මලල ක්‍රීඩාව යළි නැඟිටින්නේ ද? | Page 2 | සිළුමිණ

මලල ක්‍රීඩාව යළි නැඟිටින්නේ ද?

 

'මලල ක්‍රීඩාවේ විවිධ යුග අතර දසක දෙකකට පෙර පැවැති යුගයේ මෙරට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කීපදෙනෙක් අන්තර්ජාතික ජයග්‍රහණ රාශියක් දිනාගත් හ. දැන් යළි සුබ සිහින ගොඩනංවමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෝ දකුණු ආසියාවෙන් ඔබ්බට සිය දක්ෂතා මුවහත් කරගනිමින් සිටිති. මේ ඒ ගැන ය.'

කලෙක පටන් අගාධයට ගමන් කරමින් තිබූ ලාංකේය මලල ක්‍රීඩාව යන්තමින් අළු ගසා නැගී සිටින්නට වෙර දරමින් තිබේ. එය 2019 සාග් ක්‍රීඩා උළෙලේ සිට දක්නට ඇත. මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩකයනට දැඩි අභියෝගයක් එල්ල කරමින් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ජාතික මලල ක්‍රීඩා පිටියේ සිය දස්කම් ඔප්නංවා ගනිමින් සිටිති.

එවැනි නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඇති වූ තරගකාරීත්වය නිසා ජාතික මලල ක්‍රීඩා පිටියේ වාර්තා රැසක් ම බිඳ වැටෙමින් ඇත.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉහළ ම දස්කම් දක්වමින් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූ ඩිල්ෂි කුමාරසිංහ ලාංකේය මලල ක්‍රීඩා පිටියේ වර්තමානයේ වැඩි ම අවධානයක් දිනා ගත් යොවුන් ක්‍රීඩිකාවයි.

ඩිල්ෂි මෙවර තරග වාරයේ දී ද තරමක කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර 2021 අප්‍රේල් මාසයේ පැවැති පළමු මලල ක්‍රීඩා තේරීම් තරගවල කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:02:52 ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාවක් පිහිටුවූවා ය.

එහෙත් 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාව අතරතුර ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරග වාරයේ තරග රැසක් ම ඇය ට මඟ හැරුණි. මෙවර මලල ක්‍රීඩා තරගාවලිය නිමා කරමින් පැවැති 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ ඩිල්ෂි සිය ඉසව්ව ජය ගත්තේ විනාඩි 2.06.73 කින් තරගය නිම කරමින් ය.

ජාතික මලල ක්‍රීඩා පිටියේ මෙවර තරග වාරයේ දී වඩාත් ම කතාබහට ලක්වූ යොවුන් ක්‍රීඩිකාව ලෙස මේධානි ජයමාන්න හැඳින්විය හැකි ය.

ඉන්දියාවේ පැවැති ඉන්දියානු අන්-තර් ප්‍රාන්ත තරගාවලියේ කාන්තා මීටර් 200 ඉසව්ව දෙවැන්නා ලෙස අවසන් කළ මේධානි මෙම වසරේ පැවැති ලෝක යොවුන් ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තා ය.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්ත්පර 11.85 ක කාලයකින් අවසන් කළ ඇය යොවුන් ලෝක ශූරතාවට සුදුසුකම් ලබා ගත්තා ය.

කෙන්යාවේ පැවැති ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඇය එහි මූලික වටයේ දී තත්ත්පර 24.01ක කාලයකින් තරගය අවසන් කළා ය. අවසන් පූර්ව වටයේ දී නැවතත් සිය පෞද්ගලික හොඳ ම දක්ෂතාවය අලුත් කරමින් තත්ත්පර 23.95 ක කාලයකින් සිව්වැන්නා ලෙස තරගය අවසන් කළ අතර එය මීටර් 200 ඉසව්ව සඳහා මෙරට ක්‍රීඩිකාවක් මෙම වසරේ වාර්තා කළ හොඳ ම කාලය විය.

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 200 මුලික වටය තත්ත්පර 24.33 කින් නිම කළ ඈ අවසන් තරගයේ දී තත්ත්පර 24.24 ක කාලයකින් තරගය අවසන් කළේ දෙවැන්නා ලෙස ය. යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 තත්ත්පර 12.06, මීටර් 200 තත්ත්පර 24.06 කි න් ද නිම කරමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා ය.

අමාෂා ද සිල්වා වත්මන් ජාතික මලල ක්‍රීඩා පිටියේ සිටින වේගවත් ම ක්‍රීඩිකාව ය. 2021 තරග වාරයේ දී ද ඉහළ දස්කම් දැක් වූ අමාෂා ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී තම ඉසව්ව තත්ත්පර 11.89 කින් අවසන් කළා ය.

ඉන් පසු ඉන්දියාවේ දී පැවැති ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේ රිදී පදක්කම දිනා ගත්තේ තත්ත්පර 11.59 ක කාලයකින් තරගය අවසන් කරමිනි.

ඉන් අනතුරුව ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්ත්පර 24.08 ක කාලයකින් අවසන් කරමින් ජයගත්තේ එම ඉසව්ව සඳහා ඇගේ හොඳ ම පෞද්ගලික කාලය ද වාර්තා කරමිනි. 57වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 100 තත්ත්පර 11.67, මීටර් 200 තත්ත්පර 24.05 ක් ලෙස නිම කරමින් නව තරගාවලි වාර්තා දෙකක් සමඟ ජය ගැනීමට අමාෂා සමත් වූවා ය.

චාමිනි සමුදිකා හේරත් සිය මංගල ජ්‍යෙෂ්ඨ තරගාවලිය ලෙස ජාතික මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියර සඳහා කාන්තා මීටර් 10,000 ඉසව්වට එක් වී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අභිබවා යමින් මිනිත්තු 36:23.59ක කාලයකින් තරගය අවසන් කර ජාතික කිරුළ දිනා ගත්තා ය.

මීටර් 5,000 ඉසව්වේ දී ප්‍රවීණ ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට (විනාඩි 15.55.84 නව ශ්‍රී ලංකා වාර්තාවක්) පමණක් දෙවැනි වෙමින් මිනිත්තු 17:21.83ක කාලයකින් ඉසව්ව අවසන් කළේ දෙවැන්නා ලෙසය. යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 10,000 විනාඩි 37.23.50, මීටර් 5000 විනාඩි 17.33.34 නිම කළේ දෙවැන්නා ලෙස ය.

ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙස සිය ක්‍රීඩා දිවිය ආරම්භ කර පසුව රිටි පැනීමේ ඉසව්වට යොමු වූ සචිනි පෙරේරා රිටි පැනීම කාන්තා ඉසව්ව සිය ආධිපත්‍යයට නතු කරගෙන අවසන් ය. ඇය යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 3.60 ක උසක් තරණය කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවූවා ය.

ලාංකේය මලල ක්‍රීඩා පිටියේ ප්‍රධාන ම බලාපොරොත්තුවකි අරුණ දර්ශන. ඔහු දකුණු ආසියානු රන් පදක්කම්ලාභී මෙන් ම ආසියානු යොවුන් රන් පදක්කම් ලාභියෙකි. ආබාධයකට ලක්ව සුව වීමෙන් පසුව ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 ජාතික කිරුළ දිනා ගැනීමට ඔහු සමත් විය.

එවකට ජාතික ශූරයාව සිටි කාලිංග කුමාරගේ (මූලික වටයේ තත්.21.52 සහ අවසන් තරගය 21.13) පරාජය කරමින් එම ජයග්‍රහණය ලබා ගැනීමට අරුණට (මූලික වටය තත්ත්පර 21.16) හැකි වූ අතර අවසන් තරගය තත්ත්පර 20.91ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳ ම දක්ෂතාවය වාර්තා කිරීමට ද ඔහු සමත් විණි. යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාව ජය ගත්තේ මීටර් 200 තත්ත්පර 21.03 කින් අවසන් කරමිනි.

ඔහු ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියරේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්ත්පර 46.45ක කාලයකින් අවසන් කරමින් දෙවැනි ස්ථානය දිනා ගත්තේ ය.

නිලානි රත්නායක 2022 අන්තර්-ජාතික මලල ක්‍රීඩා පිටියේ පදක්කම් දිනා ගැනීමට ඉහළ හැකියාවක් ඇති ක්‍රීඩිකාවකි. ජාතික මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:53.96 ක කාලයකින් අවසන් කළ ඈ ජාතික කිරුළ රැක-ගත්තා ය. එමෙන් ම ඉන්දියාවේ පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 10:12.02 කින් අවසන් කළේ තුන්වැන්නා ලෙස ය.

තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමෙන් පසුව නැවත තරග බිමට පිවිස මීටර් 400 සහ 200 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට කාලිංග කුමාරගේට හැකි විය. 2020 දී මෙන්ම 2021 ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද මීටර් 400 ඉසව්ව තත්ත්පර 46.12ක කාලයකින් අවසන් කරමින් කිරුළ දිනාගත්තේ ඔහු ය. ඉන්දීය අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ද මීටර් 400 තත්ත්පර 45.73ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

එය මීටර් 400 ඉසව්ව සඳහා ඔහු වාර්තා කළ පෞද්ගලික හොඳ ම කාලය මෙන්ම මෙරට ක්‍රීඩකයකු මීටර් 400 ඉසව්වක් සඳහා වාර්තා කළ දෙවැනි වේගවත් ම කාලය ලෙස ද සටහන් විණි.

ඉන්දියානු තරගාවලියේ මීටර් 200 රිදී පදක්කම ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී ත. 21.13ක කාලයකින් අවසන් කරමින් දෙවැන්නා ලෙස ද තරගය අවසන් කළේ ය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව පසුබෑමකට ලක් වූ කාලසීමාවක් ලෙස සැලකූ පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ගෞරවය රැකගත් නිමාලි ලියනආරච්චි ආසියානු ශූරතා පදක්කම් ලාභී ක්‍රීඩිකාවකි. සිය වයසට අභියෝග කරමින් තවමත් දස්කම් අතර සිටින නිමාලි මෙම වසරේ පැවැති ජාතික මලල ක්‍රීඩා උළෙලේ මී.800 ජාතික කිරුළ මිනිත්තු 2:06.69 ක කාලයකින් අවසන් කරමින් ජය ගත්තා ය. වසර 28කට පසුව ඔලිම්පික් හි කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ද නිමාලි ඉතිහාසගත වූයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙමිනි.

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් සාරංගි ද සිල්වා 2021 තරග වාරයේ දී ජාතික වාර්තාව දෙවරක් බිඳ හෙළී ය. කටාර් හී විශේෂ පුහුණුවකට පිටත් වූ සාරංගි ද සිල්වා මෙම වසරේ තුර්කියේ පැවැති තරගාවලියක් අතරතුර දුර පැනීම ඉසව්වේ මීටර් 6.44ක දස්කමක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළුවා ය.

එකී පුහුණුව නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි සාරංගි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා දුර පැනීම ඉසව්වේ මී.6.48ක දස්කමක් දක්වමින් සිය ජාතික වාර්තාව නැවතත් අලුත් කළා ය.

ආසියානු පදක්කම්ලාභී මලල ක්‍රීඩිකාවක් වන ගයන්තිකා අබේරත්න සිය 2021 තරග වාරය නිමාවට පත්කළේ සිය ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි. 34 වැනි වියේ පසුවන ඈ ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 4:09.12ක කාලයකින් අවසන් කරමින් නිමාලි ලියනආරච්චි විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තාව බිඳ හෙළුවා ය.

එයට දිනකට පසු දිගු දුර ධාවන පිටියට පිවිසෙමින් මීටර් 5,000 ඉසව්වේ ජාතික ශූරිය බවට පත්වුණේ මිනිත්තු 15:55.84 ක කාලයකින් තරගය නිම කර එම ඉසව්ව මිනිත්තු 16කට අඩු කාලයකින් නිමා කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.

ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩකයා රොෂාන් ධම්මිකය. ඒ මීටර් 110 කඩුලු පැනීම ඉසව්වේ වසර විසිහතරක ජාතික වාර්තාව බිඳ හෙළමිනි. මූලික තරගය තත්ත්පර 13.97ක කාලයකින් අවසන් කරමින් වසර 24 කට පෙර මහේෂ් පෙරේරා පිහිටුවූ වාර්තාව බිඳ දැම්මේ ය.

එකි වාර්තාව පිහිටුවා පැය කිහි-පයකට පසුව පැවති මීටර් 110 කඩුලු පැනීම අවසන් තරගයේ දී තත්ත්පර 13.89 ක කාලයකින් අවසන් කරමින් නැවතත් තමන්ගේ ම ජාතික වාර්තාව අලුත් කළේ ය. යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 110 කඩුලු පැනීමේ අවසන් තරගයේ දී තත්ත්පර 13.91කින් තරගය නිම කරමින් නව තරග වාර්-තාවක් ද පිහිටු වීමට ද සමත් විය.

අමෙරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වන උෂාන් තිවංක මෙම වසර තුළ මෙරට මලල ක්‍රීඩාවෙන් අන්තර්ජාතික තලයේ අවධානයට ලක්වූ ක්‍රීඩකයෙකි. ටෙක්සාස් හි දී උස පැනීම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් වාර්තා ද්විත්වය ම බිඳ හෙළීමට ඔහුට හැකිවිණි. මෙම වසරේ මාස පහක් තුළ වාර්තා පහක් පිහිටුවීමට සමත් වීම කැපී පෙනුනි.

යුපුන් අබේකෝන් ද අපේක්ෂා තැබිය හැකි වේග තරුවකි. ඉතාලියේ සිට ක්‍රීඩාවේ නිරත වන ඔහු මී. 60 ගෘහස්ථ ඉසව්ව තත්ත්පර 6.59 ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික වාර්තාව බිඳ හෙළී ය. එළිමහන් පිටියට පිවිසි යුපුන් මීටර් 100 ඉසව්ව තත්පර 10.15 ක කාලයකින් අවසන් කරමින් නව ජාතික සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටෙව්වේ ය.

මැයි මාසයේ දී මීටර් 100 ඉසව්ව තත්ත්පර 10.09ක (+2.2) කාලයකින් අවසන් කරමින් ඕනෑ ම කාලගුණ තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්වක් අවසන් කළ වේග-වත් ම කාලය සටහන් කළේ ද යුපුන් ය. එසේම ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සුදුසුකම් ලබා ගත් යුපුන් මී. 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කළේ සිව්වැන්නා ලෙසය.

මෙම දස්කම් නිසාවෙන් ක්‍රීඩක වර්ගීකරණය ඔස්සේ සුදුසුකම් සපුරාලමින් ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූ යුපුන් වසර 25කට පසුව ඔලිම්පික් මීටර් 100 ඉසව්වක් නියෝජනය කළ පළමු වැනි ලාංකේය ක්‍රීඩකයා විය. එහි මූලික වටය තත්ත්පර 10.32 ක කාලයකින් ඔහු නිම කළේ හයවැන්නා ලෙස ය. ඩයමන්ඩ් ලීග් තරග වාරයේ මීටර් 100 අවසන් තරගය ට තරග වදිමින් තත්ත්පර 10.22ක කාලයකින් ඉසව්ව අවසන් කළ ඔහු 9 වැනි තැන දිනාගත්තේ ය.

මෙකී නම් කිහිපය පමණක් නොව දක්ෂතා දක්වන සියලු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිවැරැදි ව කළමනාකරණය කර ගන්නේ නම් මෙරට මලල ක්‍රීඩාව අන්තර්ජාතික තලයේ ඉහළට රැගෙන යා හැකි ය.

බන්ධුල ජයමාන්න

Comments