
ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක ම පිට දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ හර්බජාන් සිං ය. ඉන්දියාව වෙනුවෙන් පළමු ටෙස්ට් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියන්නේ ද ඔහු ම ය.
'සමුගැන්ම වේදනාත්මක ය. වේදනාත්මක සමුගැන්ම යැයි කෘතියක් ලියුවේ එහෙයිනි. එහෙත් සමුගෙන යෑම ස්වභාවය ය. අපි කැමැති වුව ද අකමැති වුව ද අවශ්‍ය කාලය සපැමිණි කල සමුගැනීමට සිදු වෙයි. මේ සමුගැනීමේ කතාවකි, අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවෙන් ඇසෙන සමුගැනීමේ කතාවකි.'
“මම මේ බව ප්‍රකාශ කරන්න සිටියේ වසර කිහිපයකට පෙරය. එහෙත් ඒ නියම කාලය නොවන බව මට වැටහිණි. එහෙයින් මා සිටියේ නියම කාලය උදාවන තුරු ය. දැන් ඒ් මොහොත පැමිණ ඇත. අද මම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ම තරග රටාවන්ගෙන් සමුගැනීම නිවේදනය කරමි.”
මෙසේ කියන්නේ ලොව බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙක් වන හර්බජාන් සිං ය.
කළු පැහැති තලප්පාවකින් හිස සරසා ගත් මෙම සික් ජාතික ක්‍රීඩකයා පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 1998 වසරේ දී ය. 2016 වසර වන විට ජාත්‍යන්තර තරග බිමින් විශ්‍රාම ගත්ත ද ඔහු සිය ක්‍රිකට් ජීවිතයට සමුදෙන්නට තීරණය කළේ පසුගිය සතියේ දී ය. ඒ අනුව අයි.පී.එල්. ප්‍රිමියර් ලීග්, ප්‍රාන්ත ක්‍රිකට් තරග ඇතුළු සියලු තරග අංශයන්හි ක්‍රීඩා කරන කළු තලප්පාකාර සික් ජාතිකයා යළි කිසි දා අපට හමු නොවෙනු ඇත.
හර්බජාන් ගේ ක්‍රිකට් ජීවිතය සම්බන්ධයෙන් කතා කරද්දී ඔහු සිය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව අරඹන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහි ව පැවැති ටෙ-ස්ට් තරගයකිනි. එම තරගයේ දී ඔහු ඉන්දීය පිල වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේ ය.
ඉනික්බිති ව වසර 17 ක් වූ තම ටෙස්ට් දිවි සැරිය තුළ තරග 103 ක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් කඩුලු 417 ක් දවා ගන්නට ඔහු සමත් වුණේ ය. හේ සිය අව-සන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ 2015 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ය. ඒ් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ය. හෙතෙම ටෙස්ට් පන්දු යවන්නෙක් ලෙස කඩුලු 5 සීමාව අභිභවා යෑමට 25 වතාවක් ම සමත්ව තිබේ. 2001 වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 32ක් දවා ගන්නට හර්බජාන් සිංට හැකියාව ලැබිණි.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දු යවන්නෙක් ලෙස මෙන් ම පිතිකරුවෙක් ලෙස ද ඔහු වරින් වර කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ. පිතිකරුවකු වශයෙන් හර්බජාන් විසින් රැස් කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2224 කි. ඊට අර්ධ ශතක 9ක් සහ ශතක 2ක් ද ඇතුළත් ය. 2010 වසරේ නවසීලන්තය සමඟ පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 115ක් රැස් කළ හර්බජාන් එහි දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 111ක් රැස් කරන්නේ පිතිකරණය තුළ ඔහු ඉපැයූ ඉහළ ම වත්කම සනිටුහන් කරමිනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වේ දස්කම් පෑ හර්බජාන් විසින් රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 42කි.
ටෙස්ට් පිටියට පිවිස මසක් ගෙවෙන්නටත් පෙර එක් දින තරග බිමට සපැමිණි ඔහු සිය පළමු තරගයට ක්‍රීඩා කළේ නවසීලන්තය සමඟ ය. 2015 වසරේ ඔහු සිය එක් දින දිවි සැරිය නිමා කරන විට ඔහු විසින් දවා ගෙන තිබූ එක්දින කඩුලු සංඛ්‍යාව 269 කි. ඒ අතරතුර තෙවතාවක් ම තරගයක කඩුලු 5 සීමාව සපුරාලන්නට ඔහුට හැකි විය. එක් දින තරග ඉතිහාසය තුළ ද ඔහු පිතිකරුවෙක් ලෙස ලකුණු දහසේ සීමාව ඉක්මවා තිබේ. ඔහු ලබා ගත් සමස්ත එක් දින ලකුණු සංඛ්‍යාව 1237කි. හර්බජාන් විසින් එක් දින තරගවල දී රැක ගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 71කි.
විස්සයි20 ක්‍රිකට් වංශකතාව තුළත් ඔහු නොමැකෙන මතක රැසක් සටහන් කළ ක්‍රීඩකයෙකි. විස්සයි20 ජාත්‍යන්තර තරග ඉතිහාසය ඉතා ම කෙටි එකක් වුවත් තරග 28කදී කඩුලු 25 ක් දඩයම් කර ගැනීමට ඔහුට හැකිවිය. 2016 වසරේ දී එක්සත් අරාබී එමීර් රාජ්‍යය සමඟ පැවැති විස්සයි20 තරගය ඔහු ජාත්‍යන්තරය නියෝජනය කළ අවසන් ක්‍රිකට් තරගය වුවත් ඉන් අනතුරුව ප්‍රිමියර් ලීග්, ප්‍රාන්ත තරග ආදී විවිධ ක්‍රිකට් ඉසව් සඳහා සභභාගි විය.
කොල්කටා නයිට් රයිඩර්ස්, ලෑන්ක්ෂයර්, එසෙක්ස්, මාලිබෝන් යුනියන්, මුම්බායි ඉන්ඩියන්ස්, චෙන්නායි සුපර් කින්ග්ස්, පන්ජාබ්, සරේ යුනියන් ඔහු නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයකි. එම තරගවලදී හර්බජාන් කඩුලු 235 ක් දවා ගන්නට සමත් වූවා සේ ම අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 1512ක් ලබාගෙන තිබේ.
2015 ඉන්දීය ප්‍රිමියර් ලීග් හි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරා ඔහු බිඳ හෙළන ලද කඩුලු සංඛ්‍යාව 16 කි.
ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක ම පිට දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ හර්බජාන් සිං ය. ඉන්දියාව වෙනුවෙන් පළමු ටෙස්ට් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියන්නේ ද ඔහු ම ය. එසේ ම හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ 10 වැනි ක්‍රීඩකයා ද වෙයි. ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළි ක්‍රීඩකයන් අතර වඩා ආවේගශීලි ක්‍රීඩකයෙක් සේ සැලකෙන ඔහු වරක් ඕස්ට්‍රේලියාවේ සිටි සුපිරි පිතිකරුවකු වූ ඇන්ඩෘෘ සයිමන්ස් සමඟ මත ගැටුමක් ඇති කර ගත්තේ ය. තවත් වරෙක අයි.පී.එල්. තරගාවලියක් අතරතුර ඉන්දීය ක්‍රීඩක ශ්‍රීසාන්ත්ගේ කම්මුලකට පහර දීම නිසා තරග තහනමකට ද ලක්විණි.
ඒ සිදුවිම් කෙසේ වුව ද හර්බජාන් සිං සැලකෙන්නේ ඉන්දියානු ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම පිට දඟ පන්දුයවන්නා ලෙස ය. එසේ ම ඔහු ගැන මතකයන් ලෝක ක්‍රිකට් වංශ කතා පොතේ රන් අකුරින් ලියැවී තිබේ. එහෙයින් ඔහුගේ සමුගැනීමේ ප්‍රකාශය ලෝක ක්‍රිකට් රසවතුන්ගේ නෙතට කඳුළු බිඳුවක් මෝදු කරවන සිදු වීමක් බව කිව යුතු ය.
පසිඳු මිහිරාන් රැටියල