
පල්ලේකැලේදී ත්‍රිත්ව විදුහලට මධ්‍යම පළාත් ශූරතාව
තෝරා ගත් කණ්ඩායම් 08 ක සහභාගිත්ව-යෙන් මහනුවර පල්ලෙකැලේ දී පැවති මධ්‍යම පළාත් පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූයේ තම අපරාජිත භාවය මැනවින් ප්‍රදර්ශනය කරමිනි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කෙරුණු පළමු පාසල් රග්බි පාපන්දු තරගාවලිය මෙය වූ අතර ඒ සදහා එක්ව සිටි සෑම කණ්ඩායමක්ම උද්යෝගිමත්ව ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබිම ප්‍රශංසනීය ය.
ලීග් ක්‍රමයට පැවති මූලික වටයේ සිටම සංවිධානාත්මක ක්‍රීඩා රටාවක නිරත වන්නට සමත් වූ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් හට මෙවර ශූරතාව දිනා ගැනීම දක්වා පැමිණි ගමනේදී ප්‍රතිවාදී කිසිදු කණ්ඩායමකින් ප්‍රබල තර්ජනයක් එල්ල වී නොතිබීම ද කැපී පෙනුණි.
ධර්මරාජ විදුහල ලකුණු 32 - 19 ක් ලෙස ද ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 47 - 00 ක් ලෙස ද මූලික වටයේ දී පරාජය කිරීම ඒ අතර කැපී පෙනුණි.
ප්‍රතිවාදී පාසල්වලට වඩා ඉදිරියෙන් සිටි ත්‍රිත්ව විදුහල ලත් මෙම ජයග්‍රහණය පසු පස සාර්ථක පෙර පුහුණුවක ප්‍රතිඵලයක් තිබුණු බව දැක ගත හැකි විය. අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතු පන්දු හුවමාරුව එහි දී ඉහළ අගයක් ගත්තේ ය.
මෙවර ශූරතාවය දිනාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය පිල වෙනුවෙන් උපක්‍රමශීලී ක්‍රීඩා රටාවක නිරත වූ රවිඳු වික්‍රමසිංහ මධ්‍යම පළාත් තරගාවලියේ ශූරතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.
මධ්‍යම පළාත් පාසල් රග්බි ශූරයින් තීරණය කෙරුණු තීරණාත්මක අවසන් මහා තරගයේ දී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් ලකුණු 33 - 07 ක පහසු ජයග්‍රහණයක වාර්තා කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්හට හැකියාව ලැබීම එහිදී කැපී පෙනුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අනු ශූරතාව මහනුවර කිංග්ස්වුඩ් විදුහල සතු විය.
මෙවර මූලික වටයේ දී ශාන්ත සිල්වෙස්තර විදුහලට එරෙහිව ලකුණු 26 - 14 ක් ලෙස ද ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 43 - 00 ක් ලෙස ද විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 38 - 10 ක් ලෙස ද පරාජය කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවකට අවතීර්ණ වීමට කිංග්ස්වුඩ් විදුහලට හැකි වුව ද එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අවසන් තරගයේ දී නොහැකි විය.
ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණු අතර එය මහනුවර පල්ලෙකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල "පළඟ" ශූරතාව තහවුරු කර ගැනීම උදෙසා තරඟ වැදුණු අතර එහි අවසාන මහා තරගයේ දී ලකුණු 26 - 14 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ධර්මරාජ විදුහලට හැකි විය.
ඒ අනුව "පළඟ" අනු ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ශ්‍රී සුමංගල විදුහලට සිදු විය.
මහනුවර විද්‍යාර්ථ සහ මහනුවර ශාන්ත අන්තෝනි යන දෙවිදුහල් අතර ක්‍රියාත්මක කෙරුණු මෙවර "බඳුන" අවසාන තරගයේ දී ලකුණු 21 - 12 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ.
එහි අනු ශූරතාව ශාන්ත අන්තෝනි විදුහල සතු විය.
කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල අතර "පළිහ" අංශයේ අවසාන තරගය ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ලකුණු 26 - 10 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශ්‍රී රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණි.
---------------------------------------
දකුණ රිච්මන්ඩ් ජය ගනී
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද දකුණු පළාත් පාසල් වයස අවුරුදු 19 න් පහළ බාලක සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
දකුණු පළාත් පාසල් ශූරයින් තීරණය කිරීම උදෙසා රිච්මන්ඩ් සහ ශාන්ත ඇලවීෂියස් යන දෙ විදුහල් අතර පැවති තීරණාත්මක අවසන් මහා තරගයේදී පෙරමුණ ගනිමින් ලකුණු 21 - 07 ක් ලෙස ජයග්‍රහණයක මිහිරි රස විඳ ගැනීමට ඒ අනුව රිච්මන්ඩ් විදුහලට හැකි විය.
ඒ අනුව "කුසලාන" අනු ශූරතාව හිමි වූයේ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයට ය.
පාසල් 07 ක සහභාගිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කෙරුණු මෙම තරගාවලියේ "පළඟ" ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් වූ අතර එකී අනු ශූරතාව මාතර රාහුල විදුහල සතු විණි. එහි අවසාන ලකුණු තත්ත්වය 17 - 00 ක් ලෙස සටහන් විය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම නියෝජනය ලෙස මෙවර තරගාවලියට එක්ව සිටි දෙබරවැව ජාතික පාසල ලකුණු 39 - 00 කින් පරාජය කරමින් "බඳුන" ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වූයේ ගාල්ල මහින්ද විදුහලයි.
ගාල්ල විද්‍යාලෝක විදුහලට "පළිහ" ශූරතාවය නිතරගයෙන් ම හිමි විණි.
දකුණු පළාත් පාසල් තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ උවිදු තිලෝෂ මෙන්ඩිස් සම්මාන ලැබී ය.
--------------------------------
සබරගමු රග්බි කිරුළ තල්දූව බෞද්ධ විදුහලට
කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් යුතුව රුවන්වැල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු සබරගමුව පළාත් පාසල් වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තල්දූව බෞද්ධ මධ්‍ය මහා විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
තීරණාත්මක අවසාන මහා තරගයේ දී පරාජය ලැබූ කෑගලු විදුහලට මෙවර තරගාවලියේ "පළඟ" ශූරතාව හිමි විය. ඒ අනුව ඔවුනට "පළඟ" ශූරතාව ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කරනු ලැබූයේ ඔවුන් තව තවත් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව ය.
තල්දුව බෞද්ධ මධ්‍ය මහා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර පැවැති "කුසලාන' අවසාන මහා තරගයේදී ලකුණු 26 - 05 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට තල්දුව බෞද්ධ මධ්‍ය මහා විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූයේ තමන් සබරගමු පළාතේ අංක එකේ රග්බි පාපන්දු පාසල බවට ඔප්පු කරමිනි.
තල්දූව බෞද්ධ මධ්‍ය මහා විදුහල නියෝජනය කළ දසුන් මීවල මෙවර සබරගමුව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබී ය.
මෙවර "කුසලාන" අවසන් පූර්ව වටයේ දී තල්දුව බෞද්ධ මධ්‍ය මහා විදුහල හමුවේ ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල ලකුණු 26 - 24 ක් ලෙස ද කෑගලු විද්‍යාලය හමුවේ දෙහිඕවිට ජාතික පාසල ලකුණු 31 - 26 ක් ලෙස ද පරාජය ලැබීය.
ලීග් ක්‍රමයට පැවැති මූලික වටයේ දී "ඒ" කාණ්ඩය යටතේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, දෙහිඕවිට ජාතික පාසල සහ මාවනැල්ල සහිරා විද්‍යාලය තරග බිමට අවතීර්ණ වූ අතර "බී" කාණ්ඩය යටතේ තල්දූව ජාතික පාසල, කෑගලු විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ද මෙවර තරග වැදුණි.
මෙහි "බඳුන" ශූරතාව ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල දිනා ගත්තේ ය. ඒ අනුව දෙහිඕවිට ජාතික පාසලට එහි අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය. එම "බඳුන" අවසන් තරගයේ දී ලකුණු 17 -15 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් අදාළ ශූරතාව තහවුරු කර ගැනීමට ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල නියෝජනය කළ ක්‍රීඩකයින් හට හැකි වීම කැපී පෙනුණි .
මාවනැල්ල සහිරා විදුහල ලකුණු 17 - 07 ක් ලෙස පරාජය කරමින් "පළිහ" ශූරතාව තහවුරු කර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහලට හැකි විය. ඒ අනුව "පළිහ" අනු ශූරතාව මාවනැල්ල සහිරා විදුහල සතු විය.
-------------------------
වයඹ පළාත් රග්බි ශූරතාව මලියදේව විදුහලට
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් කුරුණෑගල දී පවත්වන ලද වයඹ පළාත් පාසල් වයස 19න් පහළ බාලක සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ අංක එකේ ස්ථානය තහවුරු කර ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූ හ.
කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති වයඹ පළාත් පාසල් තරගාවලියේ ශූරතාව අපරාජිතව සටහන් කර ගැනීමට මලියදේව ක්‍රීඩකයෝ සමත්වීම එහි දී කැපී පෙනුණි.
ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ දී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 59 - 00 ක් ලෙස ද ඩී.බී. වෙළගෙදර ජාතික පාසල ලකුණු 42 - 00 ක් ලෙස ද ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 24 - 05 ක් ලෙස ද පරාජය කරමින් වසරේ ශූරතාව තහවුරු කර ගැනීමට මලියදේව ක්‍රීඩකයින්ට හැකි විය.
මෙම තරඟාවලියේ "පළඟ" අංශයේ ශූරතාව තහවුරු කර ගැනීමට ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය ට හැකි විය. ඔවුන් හමුවේ ඩී.බී.වෙළගෙදර ජාතික පාසල ලකුණු 17 - 12 ක් ලෙස ද කුලියාපිටිය මධ්‍ය මහා විදුහල ලකුණු 32 - 00 ක් ලෙස ද පරාජය ලැබූහ.
කුරුණෑගල ඩී.බී. වෙළගෙදර විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ "බඳුන" ශූරතාව ට හිමිකම් කීහ.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට "පළිහ" ශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.
මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීම උදෙසා ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ කුරුණෑගල මලියදේව විදුහලේ ෂෙනාල් තෙන්නකෝන් අතිශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
පුත්තලම දිස්ත්‍රික්කය තුළින් එකදු නියෝජනයක් හෝ මෙවර පාසල් තරගාවලිය තුළ දක්නට නොලැබීම වයඹ පළාත් පාසල් රග්බි පාපන්දු කෙළිබිමේ සුවිශේෂීව ප්‍රදර්ශනය විය.
තරග ප්‍රතිඵල
මලියදේව විදුහල ලකුණු 27 ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල ලකුණු 05
ඩී.බී. වෙළගෙදර විදුහල ලකුණු 50 කුලියාපිටිය මධ්‍ය මහා විදුහල ලකුණු 00
මලියදේව විදුහල ලකුණු 42 ඩී.බී. වෙළගෙදර විදුහල ලකුණු 00
ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල ලකුණු 32 කුලියාපිටිය මධ්‍ය මහා විදුහල ලකුණු 00
මලියදේව විදුහල ලකුණු 59 කුලියාපිටිය මධ්‍ය මහ විදුහල ලකුණු 00
ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහල ලකුණු 17 ඩී.බී.වෙළගෙදර විදුහල ලකුණු 12
සපුමල් වීදිය බණ්ඩාර