ගම්මන්පිල වෙනුවෙන් බැසිල් කළ මෙහෙයුම | සිළුමිණ

ගම්මන්පිල වෙනුවෙන් බැසිල් කළ මෙහෙයුම

ණ්ඩු පක්ෂයට යළිත් වරක් තමන්ට පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතර බලයක් ලැබෙන බව පෙන්වීමට ලැබුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය කිරීමත් සමඟය.

මෙය ආණ්ඩුවේ තිබුණු යම් බෙදුම් රේඛාවක් ඉවත් කිරීම සඳහා උපයෝගී වූ විශ්වාසභංග යෝජනාවක් මෙන් ම ආණ්ඩුව තවත් ශක්තිමත් කිරීම සඳහා උපකාරී වූ විශ්වාසභංග යෝජනාවක් වශයෙන් ද ආණ්ඩු පක්ෂය හඳුන්වයි.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන ලද සමගි ජනබලවේගය ප්‍රකාශ කෙරෙනුයේ විශ්වාසභංග යෝජනාව තුළින් ආණ්ඩුව ගැන අප්‍රසාදය ජනතාව අතරට ගෙන යාමට හැකිවූ බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සමගි ජනබලවේගය කටයුතු කළේ මෙම විශ්වාසභංග යෝජනාවේ විවාදය අතරතුරය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගෙන් තිබුණේ දැඩි උනන්දුවකි. 19 වැනි දින උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කෙරුණු අතර එය 20 වැනි දින පුරා ද පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මහින්ද යාපා අබේගුණවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර, දවසේ 'කථානායක' උදය ගම්මන්පිල ද එදින කල්වේලා ඇතිවම පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

උදය ගම්මන්පිල සමඟ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී කතාබස් කරමින් සිටින අතරතුර උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ තමා වෙනුවෙන් කතා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයින් රැසක් විශාල උනන්දුවක් දක්වන බවයි.

“විශ්වාසභංග යෝජනාවේදී මං වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයෙන් 89 දෙනෙක් අවස්ථාව ඉල්ලා තිබුණා. නමුත් ඒක ප්‍රායෝගික ඉතාම අමාරු වැඩක්. ඒක නිසා සීමිත පිරිසකට තමයි කතා කරන්න කාලය අනුව හැකි වුණේ.“ යනුවෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේය.

රනිල්ගේ සංශෝධනය ඉවතට

පාර්ලිමේන්තුවේ එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශ්වාසභංග යෝජනාවට ඉදිරිපත් කරන ලද සංශෝධන ප්‍රතික්ෂේප කරන ලදී. වර්තමාන ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව සමස්ත අමාත්‍ය මණ්ඩලයටම ගෙනා යුතු බවට රනිල් වික්‍රමසිංහ විසින් මෙම විශ්වාසභංග යෝජනාවට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කොට තිබිණි.

නමුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම සංශෝධනය පිළිගත නොහැකි බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන ප්‍රකාශ කළ ද රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගේ එම තීරණය පිළිබඳ සෑහීමට පත් වූ බවක් නොපෙනුණි. 20 වැනි දින විශ්වාසභංග යෝජනාව විවාදය ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි.

“මෙම යෝජනාව ගම්මන්පිල ඇමතිතුමාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවක් නොවේ.

මෙය දේශපාලන යෝජනාවක් වශයෙන් හැඳින්වූවොත් එය වරදක් නෙවෙයි. මේ විශ්වාසභංග යෝජනාවෙන් ගම්මන්පිල අමාත්‍යවරයා වැරැද්දක් කරලා කියලා පෙන්නුම් කරන්නේ නැහැ. ආණ්ඩුව දේශපාලන අර්බුදයකට ලක්වෙලා කියලා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ඉදිරිපත් කිරීමට විපක්ෂය උත්සාහ කළත් යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන බංකොලොත්භාවයයි.“ යනුවෙන් දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය.

මිල සූත්‍රය මෛත්‍රීට මතක් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙහිදී අදහස් දැක්වීය.

“මේ විශ්වාසභංග යෝජනාව අසාර්ථකයි. අපි උදය ගම්මන්පිල වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනවා.“ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

“කිසිම ආණ්ඩුවකට තෙල් මිල අඩු කරන්න හැකිවෙලා නැහැ. හැමදාමත් කරන්නේ තෙල් මිල වැඩි කරන එකයි. ඒක නිසා තෙල් මිල වැඩිකිරීම ගැන විශ්වාසභංග යෝජනා ගෙන ඒම තේරුමක් නැහැ.“ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ය.

කමිටු ශාලාවක පැවති රැස්වීමක් අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණියේය. ඒ අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයට සහභාගී වෙමින් සිටියේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂය.

සන්ධාන ආණ්ඩුවක් කටයුතු කිරීමේ දී කුඩා පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරගෙන යාමේ වැදගත්කම නාමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී. සන්ධාන ආණ්ඩුවක් ඇතුළේ යම් යම් මතවාද තිබුණත් ඒවා කළමනාකරණය කරගත යුතුයි. එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය සහ අනෙකුත් පක්ෂවල යම් යම් මතවාද මතු වෙන්න පුළුවන්. එතකොට ජනතාවගේ ප්‍රධාන අභිලාෂයන් ගැන සිතා අප කටයුතු කළ යුතුයි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කතාව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නරඹමින් සිටි අතර එයට කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු කිහිප දෙනෙක් ද එක්වූහ. “නාමල් ඇමතිතුමා හරි අපූරුවට සන්ධාන ආණ්ඩුවල ඉතිහාසය ඉදිරිපත් කරනවා සර්“ යනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ කතාව හිස නමා අග්‍රාමාත්‍යවරයා අනුමත කළේය.

“දේශපාලනයේ තියෙන්නම ඕනෑ දෙයක් තමයි සියලු දෙනාට ඇහුම්කන් දීම“ යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී සමගි ජනබලවේගයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව චෝදනා එල්ල කරන අතරතුර තවත් පුද්ගලයකුට ද චෝදනා කිරීමට කටයුතු කර තිබිණි. ඔවුන්ගේ චෝදනාවට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

තමන්ට වුවමනාවක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහට තනිවම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් කරුණාකර සමගි ජනබලවේගයේ කකුලෙන් ඇදීමට කටයුතු නොකරන ලෙසත් සමගි ජන බලවේගඅයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලදී.

විමල්ගේ ‘එනර්ජි’ කතාව

මෙය වසංගතය වෙලාවේ තුට්ටු දෙකේ දේශපාලන වාසි ලබා ගන්නා විපක්ෂයට අනිච්චාවත සංඛාරා යනුවෙන් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විවාදයට එක්වෙමින් කියා සිටියේය.

කොරෝනා ලෝක වසංගතය හමුවේ රට මේ ආකාරයෙන් හෝ කළමණාකරණය කරගෙන යෑමට කටයුතු කිරීම ගැන සතුටු විය යුතු බවත්, විපක්ෂයේ කට්ටිය අද බලයේ සිටියේ නම් රට සෙත්ත පෝච්චි වන බවත් විමල් වීරවංශ ප්‍රකාශ කළේය. උදය ගම්මන්පිල විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක් වූයේ සවස 4.55 ට පමණය.

ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන විට උදේ ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජය වී තිබුණි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් මේසවලට තට්ටු කරමින් ප්‍රීති ඝෝෂා කළ අතර පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම කීවේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ මෙහෙයුම අති සාර්ථක වූ බවයි.

විශ්වාසභංග යෝජනාවේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව බැසිල් ගොස් ගම්මන්පිලට සුබ පැතුම් එක් කළ අතර බැසිල් එහිදී කීවේ 3/2 බහුතර බලයකින් ම මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට හැකි වූ බවයි.

ඒ සමඟ විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද පැමිණ ගම්මන්පිලට සුබ පැතූහ.

උදයට පක්ෂව - ආණ්ඩුවේ එකතුව

අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි සමගි ජන බලවේගයේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම 19 වන සඳුදාට යෙදී තිබිණි. මෙම විශ්වාසභංගයට සමගි ජන බලවේගය හා එක්ව ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් අනෙකුත් දෙමළ මුස්ලිම් කුඩා කුඩා පක්ෂත් එක්ව ඡන්දය පළ කරන බව කල්තියාම පැහැදිලි විය. එහෙත් විපක්ෂයට ප්‍රශ්නය වූයේ සාගර කාරියවසම් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම යෝජනාවට සම්බන්ධයෙන් ගනු ලබන පියවරයි.

බොහෝවිට යම් විප්ලවීය පියවරක් ගනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කළේය. විපක්ෂය ඒ සඳහා උත්සාහ කළේය.

ඒ අතර ආණ්ඩුව ඇතුළේ ද මේ ගැන ලොකු අභ්‍යන්තර කතිකාවක් ඇතිවිය. තෙල් මිල වැඩි කිරීම උදයගේ පුද්ගලික තීන්දුවක් නොව, සාමුහික වෑයමක ප්‍රතිඵලයක් බව ජනාධිපති කාර්යාලය පවා ප්‍රකාශයක් නිකුත් කර මීට පෙර පෙන්වා දී තිබිණි.

කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතිඅන්තයේ පවත්වනු ලැබීය.

ජනාධිපතිවරයා මේ සඳහා මන්ත්‍රීවරුන්ට ආරාධනය කර තිබුණේ ඉරිදා රාත්‍රියේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වන්නට සූදානම්ව 6.00 වන විට ජනාධිපති මන්දිරයට පැමිණ සිටින ලෙසයි.

පැමිණෙන සෑම මන්ත්‍රීවරයෙක් ම ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් ඉතා සාදරයෙන් පිළිගනු ලැබූහ. මුලින්ම ඔවුන්ව කැඳවාගෙන ගියේ විශේෂ තේපැන් සංග්‍රහය වෙතය. ඉන්පසුව රැස්වීම් ශාලාවට යන සෑම මන්ත්‍රීවරයකුටම එක්තරා ලිපිගොනුවක් ලබා දෙනු ලැබීය.

ලිපි ගොනුව තුළ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන කරුණු පැහැදිලි කරන ලිපියක් ද විය. එන්නත්කරණය පිළිබඳ තත්ත්ව වාර්තාවක්ද ලිපිගොනුවට ඇතුළත් විය. ඊට පසු දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංගය වෙනුවෙන් සැකසුණු විශේෂ පැහැදිලි කිරීමක් සහිත ඉන්ධන මිල සංශෝධනයේ ඇත්ත කතාව නම් වූ පොත් පිංචක් ද මේ අතර විය. උදය ගම්මන්පිල විසින් එම පොත් පිංච සම්පාදනය කර තිබිණි.

ජනාධිපති, අගමැති හා මුදල් ඇමති පැමිණෙන විට හවස 6. 45 පමණ වී තිබිණි. ඉන්පසුව රැස්වීමේ වැඩ කටයුතු ආරම්භ විය. මුලින්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අරමුණ පැහැදිලි කළේය. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඇමතිවරයාට ගෙන ආ විශ්වාසභංගය අපි සලකන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයක් විදියට. විශ්වාසභංගය 19 - 20 දෙදින තුළ විවාදයට ගැනෙනවා. විපක්ෂය මේක ගෙනාවේ අපේ කණ්ඩායම ඇතුළේ අසමගියක් වර්ධනය කරන්නට වුණත් මේ වෙච්ච දෙයින් සිද්ධ වුණේ ආණ්ඩු පක්ෂය ඇතුළේ තවතවත් සම්බන්ධතා වර්ධනය වුණ එක විතරයි.' ඉන්පසුව උදය ගම්මන්පිල විසින් ඉන්ධන මිල වැඩි කිරීමේ ඇත්ත කතාව ගැන සියලුම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළේය.

බැසිල්ට ප්‍රීතී ඝෝෂා

අනතුරුව කකා කරන්නට පටන් ගත්තේ ඩග්ලස් දේවානන්ද ය. එහෙත් ඔහුට පෙර දිනේෂ් ගුණවර්ධන විශේෂ කාරණයක් මතක් කර සිටියේය.

'මට ඉස්සෙල්ලා අමතක වුණා. අද තමයි අපේ අලුත් මුදල් ඇමතිතුමා ආණ්ඩුවේ රාජකාරියකට සහභාගී වන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආ මුල්ම දවස. අපි එතුමාට සුබපතලා ම උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කරමු...'

දිනේෂ්ට කතාව අවසන් කරන්නට ලැබුණේ නැත. සභාවෙන් සුවිසල් ප්‍රීති ඝෝෂාවක් නැගෙන්නට විණි. ටික වේලාවකට පසු යළිත් ඩග්ලස් කතා කරමින් ධීවර ජනතාවට සහන සලසන ආකාරය ගැන විස්තරයක් කළේය.

බන්දුල ගුණවර්ධන නැවතත් කතාබහ ඉන්ධන මිල වැඩි වීම පැත්තට ගෙන ආවේය... මට මතකයි... ඉන්ධන මිල වැඩි කරපු එක ඒ වෙලාවේ නොකර බැරි වැඩක්. ඒක ආණ්ඩුව ගත්ත තීන්දුවක්. තීන්දුව ගන්න වෙලාවේ විෂයභාර ඇමතිතුමා, ජනාධිපතිතුමා අගමැතිතුමා මම, ඩලස් ඇමතිතුමා නාමල් ඇමැතිතුමා ආදී ඔක්කොම අය ඉඳගෙන ඒ ගැන සාකච්ඡා කරා. මේ වෙලාවේ සහනයක් දෙන්න තිබුණා නම් කිසිලෙසකත් අපි නොදී ඉන්න නෑ. හැබැයි ඒ වෙලාවෙ අපට වෙන විකල්පයක් නෑ...Ó බන්දුල ඒ ගැන විශේෂ විග්‍රහයක් කරමින් ඉතා පැහැදිලිව එසේ කීවේය. මං මේ වෙලාවේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. උදය ගම්මන්පිල මැතිතුමා වෙනුවෙන් කතා කරන්න හුඟක් අය වෙලාවේ ඉල්ලනවා... අපිට විවාදයට දවස් දෙකයි තියන්නේ...ජොන්ස්ටන් කීවේය. මට විනාඩි හතලිස් පහක් වෙන්වෙලා තියෙනවා. ඒකෙන් විනාඩි දහයක් අරගෙන වෙන කාට හරි දෙන්න...ගම්මන්පිල කීවේය. අපි මේ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දෙ දෙන්න තීරණය කරා රජයක් විදිහට. හැමෝම හෙට ඇවිත් ඡන්දෙ දෙන්න...අගමැතිතුමා යෝජනා කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ශිෂ්‍ය පරපුර ගැන ජනාධිපතිවරයා ද මෙහිදී විස්තර කිරීමක් කරනු ලැබීය.

මේ අතර බොහෝ දෙනෙක් බලා සිටියේ බැසිල් රාජපක්ෂ කතා කරනතුරුය. ඒ අනුව බැසිල් ආර්ථිකය දැන් මුහුණ දී තිබෙන අර්බුදයේ තත්ත්වය ගැන පැහැදිලි කරමින් විශේෂ කතාවක් කළේය...

ආර්ථිකය ලොකු ඩොලර් අර්බුදයකට මුහුණ දෙනවා කියලා කතාවක් යනවා. මීට පෙර යුද්ධය දවස්වලත් අපි මේ වගේ වගේම අර්බුදයකට මුහුණ දුන්නා. ඒත් ඒවත් අපිට නිසි පරිදි කළමනාකරණය කර ගන්න හැකි වුණා. මෙතන අර්බුදයක් නෑ. හැබැයි ඩොලර් කුමන්ත්‍රණයක් තියෙනවා. මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකුයි පෞද්ගලික බැංකුවක නිලධාරියෙකුයි මේ කුමන්ත්‍රණයට සම්බන්ධයි. අපි දැන් මේවා ඔක්කොම හොයාගෙන තියෙන්නේ. මෙතන වැඩිපුරම තියෙන්නෙ මවාපෑමක්.

රටට ආදායම් ලැබෙන සුරාබදු, ආදායම් බදු හා රේගු බදු පසුගිය කාලයේ අවම වීම නිසා රට මූල්‍ය හිඟයකට මුහුණ පා ඇති ආකාරය ගැන පැහැදිලි කළ මුදල් ඇමතිවරයා එම තත්ත්වයෙන් ගොඩ එන එන ආකාරය ගැන ද ගැනද කෙටි පැහැදිලි කිරීමක් කළේය.

ලෝකයේ හොඳම එන්නත් ලැබෙන බව ජනපති කියයි

පසුගිය සති අන්තයේ ජාතික බෞද්ධ උපදේශක සභාවේ තවත් එක් විශේෂ රැස්වීමක් පැවැත්විණි. මේ සඳහා මල්වතු පාර්ශ්වයේ, අස්ගිරි පාර්ශවයේ, කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ වෙනදා පැමිණෙන සියලුම නායක ස්වාමීන් වහන්සේලා වැඩම කර වදාළ ව සිටියහ.

ජනාධිපතිවරයාගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම හවස 3 15ට ආරම්භ කෙරුණු අතර මුලින්ම අවධානය යොමු වී තිබුණේ මේ රටේ කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා රජයේ ගනු ලැබූ විශේෂ වැඩපිළිවෙල උන්වහන්සේට පැහැදිලි කර දීම වෙනුවෙනි...

'කොවිඩ් මර්දනය කරන්න අපි ආරම්භ කරපු වැඩ පිළිවෙල ඉතාම සාර්ථකයි අපෙ හාමුදුරුවනේ... විශේෂයෙන්ම එන්නත්කරණය සම්බන්ධයෙන් අද අපි ලෝකෙ හොඳම තැනක ඉන්නවා.' ජනාධිපතිවරයා එසේ කියමින් එම වැඩපිළිවෙළ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සඳහා රාජ්‍ය බුද්ධි අංශ නායකයාට අවස්ථාව ලබා දුන්නේය.

'කෝවිඩ්වලින් ජනතාව බේරගන්න නම් ඉතාම හොඳම විසඳුම තමයි අපේ හැම කෙනෙක්ම එන්නත් කිරීම. මේ වන කොට අපි ලෝකෙ තියෙන හොඳම එන්නත් ලංකාවට ගෙන්නලා තියෙනවා.

මේ වෙනකොට ඒක ලෝක වාර්තාවක් වෙලා. ඒ කියන්නේ මේ වෙනකොට ලෝකේ ඉතාමත්ම වේගවත්ව එන්නත් විදින රට තමයි අපි. මේ විදිහට ගියොත් අගෝස්තු මාසය අවසන් වන විට අපිට මුළු ලංකාවටම එන්නත් විදලා ඉවර කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ'

සජිත්ගේ විරෝධය. 

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කළේ උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව කෙරෙහිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සතිය ආරම්භයේදීම පැවති විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව ගැන අදහස් මතු කළේය.

විපක්ෂයේ සියලුම පක්ෂ එක් කරමින් සාර්ථකව මෙයට මුහුණදීම සඳහා කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළේය. ඒ අතරම මේ ගැන ජනතාවගේ අවධානය යොමු කිරීම සදහා විරෝධතාවයක් පැවැත්වීම ගැනත් සාකච්ඡා කළේය.

ඒ අනුව සඳුදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් සංවිධානය කළේය. නිරෝධායන නීතිවලට අනුව මීටරයක දුර තබාගෙන විරෝධතාව සංවිධානය කළේය.

පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතාකරුවන් විරෝධතා පුවරු තබාගෙන සිටි අතර සජිත් පාර්ලිමේන්තු පිවිසුමේදී විරෝධයට එක්වීමට නියමිතව තිබුණි. ඒ අනුව වාහනය පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණෙමින් තිබෙන අතරවාරයේදී, පාර්ලිමේන්තු වට රවුම අසලදී වාහනය නතර කරන ලෙස දැනුම් දුන්නේය. ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැද සජිත් වටරවුම අසලදී වාහනයෙන් බැස විරෝධයට එක්විය.

Comments