ගුවන් හමුදාව රටේ ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න ලෑස්තියි | සිළුමිණ

ගුවන් හමුදාව රටේ ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්න ලෑස්තියි

 

'ඔහු සෙන්පතියෙකි. එහෙත් එහි විශේෂත්වයක් ඇත. ඒ සෙන්පතියකු සතු ගම්භීරත්වයට අතිරේකව පිහිටා ඇති සුවිශේෂත්වයකි. ඒ සෞම්‍ය බව ය, නිරතුරුව හිතෛෂී භාවය තුළින් ඇඳෙන කාරුණික සිනහව ය, ප්‍රියජනක කතාව ය. මානුෂීය භාවය, අභිමානනීය බව, නිර්භීත භාවය නොඅඩු හේ දිනෙක ගුවන් හමුදා ඉතිහාසයට අමතක කළ නොහැකි නායකත්වයක් දුන් තැනැත්තකු ලෙස සැලකිය හැකි ය. වර්තමානය වන විට රටේ ක්‍රීඩාපතියකු ලෙස සැලකිය හැකි තරමට ඔහු ක්‍රීඩාශීලි සෙන්පතියෙකි. මේ 'ක්‍රීඩා' පුවත්පත නව වසර ඇරැඹුමේ දී එවන් සුවිශේෂී වූ මෙරට ගුවන් හමුදාපතිවරයා සමඟ ක්‍රීඩාව අරබයා පැවැත්වූ සාකච්ඡාවකි.

නව වසර ආරම්භයේ දී ම ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවලිය සංවිධානය කරන්න ගුවන් හමුදාව සූදානමින් ඉන්නවා. ඒ ගැන කතා කරමින් ම සංවාදය ආරම්භ කරන්න කැමතියි?

ඔව්. අපි වාර්ෂික ව ක්‍රීඩා දින දර්ශනය ආරම්භ කරන්නේ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගා-වලියෙන්. ඒ තරගාවලිය සුපුරුදු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ත්‍රිකුණාමලයේ චීන වරාය ආශ්‍රිතව ඉදි කර ඇති ගොල්ෆ් ක්‍රීඩාංණයේ දී පැවැත්වෙනවා. ඒ සඳහා අවශ්‍ය සියළු සූදානම් වීම් මේ වන විට සිදු කෙරමින් තිබෙන්නේ. අභිමානවත් ආකාරයට අපි මෙවරත් එම තරගා-වලිය සංවිධානය කරන බව කිව යුතුයි.

ගිය වසරෙත් කොවිඩ් වසංගතය අස්සේ වුණත් ඉතා උත්කර්ෂවත් ආකාරයට ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවලිය සංවිධානය කෙරුණා. ඒත් එවර විදේශීය තරගකරුවන් සඳහා තරගාවලිය විවෘත වුණේ නෑ. මෙවර විදේශීය තරගකරුවන් වෙනුවෙන් මේ තරගාවලිය විවෘත ද?

ඔව්. දැන් රට විවෘත වෙලා තිබෙන්නේ. සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ ම සෞඛ්‍යය නිර්දේශයන්ට අනුකූල ව රට තුළ කටයුතු හොඳින් සිදු කෙරෙමින් තිබෙනවා. විශාල ප්‍රතිශතයකින් රටේ ජනතාව එන්නත් කරණයට ලක්කරලා තිබෙන නිසා කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් යම් කිසි පාලනයක් පවතින බව කිව යුතුයි. ඒ නිසා විදේශීය තරගකරුවන් වෙනුවෙන් මේ තරගාවලිය විවෘත කරන එක අර්බුදයක් නොවෙයි. අනික ආසි-යාවේ තිබෙන ගොල්ෆ් ක්‍රීඩාංගණ අතර අලංකාර, ක්‍රීඩා කිරීමේ අභියෝගයක් පවතින ගොල්ෆ් ක්‍රීඩාංගණයක් තමයි චීන වරාය ආශ්‍රිත ව පිහිටි මාබල් බීච් වෙරළ ආශ්‍රිත ව ඇති ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණය. ඒ නිසා මේ ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගි වන්න අවස්ථාව ලබා ගන්න සෑම ගොල්ෆ් ක්‍රීඩකයකු ම පෞද්ගලිකව කැමතියි. ඒ නිසා මේ තරගාවලියට වැඩි ක්‍රීඩක ආකර්ෂණයක් තිබෙනවා. ඒ නිසා අපි දැනටමත් තරගාවලිය ගැන විදේශීය තරගකරුවන්ට දැනුම් දී තිබෙනවා.

මෙතැනදී ත්‍යාග මුදල් මඟිනුත් ආකර්ෂණයක් ලබාගන්න උත්සහ කරනවා ද?

මෙහෙමයි. අපිට ලොකු ත්‍යාග මුදල් ප්‍රදානය කරන්න අසීරුයි. ලෝකය සමඟ ගනිද්දී තමයි අපිට එහෙම කරන්න බැරි. නමුත් වටිනා කුසලානයක් ලබා දෙන නිසාත් අභියෝගාත්මක තරගාවලියක් වන නිසාත් දෙස් විදෙස් ක්‍රීඩකයන් අතර ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය සම්බන්ධයෙන් ලොකු ආකර්ෂණයක් තිබෙනවා.

ගුවන් හමුදා පාපැදි සවාරිය කාලයක් තිස්සේ පැවැත්වුණේ දේශීය පාපැදි ක්‍රීඩාවේ සිහින සවාරිය වුණු ලංකා සවාරිය වගෙයි. ඒත් පසුගිය වර තනි දිනකින් තරගාවලිය අවසන් කෙරුණා. මෙවර කොහොම ද තරගාවලිය සංවිධානය කෙරෙන්නේ?

අපි මේ තරගාවලිය සංවිධානය කරන්නේ ගුවන් හමුදා දිනයට සමගාමීවයි. ඔබ කියන දේ හරි. ගිය වර කොවිඩ් වසංගතය නිසා තරගාවලිය තනි දිනකට සීමා කර-න්න අපිට සිදු වුණා. ඒත් මෙවර අපි දින කීපයක් අවම වශයෙන් දින දෙකක් වත් මේ තරගාවලිය පවත්වනවා. ඒ සඳහාත් දෙස් විදෙස් තරගකරුවන්ට සහභාගි වෙන්න අවස්ථාවක් ලබා දී තිබෙනවා. දැනටමත් අපි ලෝකයේ බොහෝ රටවල ගුවන් හමුදාවන් හා ආරක්ෂක අංශ මාර්ගයෙන් මෙම තරගාවලිය ගැන දැනුවත් කර තිබෙන නිසා විදෙස් ක්‍රීඩකයන්ට ඒ වෙනුවෙන් සහභාගි වන්නට තිබෙන අවස්ථාව වැඩියි.

ඒ කියන්නේ විදේශීය ක්‍රීඩකයන්ට දේශීය තරග වෙනුවෙන් සහභාගි වන්න තිබෙන අවස්ථාවන් වැඩිදියුණු කරමින් දේශීය ක්‍රීඩකයන්ගේ තරග අත්දැකීම් වැඩිදියුණු කරන්න ගුවන් හමුදාවෙන් ලොකු උත්සහයක් ගන්නවා?

ඔව්. ක්‍රීඩාව මඟින් රටට ලැබෙන ප්‍රතිලාභ අතර සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කරමින් ක්‍රීඩා ආර්ථිකය ගොඩනඟන්න අපට රජයට ලබා දිය හැකි දායකත්වය දෙන්න ගුවන් හමුදාව සැම විට ම සූදානමින් සිටිනවා. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා රජයත් සැම විට ම ආර්ථිකය ප්‍රවර්ධනය කරන්න විදේශිකයන් මෙරටට ආකර්ෂණය කරගත හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේමයි ඒ වෙනුවෙන් ක්‍රීඩාව යොදාගැනීමට ඇති හැකියාව ගැන සොයා බලන පසුබිමකයි අපි දැන් ජීවත් වන්නේ. ඒ නිසා අපිත් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති තරගාවලි මෙරට වැඩි වශයෙන් සංවිධානය කරන්න සූදානම්. මේ එවන් එක තරගාවලියක්.

ක්‍රීඩාව ගැන කතා කරද්දී සතුටු ම කාරණයක් වන්නේ ප්‍රබල ශක්තියක් සහිත ගුවන් හමුදාව ගොල්ෆ්, පාපැදි වගේ ක්‍රීඩා දෙකකින් ක්‍රීඩාව සඳහා ලබාදෙන දායකත්වය නවත්වන්නේ නැති එක. ඔබගේ නායකත්වය යටතේ රග්බි තරග වෙනුවෙනුත් විශාල වැඩ කොටසක් කරන්න ගුවන් හමුදාව ඇපකැපව සිටිනවා. ඒ ගැනත් කතා කරමු?

ඇත්තෙන්ම. රග්බි පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි වශයෙන් මැදිහත් වෙනවා. කොවිඩ් නිසා ජන ජීවිතය අඩාළ වී ක්‍රීඩාව අකර්මන්‍ය වද්දී යළි රග්බි පිටිය උණුසුම් කරන්න අපිට හැකිවුණේ ගුවන් හමුදාපති රග්බි තරගාවලිය සංවිධානය කරමිනුයි.

එම තරගාවලිය වෙනුවෙන් ජීව බුබුළක් පවත්වාගෙන යමින් වැඩි වියදමක් සිදු කරමින් තරගාවලිය ප්‍රේක්ෂකයන් නොමැතිව ආරක්ෂිත ක්‍රීඩාංගණයක පවත්වන්න අපිට සිදු වුණා. එය තවදුරටත් පුළුල් කරමින් සෞඛ්‍යය උපාය මාර්ග අනුගමනය කරමින් අපි මේ තරගාවලිය පවත්වන්න සූදානම්. ගුවන් හමුදාව වශයෙන් අපි අපේ හැකි උපරිමයෙන් දායක වෙමින් රටේ ක්‍රීඩාව ගොඩනංවනවා.

දැන් ඔබට ගුවන් හමුදාපති කියන්නද ක්‍රීඩාපති කියන්නද කියලා හිතාගන්න බෑ. මොකද ගුවන් හමුදාව ඒ තරමට ම දේශීය ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත් වෙනවා?

අපි ගුවන් හමුදාව වශයෙන් අපිට ඇති හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින්, සම්පත් යම් ප්‍රතිශතයකින් වැය කරමින් ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒත් එහෙම මැදිහත් වෙන්නේ මේ රටේ ගුවන් හමුදාපතිට 'ක්‍රීඩාපති' කියලා ගෞරවයක් දිනාගන්න නෙමෙයි. ඒක කරන්නේ මේ රට වෙනුවෙන්. ආරක්ෂක හමුදාවක් විධිහට ගුවනින් රට රකින්න සැම විට ම නිර්භයව ඉදිරිපත්වී සිටින අපේ ගුවන් හමුදාව මේ රටේ පුරවැසියාගේ ජීවිත නිරෝගී කරන්න, සතුටු කරන්න ක්‍රීඩාව වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දායක වෙන්න සැම විට ම උත්සුක වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ තරමට ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත් වී ඉන්නේ. අනික් කාරණය වන්නේ මේක මගේ පමණක් වික්‍රමයක් නොවෙයි. ඒක සමස්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාඩම්බර ක්‍රියාවලියක්. අපේ ගුවන් සෙබළාගේ සිට මා දක්වා ඉන්න සෑම නිලයක ම ගුවන් නැවියන් රට වෙනුවෙන් සිදුකරන කැප කිරීමක්. එවැනි කැපකිරීම් ඕනෑ ම ක්ෂේත්‍රයක් උදෙසා රට වෙනුවෙන් රටේ ජන-තාව වෙනුවෙන් සිදු කිරීමට ආරක්ෂක අංශයක් වශයෙන් අප සැමවිටම සූදානම්. ඒක තමයි මෙවැනි ක්‍රීඩා මැදිහත්වීම් මඟිනුත් ප්‍රකට කරන්නේ.

ගුවන් හමුදාවට තියෙන්නේ ක්‍රීඩා කරන්න නෙවෙයි. නිල් අහස රැකවල්ලා රටේ ගුවන් සීමාව ආරක්ෂා කරන්න නම් දැන් ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඉදිරියට එන එක පිටිපස්සේ තියෙන්නේ මොන වගේ අභිමතාර්ථයක් ද කියලා කෙනෙක් ඇසුවහොත් මොකද කියන්නේ?

මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි රටට විය යුතු යුතුකම් ඉටුකරන්න කැපවෙනවා. අපි විශ්වාස කරන්නේ රටක් නම් ඒ රට ඇතුළේ නිරෝගී පුරවැසි-යන් සිටිය යුතු බවයි. අපිට රකින්න රටක් ලැබෙන්නේ නිරෝගී පුරවැසියන් ජීවත් වනවා නම් පමණයි. ඉතින් ක්‍රීඩාවට පුරවැසි නිරෝගී භාවය වර්ධනය කරන්න පුළු-වන්. ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් රටේ ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත් වෙනවා.

ගුවන් හමුදාව ඇතුළේ විශාල ක්‍රීඩකයෝ පිරිසක් නෑ. ඉන්නේ සීමිත සංඛ්‍යාවක්. එහෙත් අපි දකිනවා ගුවන් හමුදාව සතුව ක්‍රීඩා පහසුකම් ඉතා විශිෂ්ට මට්ටමක තිබෙන බව. ඇයි මෙහෙම සීමිත පිරිසක් ක්‍රීඩාවට බන්දාගෙන ඉන්නේ?

නෑ. අපි අපේ සෙබළ බල-මුළුවට ගැළපෙන ආකාරයේ ප්‍රතිශතයකින් ක්‍රීඩකයන් බඳවා-ගෙන තිබෙනවා. ඇත්තටම මෙතැන දී අපි ක්‍රීඩකයන් බඳවා ගන්නවාට වඩා ක්‍රීඩාවට දක්ෂ ගුවන් නැවියන් ක්‍රීඩකයන් බවට පෙරැළලා තිබෙනවා. අපි මෙතැනදී ගුවන් හමුදාවට බඳවා ගැනීමට ඇති උපරිම සෙබළුන් සංඛ්‍යාව තමයි බන්දා ගන්නේ. රටක ආරක්ෂක හමුදාවක් විදිහට අපිටත් දරාගන්න පුළුවන් බලඇණියක්, වේතන ලබා දිය හැකි සෙබළුන් සීමාවක් තිබෙනවා. එහෙම නැතිව හිතේ හැටියට මානව සම්පත කියලා ගුවන් නැවියන් බඳවාන්න අපිටත් ශක්තියක් නෑ. තිබෙන ශක්තියෙන් උපරිම ආකාරයට අපි ක්‍රීඩකත්වය ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් සහභාගි වී ඇති තරගවල දී ලබා ගෙන තිබෙන සහභාගිත්ව හා ජයග්‍රහණ ප්‍රතිශතය ඉහළයි.

ඔබ එහෙම කොහොමද කියන්නේ? මොනවද ඉදිරිපත් කරන සාක්ෂි?

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගිය ක්‍රීඩකයන් කීපදෙනාගෙන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනයන්. ජුඩෝ ක්‍රීඩාව වෙනුවෙන් ආර්.සී.එන්. ධර්මවර්ධන වගේම මලල ක්‍රීඩාව වෙනුවෙන් නිමාලි ලියනාරච්චි සහභාගි වුණා. ඒ වගේ ම පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වූ ක්‍රිඩකයන් අතරින් තිදෙනෙක් අපේ හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයන්. ඔවුන් උස්බෙකිස්ථානයේ දී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන පැමි-ණියා. ලෝක ආරක්ෂක සේවා ශූර-තාවයේ දී ක්‍රීඩකයන් තිස් දෙනෙක් සහභාගි කෙරවූවා. තරග තිබුණේ රුසියාව, පාකිස්ථානය, ප්‍රංශය, කටාර්, ඉරානය කියන රටවලයි. එතැනදී අපට බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනාගන්නට හැකි වුණා.

ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් විශාල කැපී පෙනීමක් තිබෙනවා. අපි ඒ ගැනත් සිහිපත් නොකළොත් ඒක ගුවන් හමුදාවට සිදු කරන අඩුපාඩුවක් කියලා හිතනවා.

ඔව්. අපි ඉතාමත් විනයවත් හමුදාවක්. අපි සියයට සියයක් නිවැරැදි තීරණ මත පිහිටා කටයුතු කළ යුතු තාක්ෂණික හමුදාවක්. ගුවනේ සිට ගන්නා තීරණවල දී අපට තිබිය යුතු නිරවද්‍ය භාවය ආරක්ෂා වෙන්නේ ඉතා හොඳ විනයක් සහිත සෙබළුන් අපේ හමුදාව ඇතුළේ ඉන්නවා නම් පමණයි. ඒ නිසා අපේ විනය ඉතා විශිෂ්ටයි. මම ඒ ගැන පෞද්ගලිකව ගුවන් හමුදාපතිවරයා වශයෙන් ආඩම්බර වෙනවා.

මොනවද 2022 නව වසරේ ක්‍රීඩා වෙනුවෙන් ගුවන් හමුදාව සිදු කිරීමට සැලසුම් කර ඇති තරගාවලි?

අපි තමයි වසරේ පළමු වැනි අන්තර්ජාතික තරගාවලිය ලෙස සැලකෙන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය පවත්වන්නේ. එම තරගාවලිය මෙම මාසයේ 21 සිට 23 දක්වා පවත්වන්න සිතාගෙන සිටිනවා. ඒ වගේම ලෝක ආරක්ෂක සේවා තරගාවලියේ බීච් වොලිබෝල් තරග සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව හිමිව තිබෙන්නේ ගුවන් හමුදාවටයි. ඒ වෙනුවෙන් අපි මේ වසර තුළ වැඩකටයුතු කළ යුතුව තිබෙනවා. ගුවන් හමුදා පාපැදි තරගාවලියේ පිරිමි හා කාන්තා තරගාවලිය ගුවන් හමුදා දිනයට සමගාමීව සංවිධානය කරනවා. ඒ වගේමයි අපේ සැලසුමක් තිබෙනවා මෝසම් කාලය අනුව ගොල්ෆ් තරගාවලියක් සංවිධානය කරන්න.ගුවන් හමුදාපති රග්බි තරගාවලිය වගේම ගුවන් හමුදා ස්කොෂ් තරගාවලිය සංවිධානය කරන්නත් නියමිතයි.

ඔබ ගුවන් හමුදාපති වුණාට පසුව ගුවන් හමුදාව වඩාත් දැඩිව ජනතාව අතරට ගමන් කරමින් ඉන්න බවක් හැඟෙනවා.

ඒක එහෙමම කියලා කියන්න මම කැමති නෑ. මට පෙර මේ හමුදාවට නායකත්වය දුන් හැම ගුවන් හමුදාපතිවරයෙක්ම ජනතාව සමඟ ගුවන් හමුදාව සම්මිශ්‍රණය කළා. රටක ජනතාවගේ ආදරයෙන් තොරව හමුදාවකට තබා වෙන කිසිම දෙයකට පවතින්න බෑ. ඒත් අපි දැන් එක දෙයක් විශේෂයෙන් දකිනවා. අපි ගුවන් නැවියන් බඳවා ගන්න දැන්වීමක් පළ කළාම විශාල අයැදුම්පත් ප්‍රමාණයක් පැමිණෙන බව. මේ රටේ තරුණ පරපුර ගුවන් හමුදාව ගැන විශේෂයෙන් සැලකුමට ලක්කර තිබෙන බවක් එයින් හැඟවෙනවා. ඇත්තටම ඒ ගැන අපිට සතුටුයි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments