නියෝජනය කළ පාපන්දු වීරයෝ අපිට මෙහෙම පුහුණුකරුවෝ වශයෙන් බඳවා ගන්න පුඵවන් වෙනවා. පාපන්දුව නඟාලන්න තියෙන එකම ක්‍රමය මේක විතරයි. අපි පාපන්දු ක්‍රීඩාවෙන් ලෝකයේ බොහෝ රටවල්වලට පිටුපසින් ඉන්නේ එවැනි ක්‍රමවේදයක් නැති නිසයි.' ඇමැතිවරයා පවසන්නේ ය.

එසේම තමන්ගේ ව්‍යායාමට විරෝධය පළකරන්නවුන් පිළිබඳ ඔහු පවසන්නේ මෙවැන්නකි. 'මේවා හුදු ජනප්‍රියතාව වෙනුවෙන් කරන විරෝධතා. නමුත් එමඟින් ඔවුන් කරන්න උත්සාහ කරන්නේ මේ රටේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට යන එක නවත්වන්න උත්සාහ ගන්න එකයි. ඒ වගේම එවැනි විරෝධතාකරුවන් ගැන මට කියන්න තියෙන්නේ ඔවුන් දැඩි ලෙස පාපන්දු ක්‍රීඩාවට වෛර කරන කණ්ඩායමක් කියා පමණයි. ඔවුන් දන්නේ නෑ පාපන්දු කියන්නේ ආගමක්, ලෝකයේ සෑම තැනකම සෑම කෙනෙක් ම සමානාත්මතාවයෙන් සලකන්න පුලුවන් ක්‍රීඩාවක් කියන කාරණය. වර්ණය, ආගම ය, කුලය ආදි කිසිදෙයක් නොසලකා ඒ ක්‍රීඩාවේ නියැළෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනයට විරුද්ධ වෙනවා නම් මට ඔවුන් සම්බන්ධයෙන් කියන්න තිබෙන්නේ මොනවද?' ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ ය.

කොටින්ම කියන්නේ නම් ඔවුන් කියන්නේ රොනාල්ඩෝගේ ස්මාරකය, බොල් පිළිමයක් නොව බොහෝ අපේක්ෂා සපිරුණු පිළිරුවක් බව ය.

 

Comments