කඩදාසි නැති කර පදක්කම් වැඩි කර ගනිමු | සිළුමිණ

කඩදාසි නැති කර පදක්කම් වැඩි කර ගනිමු

 

නව වසර ඇරැඹී තිබේ. අභියෝග කිසිවක් අවසන්ව නැත. ඒවා අවසන් වන බවට ද පෙනෙන තෙක් මානයක කිසිදු සලකුණක් ඇත්තේ ද නැත. ඉඳහිට රිදී රේඛා මතුව ඇකී මැකී යන මුත් සමස්ත ලෝකය ම ඇත්තේ මහා කළු වලාවක් තුළ හුදෙකලා වීය.

එහෙත් එය එසේ යැයි කියා සියල්ල අතැර සිදු වන්නක් දෙස බලා ඔහේ සිටීමට හැකියාවක් නැත. සමාජයක් වශයෙන් මිනිසාට එලෙස හැසිරෙන්නටද බැරි ය. එහෙයින් එම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාෂාණීභූත වී සිටි සමාජයක් ඉන් වහා මුදා ගැනීමට කටයුතු කරමිනි. එවන් සමාජයක් යළි ගතික භාවයට පත්කිරීමේ දී ක්‍රීඩාව හා කලාවට ඇත්තේ සුවිශාල වගකීමකි. එම වගකීම මෙරට තුළ ඉටු කිරීමේ දී ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා බලධාරීනට ඇති මෙහෙවර අතිවිශාල ය. පසුගිය වසර පුරා එකී මෙහෙවර ඉටුකිරීමේ දී පුරෝගාමී කර්තව්‍යයක නියැළීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබූ බව අප පිළිගත යුතු ය.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අප රටක් ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී විවිධ දක්ෂතා ප්‍රකට කළේ ය. ආර්ථික අර්බුද, සංචරණ සීමාකිරීම්, වසංගත ව්‍යාප්තිය අභිමුව එයට ශක්තිමත්ව මුහුණ දෙමින් ලෝකයේ විවිධ තලයන්හි පැවැති ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් අප යම් සීමා කිරීම් සමඟ හෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගි කර වූයෙමු. එසේ සහභාගි කර වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතරින් ඇතමෙක් සැලකිය යුතු ජයග්‍රහණ ද අත්පත් කර ගත් බව නොරහසකි.

එහෙයින් නව වසර එළඹෙන්නේ එම ගමන තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව දැනුම් දෙමිනි. එය මෙරට ක්‍රීඩාවේ ව්‍යස්ථාපිත ප්‍රධානියා වන ක්‍රීඩා ඇමැතිවරයා තේරුම් ගෙන තිබීම සතුටට කරුණකි. ඔහු පසුගියදා නව වසර වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් කියා සිටියේ ගෙවුණු වසරේ ලැබූ ජයග්‍රහණ තවදුරටත් වැඩි වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම වසරේදී ද නායකත්වය ලබා දෙන බවයි. එහි දී ඔහු අවධාරණය කළේ ඉදිරියේ දී තම අමාත්‍යාංශයේ කටයුතු ඩිජිටල්කරණය මඟින් තවදුරටත්

ගෝලීය අවශ්‍යතාවයන්ට සමීප කර-වන බව ය. එසේම ක්‍රීඩා ජයග්‍රහණ වැඩිදියුණු කරගැනීමට ක්‍රියා කරන බවය.

ඒ අනුව කඩදාසි කොළ භාවිතය හැකිතාක් දුරට අවම කරන බවට ද අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේ ය. එය කදිම ය. කඩදාසි භාවිතය වැඩි වන්-නට වැඩිවන්නට ඒවා නිමවන්නට කපන තුරුලතා ප්‍රමාණ වත් අධි-කය. එවිට සිදු වනුයේ දැනටද විශාල වශයෙන් වැඩිදියුණු වී ඇති පාරිසරික අර්බුද තවත් ඉහළ යෑම ය. ඩිජිටල්කරණයට වඩා සමීප වීම මඟින් මෙම තත්ත්වය යම් පමණකට අඩුකරලිය හැකි ය. ඩිජිටල්කරණයේ ප්‍රතිඵල භාවිත කිරීමෙන් වාහන තදබදය, ඉන්ධන නාස්තිය පිටුදැකීමට ද පිළිවන. අප කියන්නේ කඩදාසි භාවිතය අවම කරන්නාක් මෙන් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ ළෙල දෙන පදක්කම් ප්‍රමාණය වැඩි කර ගැනීමට බලධාරීන්ගේ සහයෝගය අවශ්‍යව ඇති බව ය. ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් කැපවන්නට ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් නම් සමස්ත රට ම ඊට අනුකූල ව පෙළගැසෙන්නට සූදානම් වනු ඇති බව ය. සමස්ත රටම එසේ අභීත අරමුණක් වෙනුවෙන් පෙළගස්වන්නට ජනමාධ්‍යයක් වශ-යෙන් අප ද සූදානම් ව ඇති බව අවසන් වශයෙන් කිව යුතුව ඇත.

 

Comments