සුළඟින් රළ පහරින් වැනසුණු ලෝකයේ ක්‍රීඩාංගණ | Page 4 | සිළුමිණ

සුළඟින් රළ පහරින් වැනසුණු ලෝකයේ ක්‍රීඩාංගණ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

 

‘ස්වාභාවික විපත් සිදු වන්නේ අහම්බෙනි. කිසිවෙක් සිතූ පැතූ ආකාරයට නොවේ. කලකට පෙර සුනාමියක් ලෝකයට කඩා වැදුණේ ය. භූ කම්පා සිදු වෙමින් මහා විනාශ සිදුවන්නේ ය. ගිනි කඳු පිපිරී සිදු වූ මහා ව්‍යසන ගැන අසන්නට ලැබෙන්නේ ය. මෙවැනි අනපේක්ෂිත අනතුරු හේතුවෙන් සමස්ත සමාජයේ සියලු ස්ථරයන්ට බලපෑම් සිදු වීම වළක්වන්නට බැරි ය. කොතරම් නිර්දේශපාලනිකයැයි කියන්නට උත්සාහ කළ ද ක්‍රීඩාව අරභයා ද මෙවැනි සොබාදහමේ අනතුරු වලින් ගැලවී ගන්නට බැරිය. මේ එවැනි අනතුරු හේතුවෙන් ගැටලුවලට මැදිවූ ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් වන කතාංගයකි.’

මීට වසර 17කට පෙරාතුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක මිනිසුන්, දේපල රැසක් බිලිගත් සුනාමි ඛේදවාචකය එකල දැනුම් තේරුම් ඇති වයසේ දිවි ගෙවූ කා හට නම් අමතක වන්නේ ද? එතුළින් වැනසුණු මනුෂ්‍ය ජීවිතවල වටිනාකම මෙන් ම භෞතික දේපලවල වටිනාකම ද මිල කළ නොහැකි ය. සුනාමි ඛේදවාචකය විසින් රාජ්‍ය ආදායමෙහි මහා උල්පත් ලෙස සැලකෙන ධීවර කර්මාන්තය, ප්‍රවාහන කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ කර්-මාන්ත ආශ්‍රිත දේපල සහ ඒ හා සබැඳි මනුෂ්‍ය ජීවිත කන්දරාවක් අසුරු සැ‍ෙණකින් වනසා දැමී ය. එකී මෙකී නො-

කී කේෂ්ත්‍රයන්ට පමණක් නොව සාගර දියේ රුදුරු බලපෑම ක්‍රීඩා කේෂ්ත්‍රයට ද එල්ල විය. සාගරයට සමීප ව ඉතා රමණීය බිම් කඩක පිහිටි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද සුනාමි රළ පහරින් සුණු විසුණු වී ගියේ කිසිවෙක් නොසිතූ නොපැතූ ලෙස ය. ස්වාභාවික ව්‍යසනයන් නිසා ලොව ක්‍රීඩා කේෂ්ත්‍රයට සිදු වූ දරුණුතම උවදුරක් ලෙස සැලකෙන එම සිද්ධියෙන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසික හදවත් පමණක් නොව ලොව පුරා ක්‍රිකට්වලට ඇළුම් කරන නොකරන සෑම කෙනෙක් ගේ ම හදවත් කම්පාවෙන් සසල කරවී ය. ස්වාභාවික ව්‍යසන විසින් ක්‍රීඩාවට බලපෑම් එල්ල කළ එක ම අවස්ථාව මෙය පමණක් නොවේ. ඉතිහාසයේ ස්වාභාවික ව්‍යසනවල බලපෑම නිසා ලොව ක්‍රීඩාංගණ විනාශයට පත් වුණු අවස්ථා තවත් වෙයි. මේ අතරින් කිහිපයක් පහත දැක්වේ.

ඩලස් කව්බෝයි ක්‍රීඩාංගණය

මෙම ඛේදවාචකය සිදු වූයේ 2009 වසරේ මැයි දෙවැනි දාය. සුළි කුණාටුවක් මෙම ඛේදවාචකයට හේතු විය.අ‍ෙමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මෙම ක්‍රීඩාංගණය පාපන්දු, බාස්කට් බෝල්, බොක්සින් ආදී ක්‍රීඩා ඉසව් රාශියක් සඳහා භාවිත කරන්නක් ලෙස ප්‍රකටව පැවතුණි. සුළි කුණාටුවෙන් කැළඹූ එදින ඩලස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණු සැසියක් පැවත්විණි. පුහුණු වෙමින් සිටි ක්‍රීඩකයන් සහ ක්‍රීඩාංගණයේ සිටි සෙසු පිරිස ත්‍රාසයට පත් කරවමින් හමා ආ සැඩ සුළං පහරින් ක්‍රීඩාංගණය එක් වරම සෙලවෙන්නට පටන් ගත්තේ ය. ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, ඇතුළු පුහුණු සැසියට සහභාගී වූ පිරිස මෙන් ම මාධ්‍යවේදීන් සහ ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය අංගණයෙන් ඉව-තට පැමිණීමට උත්සාහ කරන අතරතුර ක්‍රීඩාංගණයේ කොටසක් කඩා වැටුණි. එයින් 12 දෙනෙක් තුවාල ලැබූ අතර එයින් කිහිප දෙනෙක් බරපතල තත්ත්වයේ පසු විය. ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු ජෝයි ඩෙකැමිලස්ගේ සුෂුම්නාව බිඳී ගොස් තිබූ අතර ඔහු එයින් අංශභාග රෝගයට ගොදුරු විය. පිරිසෙන් 70ක් අනතුරකින් තොරව නිරුපද්‍රිතව ක්‍රීඩාංගණයෙන් ඉවතට දිව ගියේය. පසුකාලීනව ප්‍රතිංස්කරණය කෙරුණු මෙම ක්‍රීඩාංගණය වර්තමානයේ AT&T ක්‍රීඩාංගණය නමින් හඳුන්වනු ලබයි.

අමෙරිකාවේ මිනසෝටා ක්‍රීඩාංගණය

අමෙරිකා එක්සත් ජනපදයේ මින-සෝටා ප්‍රාන්තයේ පිහිටි මිනසෝටා ක්‍රීඩාංගණය ද 2010 වසරේ දී ස්වාභා-වික ව්‍යසනයකට ගොදුරු විය. සාමා-න්‍යයෙන් ශීත ඍතුවෙහි බලපෑම අධික ලෙස දැනෙන කාලයක් වන මෙකල මිනසෝටා ප්‍රාන්තය හිම කුට්ටිවලින් වැසී යෑම මෙහි වෙ‍සෙන්නවුන්ට සාමාන්‍ය අත්දැකීමකි. නමුත් මේ වසරේ හිම පතනය වෙනදාට වඩා දරුණු වූ අතර එයින් ක්‍රීඩාංගණයේ වහලය කැඩී ගොස් හිම කුට්ටි ක්‍රීඩා පථය මතට වැටී ක්‍රීඩාංගණ පරිශ්‍රය හිමවලින් වැසී යන්නට විය. අධික හිමපතනයේ බලපෑම නිසා සම්පූර්ණයෙන් ම පාහේ ක්‍රීඩා පථය, ක්‍රීඩාගාරය ඇතුළු ක්‍රීඩාංගණය විනාශ වී ගියේ ය. මේ අවස්ථාවේ ක්‍රීඩාංගණයෙහි ක්‍රීඩාවන් නොපැවත්වුණු නිසා කිසිදු මිනිස් ජීවිතයකට ඉන් හානියක් සිදු නොවුණි. 2013 වසරේ දී මෙම ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට මිනසෝටා ප්‍රාන්ත රජය තීරණය කරන ලදී. මිනසෝටා ක්‍රීඩා පිටිය වසර 40කට අධික කාලයක් පුරා පාපන්දු, පැසිපන්දු, බේස්බෝල් ආදී ක්‍රීඩා රැසක් ම පැවත්වූ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ක්‍රීඩාංගණයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ලොව සුන්දර ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මීට වසර 17කට පෙර සිදු වූ සුනාමි ව්‍යසනයෙන් විනාශයට ලක් විය. ගාලු කොටුව ආශ්‍රිතව ස්ථාපිත කර ඇති මෙහි සුන්දරත්වය වඩාත් තීව්‍ර කරවූ මුහුදු තීරය විසින් ම එය වනසා දැමීම ලෝ පුරා ක්‍රිකට් රසවතුන්ගේ කම්පාවට හේතු විය. සුනාමි රළ පහරින් ගාලු ක්‍රීඩා පිටියෙහි තණ තීරුව මෙන් ම ක්‍රීඩා පථය ද සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේය. එපමණක් නොව ක්‍රීඩාංගණයේ ගොඩනැඟිලි රාශියක් ද කැඩී බිඳී විනාශ විය. ඉතිරි වූ සහ ශේෂ වූ ගොඩනැඟිලි සුනාමි අනාථ කඳවුරක් ලෙස ද එකල භාවිත කෙරුණි. නමුත් 2006 මැයි 8 වැනිදා නැවතත් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කර-න්නට කටයුතු යෙදුණි. 2007 වසරේ දෙසැම්බර් 17 වැනිදා ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවට පත් වූ අතර එතැන් පටන් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ගාලු පිටිය විවෘත විය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments