මධ්‍යම ආසියානු වොලිබෝල් පිටිය කැළඹූ ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් කිරුළ දිනා ගනී | Page 2 | සිළුමිණ

මධ්‍යම ආසියානු වොලිබෝල් පිටිය කැළඹූ ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් කිරුළ දිනා ගනී

බංග්ලාදේශයේ ඩකා හි බංගබන්ධු ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු මධ්‍යම කලාප පිරිමි වොලිබෝල් අභියෝග කුසලාන 2021 හි කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් වුයේ ය. ඒ සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3-0 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකාව 28 – 26, 25 – 20 සහ 25 – 20 ලෙස පහසුවෙන් ම අවසන් තරගය ජය ගැනීමට සමත්විය.

මේ අතර මධ්‍යම කලාප කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානයේ කිරිගිස්තානය සමඟ පැවැති තරගය 26/24,25/16,සහ 25/20ක් ලෙස වට 3-0ක් ලෙස ජය ගනිමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙකී තරගාවලියේ තරග වට 3-2 ක් ලෙස උස්බෙකිස්තානය පරාජය කරමින් නේපාලය කාන්තා කිරුළ දිනා ගනු ලැබිණි.

මෙවර පිරිමි තරගාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය අපරාජිතව ජය ගැනීමට සමත් වීමයි. සත්කාරක බංග්ලාදේශ සමග 26 වැනිදා පැවැති තරගය වට 3-1ක් ලෙස ජයගත් ශි‍්‍ර ලංකා කණ්ඩායම අවසන් තරගයට සත්කාරක බංග්ලාදේශයට එරෙහිව තරගයට පිවිසියේ ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුවය.

ශ්‍රී ලංකා කණ්ඩායම 17-25, 26-24, 25-18 සහ 25-21ක් ලෙස සත්කාරක බංග්ලාදේශය මූලික වටයේ දී ම පරාජයටපත් කළ අතර නේපාලයට සහ උස්බෙකිස්තානයට එරෙහිව පැවැති තරග දෙක ද වට 3-1 ක් ලෙස වට 3-0 ක් ලෙස ජයග‍්‍රහණය කළේ ය.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, නේපාලය, කිරිගිස්තානය, උස්බෙකිස්තානය සහ සත්කාරක බංග්ලාදේශය ඇතුළුව රටවල් 6 ක් සහභාගී වී සිටියහ. එම සියලු රාජ්‍යයන් තරගාවලිය වෙනුවෙන් කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණද කිරිගිස්තානය හැර සෙසු රටවල් පිරිමි ශූරතාව සඳහා තරග කළ හ.

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් බංග්ලාදේශය බලා පිටත් වීමට පෙර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු හා සුපිරි පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා විසින් මෙහෙය වනු ලැබූ විශේෂ පුහුණු වැඩමුළුවක් සඳහා ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා පිරිමි ජාතික වොලිබෝල් සංචිතයේ නායකයා ලෙස ලසිඳු මෙත්මාල් කටයුතු කළ අතර තිළිණි වාසනා කාන්තා කණ්ඩායමේ නායකත්වය දැරුහ.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන චන්න ජයසේකර විසින් පිරිමි කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරීය. සහය පුහුණුකරු ලෙස ක්‍රියාකළේ නිෂාන් ඉන්දික ය. කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න කටයුතු කරද්දී, සහය පුහුණුකරු වශයෙන් ජගත් සේනාධීර කටයුතු කළේ ය.

 

බන්ධුල ජයමාන්න

Comments