සත් සාමාජික රග්බි ඒ කොටසේ කිරුළ ශාන්ත පීතර විදුහලට | සිළුමිණ

සත් සාමාජික රග්බි ඒ කොටසේ කිරුළ ශාන්ත පීතර විදුහලට

 

කොවිඩ් - 19 නිසා අකර්මණ්‍ය වී තිබූ ක්‍රීඩා පිටියට යළි උණුසුම ගොනු කරමින් පසුගිය දා පැවැති පාසල් රග්බි පාපන්දු තරගාවලියේ දී වයස අවුරුදු 20 න් පහළ බාලක සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ දී ප්‍රතිවාදී සියලු කණ්ඩායම් අභිබවමින් බස්නාහිර පළාත් "ඒ" කොටසේ ශූරතාව තහවුරු කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

පසුගිය දා මෙම තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ය. දිවයිනේ පාසල් කලාප 05 කට බෙදා ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලියේ අනුශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සතු විය. ශාන්ත තෝමස් විදුහල නියෝජනය කළ මහීන් පෙරේරා මෙවර තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීම ද කැපී පෙනුණි.

ශාන්ත පීතර සහ සාන්ත තෝමස් අතර පැවති "ඒ" කොටසේ තීරණාත්මක අවසන් තරගයේ දී ලකුණු 19 - 17 ක් ලෙස තියුණු ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට ඉෂාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් සැදුම්ලත් සාන්ත පීතර විදුහල සමත් විණි.

ශාන්ත පීතර විදුහල ගෝල් දිනුම් 02ක් සහ එක් උත්සාහයක දිනුමක් ආශ්‍රිතව ලකුණු රැස් කර ගත් අතර, පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුම් 02 ක් ආශ්‍රිත ව සටහන් විණි.

මෙම තරගය ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබීම ඒ අතර විශේෂත්වයක් ගත්තේ ය.

අවසන් පූර්ව වටයේ දී සාන්ත පීතර විදුහල හමුවේ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල ලකුණු 19 - 14 ක් ලෙස ද ශාන්ත තෝමස් විදුහල හමුවේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයන් වන කොළඹ රාජකීය විදුහල ලකුණු 21 - 12 ක් ලෙස ද පරාජය ලැබී ය.

මෙවර "පළඟ" ශූරතාව ඩී.එස්. සේනානායක විදුහල දිනා ගන්නා අතර වාරයේ රාජකීය විදුහලට අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු විය. පහසු ජයග්‍රහණයක් කරා ගමන් ගත් ඩී.එස්. සේනානායක විදුහල එහි දී ලකුණු 21 - 05 ක් ලෙස රාජකීය විදුහල පරාජය කළේ ය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ලකුණු 19 - 07 ක් ලෙස පරාජයට පත් කරමින් වසරේ "බඳුන" ශූරතාව පහසුවෙන් තහවුරු කර ගැනීමට කොළඹ වෙස්ලි විදුහලට හැකි විය.

කොළඹ තර්ස්ටන් විදුහල පරාජයට පත් කළ කොළඹ ඉසිපතන විදුහලට මෙවර "පළිහ" ශූරතාව හිමි විය. එහි අවසන් ලකුණු සටහන 39 - 00 ලෙස සටහන් විණි.

"බී" කොටසේ ශූරතාව පිළියන්දලට

මෙම තරගාවලියට සමගාමීව පවත්-

වන ලද "බී" කොටසේ ශූරතාව පිළි-යන්දල මධ්‍ය මහා විදුහල දිනා ගත් අතර කොළඹ කේරි විදුහලට අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

එම අවසන් තරගයේදී ලකුණු 24 - 12 ක ජයග්‍රහණයක් පිළියන්දල මධ්‍ය මහා විදුහල සතු විය.

පිළියන්දල මධ්‍ය මහා විදුහල නියෝජනය කළ ඉෂාන් තරිඳු මෙවර තරගාවලියේ "බී" කොටසේ දක්ෂත ම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.

"බී" කොටසේ "පළඟ" ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල දිනා ගත්තේය. එකී අනුශූරතාව මොරටු විදුහල සතු විය. ලකුණු තත්ත්වය 29 - 00 ක් ලෙස සටහන් විය.

නුගේගොඩ සාන්ත ජෝන් විදුහල ලකුණු 21 - 05 ක් ලෙස පරාජයට පත් කරමින් "බඳුන" අංශයේ ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ මහනාම විදුහල ට හැකි වන අතර වාරයේ

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල "පළිහ" ශූරතාව හිමි කර ගත්-තේ ය. එකී අනුශූරතාව පාදුක්ක සිරි පියරතන විදුහල සතු විය. එහි ලකුණු තත්ත්වය කියවුණේ 19 - 05 ක් ලෙසිනි.

සපුමල් වීදියබණ්ඩාර

Comments