අමෙරිකාවේ ජිම්නාස්ටික් රන් ආකාරයක් වූ මිනිරන් පැහැ කෙල්ල ගැබී | Page 2 | සිළුමිණ

අමෙරිකාවේ ජිම්නාස්ටික් රන් ආකාරයක් වූ මිනිරන් පැහැ කෙල්ල ගැබී

 

ක්‍රීඩාවේ දක්ෂයෝ ලොව පුරා වෙති. එහෙත් ඒ අතරින් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව උදාවන්නේ සීමිත පිරිසකට ය. ඒ සීමිත පිරිස අතරින් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට හැකි වන්නේ ද ඉතාමත් සීමිත සංඛ්‍යාවකට ය. එවන් අදියර රැසක් තරණය කර දිනාගන්නා ඒ පදක්කම යම් දේශයකට ඓතිහාසික ගරුත්වයක් උරුම කරවන්නේ නම් ඒ පදක්කම්ලාභියාට හිමි වන වටිනාකම ඉතාමත් ඉහළ ය.

එවන් අතිදුලබ වටිනාකමකට උරුමය ලැබූ ක්‍රීඩිකාවක් ලෙසින් අප්‍රිකානු අමෙරිකානු සම්භවයක් හිමි ගේබ්‍රියෙල් ක්‍රිස්ටිනා වික්ටෝරියා ඩග්ලස් සුවිශේෂී ය. මෙවන් දිගු නමක් හිමි ඇය ක්‍රීඩා ලොව තුළ ප්‍රචලිතව ඇත්තේ ගැබී ඩග්ලස් ලෙසිනි. ඔලිම්පික් ඉතිහාසය තුළ මේ ඓතිහාසික වටිනාකම ඇයට උරුම වූයේ කණ්ඩායමක් ලෙස සමස්ත ඉසවුවක් ජයග්‍රහණය කළ මුල්ම අප්‍රිකානු අමෙරිකානුවා ඇය වූ හෙයිනි. ඒ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙනි.

ගැබී 1995 දෙසැම්බර් 31 වැනි දින උපත ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ වර්ජින් බීච් හි දී ය. ඒ, තිමොති ඩග්ලස්ගේ හා නටාලි හෝකින්ස්ගේ දියණියක ලෙසිනි.

ජිම්නාස්ටික් ක්‍රීඩාව සබැඳිව ගැබී හට මුල්ම අත්දැකීම උරුම වූයේ තම වැඩිමහල් සොහොයුරිය වූ හිටපු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ද වූ ඒරියෙල් වෙතිනි. රෝදයක් යොදාගෙන කළ පුහුණුවීම්වලින් ගැබී හොඳ පන්නරයක් ලැබුවේ ඒරියෙල් සිතුවාටත් වඩා යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරමිනි. මේ පුහුණුව හේතුවෙන් වයස අවුරුදු හතර වන විට ගැබී ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වීමේ පෙර ලකුණු පෙන්නුම් කළා ය.

“ඇත්තටම මටත් හිතෙනවා මෙයාට කවද හරි දවසක හරි යන්නේ ජිමිනාස්ටික් ම තමයි කියලා.” මේ පුහුණුව දකින ගැබීගේ මව සිය සිතින් සිතුවා ය.

සොයුරියගේ දිරි ගැන්වීමත් මවගේ මනාපයත් මත සය හැවිරිදි වියේ දී විධිමත් ජිම්නාස්ටික් ක්‍රීඩා පුහුණුවක් ලැබීම සඳහා ගැබී යොමු කෙරිණි. මේ පුහුණුවේ සුබ ලකුණු පහළ වීමට එපමණ දිගු කලක් ගතවූයේ නැත. 2004 දී එනම් නව වැනි වියේ දී ඈ ‘වර්ජීනියා ප්‍රාන්ත ජිමිනාස්ටික් ශූරිය’ ලෙසින් නම් කෙරුණා ය.

වයස අවුරුදු 14 වන විට උපන් නගරයෙන් මෙන්ම පවුලෙන් ඈත් වූ ගැබී, අයෝවා හි වෙස්ට් ඩෙස් මොයින්ස් වෙත ගොස් අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩක ෂෝන් ජොන්සන් හා ලෝක ශූර-යෙකු වූ ලියෑං චව් වෙතින් ජිම්නාස්ටික් ක්‍රීඩාව සම්බන්ධ විද්‍යානුකූල පදනමක් සහිත පුහුණුවක් ලැබුවේ ඒ අනුව ය.

“අවුරුදු දාහතරක් කිය-න්නෙ ඒ තරම් ලොකු වයසක් නෙවෙයිනෙ. අම්මා, තාත්තා, අක්කලාගෙන් ඈත් වෙලා ඉන්න හිත හදාගත්තෙ හරිම අමාරුවෙන්. ඒත් එහෙදි මට ලැබුණු පුහුණුව හරිම වැදගත්. ඒ පුහුණුව ඒ තරම් ලේසි පහසු එකක් වුණේ නැහැ. ජිම්නාස්ටික් කියන්නේ මොකක්ද කියලා මට අත්විඳින්න ලැබුණු මේ පුහුණුව තමයි මගේ ජයග්‍රහණවලට දොර විවර කරලා දුන්නෙ.” ගැබී පවසන්නීය.

මේ පුහුණුවේ මහිමය ඔප්පු කරමින් ඈ අමෙරිකාව තුළ ජාතික මට්ටමේ ජිම්නාස්ටික් ජයග්‍රහණයන් රැසක් උරුම කර ගත්තේ අනාගතයේ ජාත්‍යන්තරය නියෝජනය කරන ජිම්නාස්ටික් ශූරියකගේ ගති සොබා විදහා පාමිනි.

‘අමෙරිකන් ජිම්නාස්ටික් ඩොට් කොම්’ නම් වෙබ් අඩවියක සඳහන් වූයේ ඇයගේ අද්විතීය බලය, නම්‍යශීලි බව, ශරීරයේ පෙළගැස්වීම සහ සමබරතාව හේතුවෙන් ඇය තුන් වතාවක් අමෙරිකානු ඔලිම්පික් ක්‍රීඩිකා ඩොමිනික් ඩෝව්ස් සමඟ සංසන්දනය කිරීමට හේතු වූ බව ය.

ගැබීගේ සුවිශේෂී කැපී පෙනීම හේතුවෙන් ඇමරිකාව වෙත ඔලිම්-පික් ජිම්නාස්ටික් පදක්කමක් දිනා-ගැනීම සඳහා ඇයගේ දායකත්වය ලබා ගැනීමට එරට ක්‍රීඩා බලධාරීන් තීරණය කළේ ඒකමතිකව ය.

ගැබී මුල් වරට ඉදිරිපත් වූයේ 2012 වසරේ ලන්ඩන් හි දී පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියටය. ඒ, කණ්ඩායමක් ලෙසිනි. ඇය ද ඇතුළුව ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ පස්දෙනෙක් මේ කණ්ඩායම සඳහා ඇතුළත් වූහ. මේ කණ්ඩායමට රන් පදක්කමක් හිමි විය. අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් කණ්ඩායමක් දිනාගත් මුල්ම ඔලිම්පික් පදක්කම මෙය විය. මේ තරගාවලියේ සමස්ත ජයග්‍රහණය හිමි වූයේ ද මේ කණ්ඩායමට ය. ජයග්‍රහණයන් උරුම කරගැනීම උදෙසා ගැබීගෙන් ලද දායකත්වය වඩාත් කැපී පෙනුණේය.

ඇය ලද දෙවැනි ඔලිම්පික් ජයග්‍රහණය නිජබිම වෙනු-වෙන් හිමි කර දුන්නේ 2016 රියෝ ද ජැනයිරෝ හි දී පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ය. මෙහි දී ඇයගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ ජිමිනාස්ටික් කණ්ඩායමට රන් පදක්කමක් හිමි විය.

මේ ජයග්‍රහණයන් හැරුණු-විට 2011 දී ටෝකියෝ හි දී සහ 2015 දී ග්ලාස්ගෝ හි දී පැවැති ලෝක ශූරතා තරගාවලීන් හි දි ඇය නියෝජනය කළ ජිම්නාස්ටික් කණ්ඩායම්වලට රන් පදක්කම් 2 ක් හිමි විය.

“ඉතාම අඩු වයසකදී මට මේ තරම් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබන්න පුඵවන් වුණ එක ගැන මට දැනෙන්නෙ හිතාගන්න බැරි තරමේ ලොකු සතු-ටක්. ඉදිරියේදි මගේ රට වෙනුවෙන් තවත් ජයග්‍රහණ ගොඩාක් දිනා දෙන්න මට බැරි වෙන එකක් නැහැ. මට මගේ රටෙන් ලැබිලා තියෙන දේවලට යම් තරමකින් හරි ණය ගෙවන්න පුළුවන් වෙන්නෙ එහෙම වුණොත් විතරයි.” ගැබී පවසන්නේ සැබෑම දේශප්‍රේමියකු විල-සිනි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments