සැබෑ වෙන සිහින දකිමින රටම කීද්දුව වාද්දුවේ කෙල්ල නෙත්මි | Page 4 | සිළුමිණ

සැබෑ වෙන සිහින දකිමින රටම කීද්දුව වාද්දුවේ කෙල්ල නෙත්මි

 

දශක 4ක කාලයක් පුරාවට මෙරට දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගැයීමට ලක්කළ සන්ඩේ ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයට මීට වසර 4 ක සිට මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇගැයීමට ද පියවර ගැනිණි.

ඒ අනුව පසුගිය දා මෙම පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ 43 වැනි පියවරේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන නෙත්මි පූර්ණා සේනාරත්න ය.

බොහෝ දුක්ගැහැට මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙමින් තම පාසලට ඉමහත් කීර්තියක් අත්කර දුන් නෙත්මි ලැබූ ජයග්‍රහණය ඇයට පමණක් නොව සමස්ත වාද්දුව මධ්‍ය විද්‍යාල ප්‍රජාවට ද කළුතර දිස්ත්‍රික්කයට ද බෙහෙවින්ම සුවිශේෂී විය. මේ ඈ 'ක්‍රීඩා' හා පැවැත්වූ සුහද සංවාදයකි.

නෙත්මි කෙහොමද ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ ?

පාසලේ දී තමයි. මම පළමුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ 6 පන්තියේ දී. ඒ කියන්නේ 2016 වසරේ දී. ධනුෂ්ක රන්මුතු සර්ගේ පළමුවැනි ක්‍රීඩිකාව වුණේ මම. සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් තමයි ලෙදර් පන්දු ක්‍රීඩාවලට යොමු-වුණේ. මම ක්‍රිකට් ක්‍රීඩා කිරීම ගැන ගෙදරින් බොහොම කැමැත්තක් ති-බුණා. මම පටන්ගත්තාට පසුව තමයි අනික් ක්‍රීඩිකාවන් ලෙදර් පන්දු ක්‍රීඩාවට එක්වුණේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ?

මම ආරම්භයේ සිට ම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙසින් තමයි කණ්ඩායමට එක්වුණේ. 2017 වසරේ දී තමයි පළමු තරගාවලියට එක්වුණේ. දැන් වයස අවුරුදු 16 යි. මාව ශ්‍රී ලංකා බාලිකා 19න් පහළ සංචිතයට තෝරාගෙන තිබෙනවා. මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ඔක්කම්පිටිය විජයබාහු විද්‍යාලයට එරෙහිව පන්දු 86 ක දී නොදැවී ලකුණු 197 ක් රැස් කළා. මෙවර 2021 සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී දක්ෂතම පිතිකාරිනිය අනු ශූරතාව, තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ ක්‍රීඩිකාව වශයෙන් ජයග්‍රහණ ලැබුවා.

ඔබේ ගෙදර තොරුතුරු?

මගේ පදිංචිය වාද්දුවේ. මම තමයි පවුලේ වැඩිමලා. අම්මයි, තාත්තයි, නංගියි තමයි මට ඉන්නේ මගේ දෙමව්පියන්ට ස්ථිර ආදායමක් නෑ. බොහෝ අපහසුකම් මැද තමයි ක්‍රීඩා කරන්නේ. ආර්ථික අපහසුකම් නිසා කිහිප විටක් ක්‍රිකට් නවත්වන්න හැදුවා. ධනුෂ්ක සර් තමයි පුළුවන් ආකාරයට උදවු කරන්නේ.

පාසල සම්බන්ධව කිව්වොත්?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මොල්ලිගොඩ ප්‍රාථමික විද්‍යාලයේ. හයේ පන්තියට තමයි වාද්දුව මධ්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ. මලල ක්‍රීඩාවල නියැළෙනවා. කොට්ඨාස සහ කලාප මට්ටමේ ජයග්‍රහණ ලබා තිබෙනවා. සමස්ත ලංකා පාසල් සැහැල්ලු පන්දු ක්‍රිකට් අනු ශූරතාව දිනාගත් කණ්ඩායමට ක්‍රීඩා කළා. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානමින් ඉන්නවා.

මේ ගමන එන්න උදව්කළ අය

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආර්. ඉන්ද්‍රෙස්න සර්, හිටපු විදුහල්පති ඩිලාන් ගුණරත්න සර්, හිටපු ක්‍රිකට් භාර ආචාර්ය මහත්ම-මහත්මීන් වන අනුෂා වීරමන්ත්‍රි මිස්, කෙනත් දිසානායක සර්, වත්මන් ක්‍රිකට් භාර ආචාර්ය මහත්ම-මහත්මීන් වන ගයත්‍රි ද සිල්වා සහ පවිත්‍රා ද සිල්වා සහ දේවප්‍රිය සර් ඇතුළු පාසලේ සියලුම ගුරු

මහත්ම-මහත්මීන් විවිධ අයුරින් උදවු කරනවා. විද්‍යාලයීය ක්‍රීඩා පුහුණුකරු ධනුෂ්ක රන්මුතු සර් තමයි ක්‍රිකට් පුහුණුකරු ලෙස සියලු කටයුතු සොයා බලන්නේ. ඒ අයගේ සහාය නොලැබෙන්න මේ වගේ තැනකට එන්න ලැබෙන්නේ නෑ.

අනාගත බලාපොරොත්තු මොනවා ද?

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වා ජාතික ක්‍රිකට් පිලට එක්වීමට තමයි බලාපොරොත්තුව.

ඉෂානි යද්දෙහි

Comments