පුටු මාරු වූ ඇමැති වග­තුග | සිළුමිණ

පුටු මාරු වූ ඇමැති වග­තුග

සුගියදා හිටපු ඇමැතිවරු පස් දෙනෙකුගේ පුටු මාරු විය. එම කැබිනට් සංශෝධනයට ඇමැති දිනේෂ් ගුණවර්ධන, ජී ඇල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ එක් විය. එසේම තරුණ ඇමැතිවරයකු වු නාමල් රාජපක්ෂට මේ කැබිනට් සංශෝධනයේදී තවත් ඇමැති ධූරයක් එකතු විය. ඔවුන් සය දෙනාගේ වගතුග මෙසේය.

 අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන

 

දිගු දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියූ පරිණත දේශපාලඥයකු වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පසුගියදා නව අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වූ අතර ඔහු හිටපු විදේශ කටයුතු ඇමැතිවරයාද විය.

දිනේෂ් චන්ද්‍රා රූපසිංහ ගුණවර්ධන උපත ලැබුවේ 1949 මාර්තු 2 දාය. ‘බොරළුගොඩ සිංහයා’ නමින් විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන සහ කුසුමා අමරසිංහ ඔහුගේ මවුපිය දෙපොළය. ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. පාසලෙන් පසු ඔහු නෙදර්ලන්ත ව්‍යාපාර විද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත් අතර පසුව ඔරිගන් විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපාධිය ලබා ගත්තේය. ඇමැති දිනේෂ් විවාහ වූයේ රමණි වත්සලා කොතලාවල සමඟය. ඇය 1980 දශකයේ මැද භාගයේදී හදිස්සියේ මිය යාමත් සමඟ ඔහුගේ ජීවිතයට ශක්තියක් ගෙන දුන්නේ ඔහුගේ දරු දෙදෙනා යදමිණි හා සංඛපාලි ය.

1973 අගෝස්තු මාසයේදී ඔහු මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත් වන අතර 1977 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1983 අතුරු මැතිවරණයේදීය. 1989 කොළඹ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු ලෙසත්, 2000 කොළඹ දිස්ත්‍රික්කයේ පොදු පෙරමුණේ අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තරග වැදීය. අනතුරුව ප්‍රවාහන ඇමතිවරයා විය. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ වී පාර්ලිමේන්තුවට පැමිණෙන ඔහු නාගරික සංවර්ධන හා ජල සම්පාදන හා නියෝජ්‍ය ඇමැති ද, 2010 ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යවරයාද

වෙයි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු නැවත පාර්ලිමේන්තුවට තේරි පත්විය.

 

 සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

 

කෙහෙළිය රඹුක්වැල්ල වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා වන්නේය. ඊට ප්‍රථම ඔහු ජනමාධ්‍ය ඇමැතිවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකද විය.

මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ ඉපදී හැඩුණු වැඩුණු ඇමැති කෙහෙළිය ගුරුතලාව ශාන්ත තෝමස් හා ගල්කිස්ස ශාන්ත තෝමස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබීය. කුසුම් රඹුක්වැල්ල ඔහුගේ බිරිය වන අතර රමිත්, අමලි, චමිත්‍රි හා චන්දුලා යන පුතෙකුගේ හා දියණියන් තිදෙනකුගේ පියෙකි. 1979 දී "සක්විති සුවය" නම් සිංහල චිත්‍රපටය නිෂ්පාදනය කළේ කෙහෙළිය රඹුක්වැල්ලය. මේ නිසා ඔහු ලංකාවේ ළාබාලතම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්විය. 1993 වසරේදී ගාමිණී දිසානායක හරහා දේශපාලනයට පිවිසෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේ එක්සත් ජාතික පක්ෂය බෙදී ගිය පසු ඔහු ලලිත් ඇතුලත්මුදලිගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ විය. 2000 හා 2001 මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් 6 වතාවත් මනාප ලක්ෂය ඉත්මවා ගත් එකම දේශපාලන නියෝජිතයා වන්නේ ඇමැති කෙහෙළියය. පසුව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය වෙත මාරු විය.

2012 පෙබරවාරි මාසයේදී ඔහු අනතුරකට ලක් වන්නේ මෙල්බර්න් හිදීය. රඹුක්වැල්ල ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී ආරක්ෂක ප්‍රකාශකයා විය. ඔහු කිහිප වරක්ම ජනමාධ්‍ය ඇමැති තනතුරද, ආයෝජන ප්‍රවර්ධන, විදේශ රැකියා හා ප්‍රවර්ධන , ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරිම් හා විද්‍යා හා තාක්ෂණ ඇමැති තනතුරුද දැරුවේය.

විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී ඇල් පීරිස්

 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දුෂ්කර කාල පරිච්ඡේදයක අධ්‍යාපන ඇමැති වූයේ මහාචාර්ය ජී. ඇල් පීරිස්ය. ඔහුට එක් දියණියක් වෙයි. 1946 අගෝස්තු 13 වැනි දින උපත ලැබූ ජී. ඇල්. පීරිස්ගේ මවුපියන් වූයේ ග්ලැන්විල් පීරිස් හා ලක්‍ෂ්මී චන්ද්‍රිකා පීරිස්ය. පානදුර ශ්‍රී සුමංගල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව මුඩ්ලියර් එඩ්මන්ඩ් පීරිස් සම්මානයෙන් පිදුම් ලැබීය.

ඔහු නීතිවේදියකු, ගත් කතුවරයකු, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වේ.

දේශපාලනයට ඒමට පෙර නීතිය පිළිබඳ මහාචාර්ය, නීති පීඨයේ පීඨාධිපති හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති විය. ඔක්ස්ෆර්ඩ් සහ කොළඹ විශ්ව විද්‍යාල දෙකෙන්ම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ වයස අවුරුදු 28 දීය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රෝඩ්ස් විශාරදයකු විය.

ඇමැති ජී.ඇල් 1994 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ නියෝජ්‍ය මුදල් ඇමති විය. ඔහු අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ යුගයේ අවශ්‍යතාවන්ට සරිලන නව නීති 30 කට වැඩි ප්‍රමාණයක් ගෙන ආවේය. එසේම ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 77 ක සභාපති විය. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අයවැය පහක් ඉදිරිපත් කළේය.

2015 මැතිවරණයේදී ඔහු සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් තෝරා නොගත් හෙයින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන අහිමි විය. 2016 නොවැම්බර් 1 දින ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු,  ඩිජිටල් තාක්‍ෂණය සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය හා  සංවර්ධන අධීක්ෂණ ඇමැති  නාමල් රාජපක්ෂ

ඇමැති නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිටින තරුණ දේශපාලඥයකු වන අතර වෘත්තියෙන් නීතිඥවරයෙකි. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ උපන්නේ 1986 අප්‍රේල් 10 ය. හිටපු ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුතු වන නාමල්ට බාල යෝෂිත හා රෝහිත නමින් සහෝදරයන් දෙදෙනෙකි. 2019 දී ලිමිනි වීරසිංහ සමඟ විවාහ වූ අතර පුත් කේසර 2020 උපත ලැබීය.

ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ප්‍රථම එනම් 2005 වසරේදී ඔහු විසින් ආරම්භ කරන ලද තාරුණ්‍යයට හෙටක් සංවිධානය හරහා බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති , තරුණ සවිබල ගැන්වීම ඇතුළු වැඩ සටහන් රැසක් ක්‍රියාවට නැංවීය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාපය එකවර මැතිවරණ තුනකදී ලබාගන්නට තරුණ නාමල්ට හැකි විය. පාසල් අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත් අතර කුඩා අවධියේ සිටම ක්‍රීඩාව කෙරෙහි කැපී පෙනෙන දක්‍ෂතාවක් පෙන්නුම් කළේය. 2009 ලන්ඩනයේදී නීතිවේදී උපාධිය ලබා, පසුව ලංකාවේ නීති විදුහලින් සමත්ව නීතිඥයකු ලෙස සේවයට එක්විය. ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට තරග කළේ 2010 දීය. අනතුරුව 2015 දී සහ 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්විය .2019 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඔහු ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා වු අතර පසුව ඔහුගේ විෂය පථයට ඩිජිටල් තාක්‍ෂණය සහ ව්‍යවසාය සංවර්ධන කොටස එක්විය.

 

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම

 

වීණ ජනමාධ්‍යවේදියකු හා විදුලිබල කැබිනට් ඇමැති ධූරය දැරූ ඩලස් දහම් කුමාර අලහප්පෙරුම වර්තමාන ජනමාධ්‍ය ඇමැතිවරයාය. 1959 මැයි 14 වැනිදා දික්වැල්ල මාතර රඳම්පළ ගමේදී උපත ලද ඔහුගේ මවුපියන් වූයේ විදුහල්පතිවරුන් වන කැරොලිස් අලහප්පෙරුම හා ඇස්ලින් අලහප්පෙරුමය. සහෝදරියන් සහෝදරයන් පස් දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ දෙවැනියා ඩලස්ය. කොළඹ ආනන්ද හා ශාන්ත සර්වේසස් විදුහල්වලින් අධ්‍යාපනය ලද ඩලස් පසුව නීති විද්‍යාලයට ඇතුළත් විය.

ඉන්පසුව ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයෙන් හා රුමේනියාවේ බුකාරෙස්ට් ස්ටෙෆාන් ගෝර්ගියුම් අන්තර් ජාතික දේශපාලන ඇකඩමියේ අධ්‍යාපනය ලැබීය. ඔහු 1987 - 1992 දක්වා ලක්දිව පුවත්පතේද, 1992 - 1993 හිරු පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ වශයෙන්ද මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාස සමඟ විවාහ වී ඇති අතර මහීම ඉඳුවර හා කෞෂික නාලන්ද ආදරණීය දරුවන්ය.

1993 පළාත් සභා මැතිවරණයෙන් දකුණු පළාත් සභාවට තේරී පත් ඔහු එහි මහාමාර්ග, ප්‍රවෘත්ති හා සංස්කෘතික ඇමැති විය.

1994 මහ මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙමින් පාර්ලිමේන්තුවට පිවිසි ඇමැති ඩලස් සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය, සමෘද්ධි, උඩරට සංවර්ධන,ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූර හෙබවීය.

2005 දී හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ ඝාතනයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්විය. පසුව ප්‍රවාහන ,යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ධූරය හා 2019 වර්ෂයේ අධ්‍යාපන හා ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් ඇමැති ධූරය හෙඹවීය.

 

විදුලිබල ඇමැතිගාමිණි ලොකුගේ

 

ගාමිණී ලොකුගේ යනු වසර 37 ක දිගු ඉතිහාසයක් ඇති ප්‍රවීණ දේශපාලනඥයෙකි. ඔහු 1948 මැයි 08 දා පිළියන්දල මඩපාත කොටගෙදර ගමේ ව්‍යාපාරික පවුලක උපත ලැබීය. දොන් නිල්බත් ලොකුගේ හා කරුණාවතී පෙරේරා මව්පිය දෙපොළ වන අතර ඔහු නම දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියාය. ශ්‍රීමතී ගුණරත්න ඔහුගේ බිරිය වන අතර දයානි හා දර්ෂි දියණියන් දෙදෙනාය.

ඇමැති ලොකුගේ සිය උසස් අධ්‍යාපනය පිළියන්දල බටකැත්තර සුමනසාර විදුහලෙන්, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා කොළඹ ස්ටැෆර්ඩ් විදුහල්වලින් අවසන් කළේය. ඔහු 1960 දී එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට පිවිසි ඔහු 1983 දී කැස්බෑව ආසනය හරහා ප්‍රථම වරට ජාතික මැතිවරණයට තරග කළේය.

1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2006 දී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට එක්විය.

2007දී ඔහු ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යවරයාද, 2010 සහ 2015 දී ඔහු නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2019 දී ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති වූ අතර 2020 දී ඔහුව ප්‍රවාහන කැබිනට් ඇමති ලෙස පත් විය. මහජන ඡන්දයෙන් 1983 සිට මේ දක්වා නොකඩවාම කැස්බෑව අසුන ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි වූ එකම මහජන නියෝජිතයාද ඔහු වෙයි.

ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි

 

රත්නපුර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි පවිත්‍රා දේවී වන්නිආරච්චි වර්තමානයේ ප්‍රවාහන ඇමැතිවරියයි. එසේම කොවිඩ් වසංගතය ලංකාව ආක්‍රමණය කළ දා සිට මේ දක්වා සෞඛ්‍ය ඇමැතිනිය වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ ඇය අවසානයේ කොවිඩ් රෝගයටද ගොදුරු වූවාය.

1964 නොවැම්බර් 10 වැනිදා උපන් පවිත්‍රා නීතිඥවරියකි. ධර්මදාස වන්නිආරච්චි සහ පොඩි මැණිකේ වීරසේකර වන්නිආරච්චිගේ වැඩිමහල් දියණිය වූ ඇයට ප්‍රසන්නා දේවි වන්නිආරච්චි නම් එක් සහෝදරියක් වෙයි. සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කාන්චන ජයරත්න ඇගේ සැමියාය. සෙනුරි ප්‍රබුද්ධා හා නිනූ සංදීකා ඇයගේ ආදරණීය දියණියන් දෙදෙනාය. ඇය අධ්‍යාපනය ලැබූයේ පැල්මඩුල්ල මහින්ද, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා නුගේගොඩ අනුලා විද්‍යාලයෙනි. ඇය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, විවාද කණ්ඩායමේ නායිකාව, බෞද්ධ සංගමයේ සභාපති ඇතුළු කණ්ඩායම් රැසක නායිකාව ද වූවාය. 1985 නීති විද්‍යාලයට ඇතුළත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නාය. 1990 දී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන් ඇය දේශපාලනයට පිවිසි ඇය 1994 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියා ය. සෞඛ්‍ය, මහාමාර්ග, සමාජ සේවා සහ සුභසාධන නියෝජ්‍ය ඇමැති සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති, සමෘද්ධි සහ දරිද්‍රතාව පිටුදැකීමේ, යෞවන කටයුතු, සංස්කෘතික හා ජාතික උරුමයන් හා තාක්ෂණ, පරමාණුක පර්යේෂණ ඇමැති තනතුරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් හා කාන්තා අංශයේ නායිකාව, සැලසුම් හා ක්‍රියාත්මක කිරීමේ ඇමැති මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ ඇමැතිවරුන්ගේ සම්මේලනයේ සභාපතිනිය ඇතුළු තනතුරු ගණනාවක් ඉසිලීය.

Comments