
'විවරණ ලැබීම පහසු නැත. විශිෂ්ටයකුගෙන් විවරණ ලැබීම වූ කලි සදාකාලික මතකයකි. විවියන් එසේ විවරණ ලැබූයේ ය. ඒ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ විශිෂ්ට ක්‍රිකට් නායක වූ ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ්ගෙනි.'
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විවියන්ට ටෙස්ට් තරග වරම් හිමිවූයේ 1974-75 තරග වාරයේ දී ය. එය ඉන්දියාවට එරෙහිව ඉන්දීය බිමේ දී ය. තමාට ලැබුණු වරම අමරණීය මතකයක් කර න්නට විවියන් එදා පිත්ත මෙහෙය වූයේ ය. ප්‍රථම තරගය පැවැත්වුණේ බැංගලෝර් පිටියේ දී ය.
තරග මාලාවේ දෙවැනි ටෙස්ට් තරගය අමරණීය තරගයක් කරගත් විවියන් නොදැවී ලකුණු 192 ක් රැස් කළේ ය. ඒ දිල්ලි පිටියේ දී ය. ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 5 කට ක්‍රිඩා කළ විවියන් ඉනිම් 9 ක දී ලකුණු 353 ක් රැස් කරනු ලැබිණි. මේ සියල්ල දෙස සාවදානව බලා සිිටියේ කොදෙව් දේශයේ කණ්ණාඩිකාර නායකයා ය. ඔහු තේරුම් ගත්තේ කො-දෙව් ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ස්ථා-වර පිතිකරුවකු ලැබුණු බව ය. එහෙයින් ඔහු මෙසේ කීවේ ය.
“විවියන් දිගු ගමනක් යෑමට හැකි ස්ථාවර පිතිකරුවෙක්. ඔහු කොදෙව් කණ්ඩායමට ආදර්ශයක්. කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විව් සමඟ දිගු කාලීනව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”
එය සැබෑවක් කළ අපේ කතා නාය-කයා 1975 වසරේ දී ටෙස්ට් ලකුණු
1000 ක් සම්පූර්ණ කළේ ය. එයින් නොනැවතුණු ඔහු 1976 වසරේ දී ටෙස්ට් ලකුණු 2000 සීමාව ඉක්මවා ගියේ ය. ප්‍රතිවාදී කණ්ඩායම්වල පන්දු යවන්නන්ට තරු පෙනිණි. ඉන් අනතුරුව ඔවුන් උත්සාහ කළේ කෙසේ හෝ විවියන්ව දවා ගන්නා ක්‍රම සොයා බැලීම ය.
1976 යනු අපේ කතා නායකයාගේ ටෙස්ට් තරග ගමනේ වාර්තාගත වසරකි. එහි දී ඔහු ටෙස්ට් ලකුණු 1710 ක් රැස් කළේ 90.00 ක සාමාන්‍යයක් සමඟ ය. ටෙස්ට් තරග 11 ක දී වාර්තා කළ ශතක ගණන 7 කි. මෙය වසරක දී පිතිකරුවකු විසින් රැස් කරනු ලැබූ වැඩි ම ලකුණු ප්‍රමාණය විය. එම ලෝක වාර්තාව අවුරුදු 30 ක් අඛණ්ඩව නොබිඳී පැවතුණේය. 2006 දී විවියන්ගේ වාර්තාව අභිභවා ගියේ පකිස්තානායේ මොහෙමඩ් යුසුෆ් විසිනි.
විවියන්ගේ හොඳම රෙස්ට් තරගාවලි ලකුණු වාර්තා වුණේ 1976 එංගලන්තයට එරෙහිව ය. එය තරග 4 ක ඉනිම් 7 කදී ලකුණු 829 කි (සාමාන්‍යය 118.12) ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ඊට ඇතුළත් විණි. ලකුණු 291 සහ 232 ක් ලෙස ද්විත්ව ශතක දෙකක් හා ලකුණු 138 ක් රැස් කරමින් ඔහු එහිදී කැපී පෙනිණි. එංගලන්තය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගය උණ රෝගය වැළදීම හේතුවෙන් ඔහුට අහිමි විය. නමුත් ඕවල් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ දී ලකුණු 291 රැස් කළේ තමාගේ ඉහළම ටෙස්ට් ඉනිම වාර්තා කරමිනි. විවියන්ගේ ලකුණු 829 තරගාවලි ලකුණු වාර්තාව තාමත් කෙදෙව් වැඩිම ලකුණු වාර්තාවකි. මෙම වාර්තාව අවුරුදු 45 ක් පැරණිය. විව්ට පසු බිහිවූ කිසිදු විශිෂ්ටයකුට එම වාර්තාව අසළටවත් පැමිණීමට හැකිවූයේ නැත.
විවියන් තැබූ වාර්තා කීපයක් ටෙස්ට් වාර්තා පොතේ නොමැකි පවති. ඉන් එකක් පිට පිට ටෙස්ට් ඉනිම් 11 ක දී ලකුණු 50 ඉක්මවා රැස් කිරීමේ වාර්තාවයි. එය මෙලෙස වාර්තා වුණේ 1975-76 තරග සමයේ දී ය. ඕස්ට්‍රේලියාව සමඟ 101,50 සහ 90 ක් ද ඉන්දියාව සමඟ ලකුණු 140, 130, 177 සහ 64 ක් ද, එංගලන්තය සමඟ ලකුණු 232, 63, 135 සහ 291 ක් ද වශයෙනි. මේ වාර්තාවත් අවුරුදු 45 ක් පැරණිය.
අනිත් වාර්තා අතර ටෙස්ට් තරගවල වේගවත්ම ශතකය රැස් කිරීමේ වාර්තාව ද විවියන් සතුව පැවති වාර්තාවකි. 1985-86 ටෙස්ට් තරග මාලාවේ දී ඇන්ටිගුවා පිටියේ දී ඔහු පන්දු 56 කින් වාර්තා කළේ ය. ඉනිමේ ප්‍රථම ලකුණු 50 පන්දු 33 කින් මිනිත්තු 46 ක දී ත් ඊළඟ ලකුණු 50 පන්දු 23 කින් මිනිත්තු 35 ක දී ත් වාර්තා විණි. විවියන් දැවී යන විට දී ලකුණු 110 ක් රැස්කර තිබුණේ පන්දු 58 කිනි. ඊට හයේ පහරවල් 7 ක් සහ හතරේ පහරවල් 7 ක් ඇතුළත් විය.
එදා තරගයේ විස්තර කථනයක් ගෙනා හිටපු ප්‍රවීන විචාරක ටෝනි කෝසියර්, විවියන් ක්‍රිඩාගාරයට යද් දී කීවේ, “මේක නම් අති විශිෂ්ට ඉනිමක්. යළි කවදා මෙවැනි ඉනිමක් අපට කොදෙව් පිතිකරුවකුගෙන් දක්නට ලැබේයැයි සිතන්න බෑ.' යනුවෙනි.
කෝසියර් කීවක් මෙන් එවැනි ඉනිමක් තාමත් කොදෙව් පිතිකරුවකුගෙන් වාර්තා වී නැත. විවියන් එදා තැබූ වේගවත් ශතක වාර්තාව පිතිකරුවකු විසින් බිඳ හෙළනු ලැබිවේ අවුරුදු 30 කට පමණ පසු ය. ඒ නවසීලන්තයේ හිටපු විශිෂ්ට පිතිකරුවකු වූ බ්‍රෙන්ඩන් මැකලම් විසිනි. ඒ පන්දු 54 කින් ටෙස්ට් ශතකයක් රැස් කරමිනි.
සමස්ත ටෙස්ට් තරගවල 1000 වැනි ටෙස්ට් තරගය පැවැත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර 1984-85 මෙල්බර්න් පිටියේ දී ය. එම තරගයේ වීරයා වුණේ විවියන් ය. ඒ කොදෙව් පළමු ඉනිමේ දී ඔහු ක්‍රීඩා කළ ලකුණු 208 ක ඉනිම නිසා ය. 1000 වැනි ටෙස්ට් තරගයේ සිහිවටනමය ඉනිම ගැන එදා විවියන් අදහස් පළ කළේ ය.
“මට අමතක නොවන ඉනිමක්, 1000 වැනි ටෙස්ට් තරගයේ දී මේ වගේ ඉනිමක් ක්‍රීඩා කිරී-මට ලැබීමට තරම් මම වාසනාවන්තයි.” කියා ය.
කොදෙව් පිලේ සාර්ථක නායකයකු ලෙස වාර්තාගත වූ ක්ලයිව් ලොයිඩ් සහ ඔහුගේ උපනායකයාව සිටි විවියන් අතර තිබුණේ සමීප සුසංයෝගයකි. තමාගේ ක්‍රිකට් ගමන සවිමත් කළ නායකයා ක්ලයිව් බව විවියන් අදටත් පවසන්නේ එහෙයිනි. එලෙසම ක්ලයිව් සිය කණ්ඩායම තුළ සැම විට ම බලාපොරොත්තු තබා තිබුණේ විවියන් ගැන ය.
මේ නිසාම අසූව දශකයේ ප්‍රබල තම කණ්ඩා-යම ලෙස කෙදෙව්වන් වාර්තාගත වුණේ ය. අසූව දශකයේ කෙදෙව් ටෙස්ට් වාර්තාව තරග 83 ජයග්‍රහණ 44 පරාජයන් 8 සහ විසඳුමක් නැති තරග 31 කි.
නායක විව්
අපේ කතා නායකයාට කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ ක්ලයිව් ලොයිඩ් සමුගත් විට ය. ඒ 1984 දී ය. එසේ තමන්ට ලැබුණු නායකත්වයේ වගකීම 1991 වසර දක්වා ඉසිලූ ඔහු ඒ අතර කාලයේ දී ටෙස්ට් තරග පනහක දී කොදෙව් පිල මෙහෙය වී ය. ඒ එකදු ටෙස්ට් තරගාවලියක දී වත් ඔහුගේ කණ්ඩායමට පරාජය අත්පත් වූයේ නැත. එය අද ද වාර්තාවකි.
“මට හිටියා දක්ෂ කණ්ඩායමක්. ඒ අතර අපේ වේග පන්දු බළඇණිය ප්රමුඛයි. ඉතින් එවැනි කණ්ඩායමක් මෙහෙය වීම මට පහසු වුණා.” යි විවියන් තම සාර්ථකත්වයේ රහස සම්බන්ධයෙන් කතා කළේ එසේ ය.
“ක්ලයිව් වගේම විව් අපට ප්‍රබල නායකත්වයක් දුන්නා. අපි කණ්ඩායමක් විදිහට හැම විටම සාර්ථක වුණේ ඒ හින්දායි.” කණ්ඩායමේ සිටි ප්‍රබල පිතිකරුවකු වන ගෝඩ්න් ග්‍රිනිජ් වරෙක පැවසූයේ මේ නිසා ය.
මීළඟට - විජයග්‍රාහී එක් දින තරග මාලාව
ක්‍රිස්ටෝපර් රණසිංහ