වේදිකාවේ අහිංසකාවිය භද්‍රා නන්දනී ගුණරත්න දිවි මඬලෙන් සමුගනී | සිළුමිණ

වේදිකාවේ අහිංසකාවිය භද්‍රා නන්දනී ගුණරත්න දිවි මඬලෙන් සමුගනී

“ජීවිතය රඟ මඬලකි.අපි එහි රඟන නළු නිළියෝ වෙමු " යන්න ප්‍රකට කියමනකි. තනිව උපත ලබන අප සියල්ලෝ ම දිනෙක ලොව හැර දා තනිව ම යා යුතු ම ය. එය ලෝක ධර්මතාවයි. සැමට උරුම වන එම සත්‍යයට ගරු කරමින් පසුගිය දිනවල කලා ලොව සැමගේ ආදරය දිනාගත් ශිල්පීන් කිහිප දෙනෙකු ම මෙලොව හැරගියහ. සිළුමිණ රසඳුන මේ සටහන වෙන් වන්නේ එවැනි කලාකරුවන් දෙදෙනෙකු වෙනුවෙනි.

ප්‍රවීණ රංගන ශිල්පිනී භද්‍රා නන්දනී ගුණරත්න නොවැම්බර් 13 වැනි දා අභාවප්‍රාප්ත වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටයදී ය. ඇය වේදිකාව සහ ටෙලි නාට්‍යය ඔස්සේ සිය රංග ප්‍රතිභාව ප්‍රකට කළ මුල්කාලීන කලාකාරිනියකි. ශ්‍රී ලාංකාවේ නාට්‍ය ඉතිහාසයේ මුල් පෙළ නියෝජනය කළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන පරාක්‍රම නිරිඇල්ලගේ ළා හිරු දහසක් කොටස් 4 ක ටෙලිනාට්‍යයක් ලෙස ආරම්භ වී ලැබූ අසීමිත ජනප්‍රියත්වය නිසාම පසුව කොටස් 13 බැගින් වූ අදියර දෙකක් යටතේ එවක විකාශනය විය. ඒ ජනප්‍රිය ටෙලි නාට්‍යයෙහි බාසුන්නැහැගේ දුව හා ධර්මදාසගේ බිරිඳ වන "රංජනී" ලෙස පුංචි තිරයට ප්‍රවිෂ්ට වූ ඇය මේ වනතෙක් ම ඒ චරිතය හරහා ප්‍රේක්ෂක මතකයෙහි රැඳී සිටී.

 

ප්‍රවීණ රංගන ශිල්පියකු සේම, පුවත්පත් මහගෙදරෙහි සිනමා කලාව වෙනුවෙන් වෙන් වූ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ නැසීගිය සුසිල් ගුණරත්නයන් ඇයගේ දයාබර ස්වාමිපුරුෂයා විය. 1979 යුරේකා වේදිකා නාට්‍ය සඳහා සුසිල් ගුණරත්න ඇයගේ පෙම්වතා ලෙස රංගනයේ යෙදුණු අතර ඒ නාට්‍යයේ රඟපෑම් උදෙසා එකම වේදිකාවදී ඔවුන් දෙදෙනාට හොඳම නළුවා සහ නිළිය සම්මානය ලැබිණි.

ටෙලි හා වේදිකා නාට්‍ය විශාල ගණනකට නිර්මාණ දායකත්වය ලබා දී ඇති ඇය රඟපෑ ඉංගම්මාරුව, වැටත් නියරත්, පරෙවි ධේනුව, සිවු සිය ගව්, මාරුක් මල් ආදී ටෙලි නාට්‍යය හරහා රසික ජනාදරයට පාත්‍ර වුවා ය.

කාර්යබහුලත්වය මත රංගනයෙන් මඳ විරාමයක් ගත් භද්‍රා පසුකාලීනව ඇයගේ සැමියා වූ සුසිල් ගුණරත්නයන්ගේ නිර්මාණ වූ නුඹ විතරක් තලඑළලුයි , මුහුණු දෙකක් , දෙනුවර දෙන්නෙක් ආදි නාට්‍යය සඳහා රංගන දායකත්වය ලබා දුන්නා ය.

දිගු නිහැඬියාවකින් පසුව 2010 වසරේදී පමණ ඇය නැවතත් රංගනයට පිවිසි අතර ඒ දෙරණ රූපවාහිනියේ විකාශය වූ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක් වුණු සරා ටෙලි නාට්‍යයෙනි.

සුසිල් ගුණරත්න සමඟ එක්ව ඇය නිර්මාණය කළ දෙනුවර දෙන්නෙක් වේදිකා නාට්‍යය සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම පරිවර්තනය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබීම ඇගේ නිර්මාණ කාර්යයේ සුවිශේෂී සංධිස්ථානයකි.

දිගු කාලීනව අසනීප තත්ත්වයෙන් පසුවූ රංගන ශිල්පිනී භද්‍රා නන්දනී පසුගිය දා ජීවන රඟ මඬලින් සමුගෙන ගියේ රසික හදවත් තුළ අමරණීය මතකයක් වෙමිනි.

 

 

Comments