කොරෝනා ගැන බැසිල් කළ යෝජනාව | සිළුමිණ

කොරෝනා ගැන බැසිල් කළ යෝජනාව

හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයකු මෙන් ම ප්‍රකට දේශපාලනඥයෙකු වූ මංගල සමරවීර මහතාගේ අභාවය පසුගිය සතියේ දේශපාලන කරළියේ වැඩිම අවධානයට ලක්වූ මාතෘකාවක් විය. කොවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය වැලඳී මෙරට මියගිය ප්‍රබල දේශපාලඥයකු ලෙස මංගලගේ අභාවය හැඳින්විය හැකිය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් විශාල පිරිසක් මංගල සමරවීරගේ අභාවයෙන් දැඩි ශෝකයට පත්ව සිටීම ද විශේෂත්වයකි.

 

සිකුරාදා දහවල් 11 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට සියලුම සෞඛ්‍ය බලධාරීන්, හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන්, නිලධාරීන් හා සුපුරුදු දේශපාලනඥයන් පැමිණ සිටියහ. සෞඛ්‍ය ඇමති කෙහෙලිය, සුදර්ශනී, ප්‍රසන්න, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් ද සිටියහ.

රැස්වීම පටන් ගන්නට මොහොතකට පෙර ජනාධිපතිවරයාගෙන් සිසිර ජයකොඩිට ඇමතුමක් ලැබී ඔහු ඇතුළට ගියේය...

ටික වේලාවකට පසු ඔහු යළි පැමිණ වාඩි වන විට අනෙකුත් අය ඔහු කැඳවූයේ මන්දැයි කියා විමසූහ...

"ජනාධිපතිතුමා කියනවා ප්‍රතිශක්තිය වඩවන ආයුර්වේද ඖෂධ පාර්සලයක් ජනතාවට ලබා දෙන්න සූදානම් කරන්න කියලා..."

"ඒක නම් ඉතාම හොඳ වැඩක්..." අනිත් අය එම යෝජනාව අනුමත කරමින් කතා බහ කරන අතරේ ජනාධිපතිවරයා අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා එම රැස්වීමට පැමිණියහ.

"මොනවද ගුඩ් නිවුස්... ගුඩ් නිවුස් නං නැතුව ඇති... කොහොමද අපේ එන්නත් කරන වැඩපිළිවෙළ... ඒවා ඔක්කොම ටාගට්ස්වලට යනවා ඇති නේද.... ඒක තමයි ඉතින් හොඳම විසඳුම..." ජනාධිපතිවරයා කීය.

"60 ට වැඩි අය එන්නත් කරන්න තියෙන අපහසුව තමයි ප්‍රශ්නේ... ඒ අය එනව හොරයි. 60 ට වැඩි අය රෝගෙන් වැඩිපුර පිරිසක් මිය යන්න එක හේතුවක් තමයි එන්නත ගහලා නැතිකම...." සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දුන්හ.

"අපි දැන් මේ සෙනසුරාදා ඉදලා සතියක් පුරා ම බස්නාහිර පළාතේ එන්නත් කරලා නැති 60 න් ඉහළ අය හොයාගෙන ගෙවල්වලට ගිහිල්ලා එන්නත් කරන්නයි සූදානම" හමුදාපති ශවේන්ද්‍ර කීවේය.

"ඒක හොඳයි... හොයාගෙන ගිහිල්ලා එන්නත් කරන එක තමයි හොඳම විසඳුම. ඕක මෙහෙම කළොත් නරකද... අපට පුළුවන් ප්‍රාදේශීය ලේකම්ලා, ග්‍රාමසේවකලා යොදාගෙන ගම් මට්ටමෙන් ඒ ඒ පළාත්වල ඉන්න 60ට ඉහළ අයගේ නිවැරදි නම් ලැයිස්තුවක් ගන්න..." ජනාධිපති කීවේය.

"හරි... ඒක මම භාර ගන්නවා... ඉතා ඉක්මනට මම ලැයිස්තුවක් හදලා දෙන්නම්..." බැසිල් ඇමතිවරයා කීවේය.

"එහෙමනම් 23 වැනිදාට කලින් ලයිස්තුවක් අරන් හමුදාපතිතුමාට දෙන්න..."

නිවෙස්වලට ම ගොස් ඇන්ටිජන් පරීක්ෂාව කිරීමේ ඇති හැකියාව ගැනද මෙහිදී කතා බහට ලක්විය.

"60 ට වැඩි අය ගෙවල්වල ඉන්නවා නම් එයාලා එන්නත්කරණයට එන්නෙත් නැත්නම් නීති රීති දැඩි කරලා හරි antigen පරීක්ෂාවක් කරලා රෝගීන් ඉන්නවනම් එයාලා රෝහල්ගත කරන එකෙන් මැරෙන සංඛ්‍යාව අඩු කරගන්නත් පුළුවන්" බැසිල් කීවේය.

"නීති රීති දැඩි කරලා හරි කරමු..." යැයි කීම බොහෝ දෙනෙකුට වැටහුණේ නැත.

"මම කිව්වේ මේකයි... දැන් අපි ඩෙංගුවලට ගෙවල් පරික්ෂා කරන්න යනවා නේ පී එච් අයිලා. ඒ ගියාම එම ගෙවල්වල මදුරු කීටයෝ බෝ වෙන තැන් තිබුණොත් අපි ඒ අයට විරුද්ධව නඩු පවරනවා... ඊට වඩා දරුණුයිනෙ මේ කොවිඩ්... ඒ වගේ කොවිඩ් පැතිරීමට අනුබල දෙන අය ඉන්නවනම් ඒ අයටත් නඩු පවරන්න ඕන... ඒවට නීති රීති ගේන්න ඕන..." බැසිල් මහතා කාරණාව පැහැදිලි කළේය.

එය ඉතා වැදගත් අදහසක් ලෙස මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ.

 

ජනපති කරපු අලුත් සමීක්ෂණයක්

 

"මම මේ පහුගිය දවස්වල බස්නාහිර පළාත ඉලක්ක කරගෙන පුංචි සමීක්ෂණයක් කළා. 2019 වර්ෂයේ මාස අටක් ගත්තා. ඒ මාස අටේ ලෙඩ රෝග නිසා මියගිය අයගේ සංඛ්‍යාව ගණනය කළා. ඊට පස්සේ මේ අවුරුද්දේ එම මාස අටේ ලෙඩ රෝග නිසා මියගිය අයගේ සංඛ්‍යාවත් එක්ක සසඳලා බැලුවා. මේ අවුරුද්දේ කොරෝනා තිබුණයි කියලා මරණ සංඛ්‍යාවේ ලොකු වෙනසක් වෙලා නෑ. 2019 දී 60 ට වැඩි අය විවිධ බෝ නොවන රෝග නිසා මිය ගිහින් තියෙනවා. මේ අවුරුද්දත් 60 ට වැඩි අය අතනට සාපේක්ෂ සංඛ්‍යාවක් කොරෝනා නිසා මිය ගිහින් තියෙනවා. එතනින් ඔප්පු වෙන්නේ කොරෝනා නිසා වැඩිපුර මිය ගිහිල්ලා තියෙන්නෙත් 60 ට වැඩි, විවිධ සංකූලතා නිසා මියයන සාමාන්‍ය කැටගරියේ සාමාන්‍ය ප්‍රමාණය ම තමයි..." ජනාධිපතිවරයා පෙන්වා දුන් කාරණාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ඉන් පසුව සියලු දෙනාම කතා බහ කරන්නට පටන් ගත්තේ රට වසා දැමිය යුතුද නැද්ද කියාය. එහිදී දෙපැත්තටම අදහස් හුවමාරු වූහ. රට වසා දැමීමෙන් ආර්ථිකයට සිදුවන පාඩුව ගැන එක් පිරිසක් කතා කරන්නට විය. කොවිඩ් පැතිරීම වර්ධනය වීම නතර කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක්වත් රට වසා දැමීමෙන් සිදුවන සෞඛ්‍යමය වාසිය ගැන ද කතාබහ විය.

වහනකොට අරින්න කියනවා.. අරිනකොට වහන්න කියනවා.

"විපක්ෂයට ඕන සටන් පාඨ... ආණ්ඩුව රට වහන්නේ නැත්නම් ඒ ගොල්ල රට වහන්න කියලා කෑගහලා ෆයිට් කරනවා. රට වැහුවාම විද්‍යාත්මකව වහලා නෑ, කර්මාන්තශාලා ටිකක් වහල දාන්න කියලා තර්ක කරනවා. ඒගොල්ලන්ට ඕන ඇඟලුම් කර්මාන්ත ශාලා ටික වහලා දාලා, මේ රටේ කර්මාන්ත බ්ලොක් කරලා රටට ඩොලර් එන මාර්ග ටික අහුරන්න මිස ඒ කර්මාන්තවල ඉන්න අය ලෙඩවලින් බේරගන්න නෙවෙයි.

ඊළඟට අනිත් පැත්තටත් ෆයිට් කරනවා. රට වහලා තියෙද්දි එදා වේල හම්බ කරන් කන මිනිස්සුන්ට යන එන මං නෑ කියලා කෑ ගහනවා. ඊට පස්සේ සහනාධාර දෙන්න කියනවා. දෙන ගාන මදි කියලා ෆයිට් කරනවා. මේ වසංගතයක් වෙලාවෙදිත් මේගොල්ලෝ බොරදියේ මාළු බාන දේශපාලනයක් කරනවා. හැබැයි මේ විපක්ෂයේ තරම දැන් රටේ ජනතාවත් දන්නවා..."

"ඒක ඇත්ත සර්... විපක්ෂයට ඕන සටන් පාඨ ටිකක් මිස ජනතාවට සහන සලසන්න නෙවෙයි. කර්මාන්තශාලා ඇරියාම කොරෝනා බෝවෙනවා කියනවා නම් ඒගොල්ලො මීට සති තුන හතරකට ඉස්සෙල්ල උද්ඝෝෂණවලට දහස් ගණනින් ගුරුවරු පාරට බැස්සෙව්වේ කොරෝනා බෝ වෙනවා කියලා නොදැන ද.."

"ඉන් පසුව ජනාධිපතිවරයා තමන් නරඹන ලද ඊශ්‍රායලයේ සෞඛ්‍ය වැඩසටහනක් ගැන විස්තරයක් කළේය. එන්නත් කරන අය සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින රටක් වන ඊශ්‍රායලය දැන් තුන්වන එන්නතටත් සූදානමින් සිටින බව ඔහු කීවේය.

"සමහර විට මේ එන්නත අවුරුදු පතා ගහන්න වෙයි. එහෙම තමයි ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන් කිව්වේ...." ජනාධිපති පෙන්වා දුන්නේය.

ඉන් පසුව රට වැසීමේ තීන්දුව කතාබහට ලක්විය...

"සමහරු හිතනවා රට වැහීම තමයි මේකට තියන හොඳම උත්තරේ කියලා. නමුත් දියුණු රටවල් එහෙම හිතන්නේ නෑ. අපි වැඩ කරන්නේ සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත. නමුත් දැන් මේ වෙලාවේ විපක්ෂය මතයක් සමාජගත කරනවා ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන් කියන කිසි දෙයක් අහන්නේ නෑ කියලා. අපි හිතුවක්කාරයිලු. දැන් ඔන්න මහනායක හිමිවරුත් ඉල්ලීමක් කරනවා. අපිත් එක්ක හිටපු සමහර දේශපාලන පක්ෂත් ඒකම කියනවා. විපක්ෂය කියන නිසා නෙවෙයි. සෞඛ්‍ය අංශවල නිර්දේශයක් දුන්නොත් අපට ටික දිනක් රට වහලා තියන්න පුළුවන්. හැබැයි විපක්ෂයේ බලාපොරොත්තු වෙන විදිහට රටේ ආර්ථිකය බිඳ වට්ටන කිසිම දෙයක් වෙන්න බෑ... ලෙඩ වෙන අය ඉන්නවනම් ඉවත් කරන්න ඕන. හැබැයි දාස් ගණනක් වැඩ කරන කර්මාන්තශාලා වහල දාන්න බෑ. ආර්ථික මරමස්ථාන වහලා දාලා බෑ. අපි මේක පරිස්සමින් කරමු..." ජනාධිපතිවරයා එසේ කියමින් එම හදිසි තීන්දුවට එකඟත්වය පළ කළේය.

"අත්‍යාවශ්‍ය සේවාවන්වල අයට රැකියා කරන්න අවසර දෙන්න. පොලිසියෙ අය වුණත් පොඩ්ඩක් නම්‍යශීලී වෙලා මිනිසුන්ගේ අවශ්‍යතා දිහාත් බලන්න පුරුදු වෙන්න..." ජනාධිපතිවරයා පොලිස්පතිවරයාටත් විස්තරයක් කළේය.

"යම්කිසි කෙනෙක් පාරට බැහැල යනකොට ඒ මනුස්සයාගේ ඉල්ලීම සාධාරණ නම් නම්‍යශීලී වෙන්න කියලා පොලිසියට කියන්න..."

"හැබැයි ඉතින් එදා වේල හොයාගෙන කන මිනිස්සු ගැනත් හිතන්න වෙනවා.... බැසිල් රාජපක්ෂ කීවේය.

"අපි ඒ පවුල්වලට රුපියල් දෙදාහක් ලබාදෙමු..." දවස් දහයනේ.

ආයුර්වේද ඖෂධ සංස්ථාවෙනුත් අපට මේ පවුල්වලට ලබාදෙන්න ඖෂධ පාර්සලයක් දෙන්න... ප්‍රතිශක්තිය නංවන කැඳ හදන දේශීය හාල්, ඇට වර්ග, කසාය වර්ග, අල්ලන ධූම වර්ග ඒ පාර්සලයට ඇතුළත් කරන්න..."

"මම ඒකට සිසිරට අවශ්‍ය සල්ලි ටික හොයල දෙන්නම්..." බැසිල් ඇමතිවරයා දේශීය වෛද්‍ය ඇමැතිවරයාට කීවේය.

 

විමල්ගේ ලස්සන සී.බී. කියයි

 

අමාත්‍ය මණ්ඩල හමුව මෙවර පැවැත්වුණේ zoom තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙනි.

නියමිත වේලාවට අමාත්‍යවරු කැබිනට් හමුවට එක් වෙමින් තිබිණි. ඒ වන විටත් ලබාදී තිබු "ලින්ක්" එක හරහා අමාත්‍ය මණ්ඩල හමුවට එක්ව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා තරමක් ලොකු මල් සහිත නිල් සහ සුදු පැහැ කමිසයක් හැඳ සිටියේය.

"විමල් ඇමතිතුමාගේ ෂර්ට් එක හරි ලස්සනයිනේ" සී.බී. රත්නායක අමාත්‍යවරයා කීවේය. "ෂර්ට් එක විතරද ලස්සන, මම ලස්සන නැද්ද" "නෑ නෑ ඇමතිතුමාත් ලස්සනයි. ඇමතිතුමාගේ ෂර්ට් එකත් ලස්සනයි." සී.බී රත්නායක අමාත්‍යවරයා සිනහසෙමින් පිළිතුරු දුන්නේ ය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබිණි.

කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාව ඇරඹිණි. එහිදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා "අපි වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කළා. සුබෝධනී වාර්තාවට බොහෝ දෙනා එකඟයි. සමහරුන්ට ඒ ගැන ප්‍රශ්න තියෙනවා. කමිටුව දීර්ඝ ව මේ ගැන අධ්‍යයනය කළා. එතනදී ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් වෙන්න ඕන කියන මතයේ කමිටුව ඒකමතිකව සිටිනවා. ඒ වගේම මීට ලබා දෙන විසඳුම නිසා වෙනත් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් විෂමතා සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයෙත් ඉන්නවා." කීවේය.

 

මහින්දානන්දට ලැබුණු බඩු මල්ල ආපසු යවයි

 

"ඒ වගේම ඉතා ඉක්මනින් වැටුප් වැඩිවීම සිද්ධ වෙන්න ඕනේ. ඉදිරි අයවැයෙන් ඒ සඳහා වැඩපිළිවෙළ යෝජනා කරලා ඒ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා" විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

එම සාකච්ඡාවට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා "අන්තිම මොහොතේ තමයි අපිට කමිටු වාර්තාව ලැබුණේ. ඒ නිසා වාර්තාව අධ්‍යයනය කරන්න වෙලාවක් තිබුණෙ නැහැ." කීවේය.

වාර්තාව ප්‍රමාද වීම සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා "අනු කමිටු වාර්තාව අපිට ලැබුණෙත් හවස දෙකට විතර. මේ වාර්තාව ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තියෙන නිසයි අද මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ" කීවේය.

"ඔව්. කමිටුව පුළුවන් ඉක්මනින් මේ වැඩේ නිම කළා. ඒ මේ ප්‍රශ්නය හැකි ඉක්මනින් විසඳීමේ අවශ්‍යතාව තියෙන නිසයි"

"මේකට අදාළ අනෙකුත් වාර්තා දුන්නොත් මේ වාර්තාව හොඳට අධ්‍යයනය කරලා ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට කරුණු දක්වන්න පුළුවන්" උදය ගම්මන්පිල අමාත්‍යවරයා නැවතත් පැවසීය.

"අපි කතා කරන්න මේ රටේ දරු දැරියන්ගේ ප්‍රශ්නයක්. ගුරුවරුන්ගේ ප්‍රශ්නය මේක ඇතු‍ළෙ තිබුණට දරුවන්ගේ අනාගතයයි මේ ඇතුළෙ තියෙන්නෙ. දිගින් දිගටම කල් දැමීම නම් සුදුසු නෑ" විමල් වීරවංශ අමාත්‍යවරයා නැවතත් සඳහන් කළේය.

"ඒ කතාව අපි පිළිගන්නවා. ප්‍රශ්නය කල් දැමීම සුදුසු නැහැ. නමුත් මේ හරහා යළි අර්බුදයක් නිර්මාණ නොවන විදිහට කටයුතු කරන්නත් ඕන. ඒ ගැනත් අපි මෙතනදි සලකා බලන්න වෙනවා" මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් කීවේය.

"අනිත් වාර්තාත් ඉදිරිපත් වුණොත් මේ ගැන ඊළඟ කැබිනට් එකේදි නිසි තීරණයක් ගන්න පුළුවන් වෙයි" රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ද කීවේය.

"ඔව්. පසුගිය සැරේ දී අපි පවුල් ලක්ෂ 60 කට විතර පන්දහසේ දීමනාව දුන්නා. ඒ වෙලාවෙදි garments වහලා. අනිත් කර්මාන්තශාලා වහලා. ඒත් පවුල්වලටත් ආදායම් අහිමි වෙන නිසා දීමනාව ලබා දුන්නා. මෙවර කර්මාන්තශාලා වැඩ. ඒ නිසා ඒ අයට දීමනාව ලැබෙන්නේ නැහැ. ඇත්තටම ජීවනෝපාය අහිමි වෙලා ඉන්න කට්ටියට තමයි මේ පාර දෙන්නෙ" ඇමැතිවරයා පැහැදිලි කළේය.

නිරෝධායනයට ලක්කරන පවුලට රුපියල් දස දහසේ බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විශේෂයෙන් සාකච්ඡා විය.

"අපි දන්න අතිරේක ලේකම්වරයෙකුගේ ගෙදරටත් මේ කියන අත්‍යවශ්‍ය බඩු මල්ල ලැබිලා" මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

"ඇත්තටම අත්‍යවශ්‍යම අඩු ආදායම් ලාභීන්ට මේ බඩු මල්ල ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ" වාසුදේව නානායක්කාර පැවැසීය.

"මටත් බඩු මල්ල ලැබුණා. මම ආයෙත් ඒ බඩු මල්ල යැව්වා" මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා කීය.

"මට ලැබුණෙ නෑ නේ" විමල් වීරවංශ පැවසීය.

"ඒ කියන්නේ ඔබතුමා එක්ක ප්‍රාදේශීය ලේකම්තුමාගේ මොකක් හරි ආරෝවක් ඇති" වාසුදේව නානායක්කාර ඇමතිවරයා සිනහසෙමින් පැවසීය.

ඊට සිනහවෙන් පිළිතුරු දුන් විමල් වීරවංශ" ඒක තමයි මමත් මේ බැලුවේ. මට විතරක් ඇයි එහෙම කළේ. ඒක වෙනමම හොයලා බලන්න වෙන කාරණයක්" කීවේය.

 

රෝහිතට ඩගීගෙන් තල්ලුවක්

 

අමාත්‍ය මණ්ඩලයේ දෛනික කටයුතු අවසන්වීමෙන් පසුව රෝහිත අබේගුණවර්ධන ඇගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

"කැබිනට් තීරණ ගැන මුළු රට ම බලන් ඉන්නවා. ගිය සතියේ රට අඟුළු දැමීම ගැන කැබිනට් එකේදි කතා කළා. එතැනදි තීරණය වුණේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා විශේෂඥයන් සමඟ සාකච්ඡා කරලා ඊට පස්සේ තීන්දුවක් ගන්නයි. හැබැයි ඒ තීන්දු අරන් පැය 24 ක් යන්නත් කලින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ගරු ඇමතිවරු තිදෙනෙකුත් අත්සන් කරලා රට අඟුළු දාන්න කියලා ජනාධිපතිවරයාට ලිපියක් දුන්නා. මෙම ලිපිය ලිවීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ ලියුම ජනාධිපතිතුමා කියවලා සාකච්ඡා කරන්න කලින් මාධ්‍යයට නිකුත් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. එතකොට එළියේ අය හිතන්නේ අමාත්‍ය මණ්ඩල ඇතුළෙ ප්‍රශ්නයක් කියලයි. අමාත්‍ය මණ්ඩලයේ එකමුතු බව පෙන්වන්න ඕන වෙලාවක සාමූහික වගකීම චෙක් කරන්න කියලා ඉල්ලනවා. ඉදිරියේදී මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් දැඩි තීරණයක ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා අගමැතිතුමනි"

"ඔය කියන ලියවිල්ලට මම අත්සන් කළේ නැහැ. ඔය ලියවිල්ල මම දැක්කෙත් මාධ්‍යයෙන්. හැබැයි සාමූහික එකඟතාව රකින්න ඕනේ කියන තැන මමත් ඉන්නවා" ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.

"ඒක ඇත්ත. මමත් සම්පූර්ණයෙන් එකඟයි. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික එකඟතාවක් නෑ කියලා හිතෙනවා. එහෙම හිතලා අනිත් පාර්ශ්වයන් එක එක ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මාධ්‍යත් ඒ ගැන ප්‍රශ්න කරනවා." එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා ද කීය.

මේ අවස්ථාවේ එම ලිපියට අත්සන් තැබුවා කියන විමල් වීරවංශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවෙන් ඉවත් ව සිටියත් වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩල හමුව සමඟ එක්ව සිටියහ. නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ" ඔව් අපි ඉදිරියේදී මේ වගේ සිද්ධිවලදි මීට වැඩිය වගකීමෙන් කටයුතු කරමු" යනුවෙනි.

 

මංගලගේ අභාවයෙන් අගමැතිවරයා කම්පා වෙයි.

 

ඉකුත් සතියේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද කම්පා විය.

එම මරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන්නේ අතිරේක ලේකම්වරයෙකි. "මංගලගේ මරණය අපේ මිනිස්සුන්ට ආදර්ශයක්. සමහරු හිතනවා බලය තියෙනවා නම් මුදල් තියෙනවා නම් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා. කොවිඩ් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් පිළිපැදලා රෝගයෙන් වැළකෙන එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ." අග්‍රාමාත්‍යවරයා කනගාටුවෙන් පැවසීය.

මංගල සමරවීර හිටපු ඇමැතිවරයාගේ අභාවය ගැන උදෑසනම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පණිවුඩය ලැබුණේ කලින්. සියල්ලන්ටම මෙන් සජිත්ට ද ඒ පුවත දරා ගැනීමට නොහැකි විය. තමන් වෙනුවෙන් මංගල කළ කැපවීම් ඔහුට සිහිපත් විය.

සජිත්ගේ හිතේ ඇතිවූ දුක තුනී කරගැනීමට ඔහු තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක්ට කතා කළේය. "ජනාධිපතිවරණයට මම එනවා කියලා මුලින්ම හරින් බදුල්ලේ රැස්වීම තිව්වම දෙවැනි රැස්වීම මංගල මාතර තිබ්බා. ඊළඟ ජනාධිපතිතුමනි ආදරයෙන් පිළිගනිමු කියලා තමයි එදා මංගල පිළිගැනීමට කිව්වේ" සජිත් කීය.

 

මංගලගේ කැපවීම රනිල් අගයයි

 

අඟහරුවාදා පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට දැනගැනීමට ලැබුණේ කනගාටුදායක පුවතකි. ඉන් කියැවුණේ මංගල සමරවීර හිටපු ඇමතිවරයා මියගිය බවය. එම පුවතින් පසු නායකයා රුවන්ට, වජිරට හා රංගේ ට කතා කරමින් පැවැසුවේ අභාවය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අපෙන් ඉටු විය යුතු යුතුකම් කොටස ගැන සොයා බලන ලෙසය. බොරැල්ල කනත්තට ගොස් සිය පක්ෂ සගයාට අවසන් ගෞරව දැක්වීමට නායකයාට අවශ්‍ය වූවත් ආරක්ෂක අංශ හා පවුලේ ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත එම අදහස ඉවත් කර ගැනීමට ඔහුට සිදුවිණි.

සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් සමඟ කතා බහ කිරීමට නායකයා එක් වූවේ ඉකුත් සතියේ බදාදා ය. මුලින්ම මංගල සමරවීර හිටපු ඇමතිවරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් පිරිස විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළහ.

"මංගල සමරවීර කියන්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. මංගලට අවශ්‍ය වුණේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු කර ගත් පොදු බලවේගයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනඟන්නයි. අපි බොහෝ දේවල් කතා කළා. සැලසුම් කළා. ඔහුගේ අභාවය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම කණ්ඩායම්වලට වූ පාඩුවක්. ඇමරිකානු ආධාර ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් ඔහුගේ මිතුරියක වූ නිසා ලංකාවට මොඩර්නා හා ෆයිසර් එන්නත් ගෙන්වා ගන්න ඔහු කැපවුණා." නායකයා සාකච්ඡාව ආරම්භ කළේ මංගල ගැන දීර්ඝ විස්තරයක් ද කරමිනි.

"මංගල සමරවීර වැනි අයෙක් නැතිවීම එක්සත් ජාතික පක්ෂයට ලොකු පාඩුවක්. අපට යන්න බැරි ගොඩක් තැන්වලට එතුමා ගියා. නමුත් අපට මේ වෙනුවෙන් දැන් අලුත් සැලසුම් හදන්න වේවි. කොවිඩ් වසංගතය නිසා රටේ ජනතාව රටේ වෙන්නේ මොනවද කියලා සිතාගන්න බැරුව ඉන්නේ." රුවන් කීවේ දැඩි වේදනාවෙනි.

 

Comments