සජිත්ගේ ප්‍රබ­ල­යෙක් සිරි­කො­තට රිංගලා | Page 6 | සිළුමිණ

සජිත්ගේ ප්‍රබ­ල­යෙක් සිරි­කො­තට රිංගලා

ජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් පසුගිය දා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලාස්ථානය වන සිරිකොතට ගොස් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හමුවී රහසිගතව සාකච්ඡාවන් පැවැත්වීම කෙරෙහි දේශාපලන ක්ෂේත්‍රයේ ප්‍රබලව කතාබහට ලක් කෙරෙමින් පවතී. රනිල්, සජිත් එකතු කිරීම සඳහා තමා මැදිහත් වන බව පලනි දිගම්බරම් තම හිතවතුන් කිහිපදෙනෙකුටම ප්‍රකාශ කර තිබුණි.

 

මේ අතර බදාදා සවස පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාරගේ දුරකතනයට විශේෂිත පුද්ගලයෙකුගෙන් ඇමතුමක් ලැබුණු අතර ඔහුට ඉක්මනින් මහලේකම් හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය. ඒ අනුව එම හමුව නායකයාගේ ද අනුදැනුම මත සංවිධානය විය.

සිරිකොත සියලු දෙනා මවිතයට පත් කරමින් පැමිණියේ ජාතික වතු කම්කරු පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන්ය. මහලේකම් රංගේ බණ්ඩාර හා පලනි දිගම්බරන් අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැති අතර ඔවුන් දෙදෙනා අතර වූ කතා බහ ගැන මහලේකම් විසින් නායකයාව ද දැනුම්වත් කළේය.

පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති හමුවෙති

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාසයකට වරක් රැස්වීමට තීරණය කළේ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමටය.

"අපිට අපේ ප්‍රශ්න ජනාධිපතිතුමා එක්ක කතා කරන්න අවස්ථාවක් නෑ... ඒකට වෙලාවක් ලැබෙන්නේ නෑ..."

ඒ අද බොහෝ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මුවින් නිතර නැගෙන චෝදනාවක් විය.

පසුගිය සතියේ ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්නට කල්පනා කළේය.

සියලු දෙනා තම තමන්ගේ ප්‍රශ්න කතා බහ කළ හැකිවන සේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුනට බෙදා දින තුනකදී හමුවන්නට ජනාධිපති තීරණය කළේ ඒ අනුවය.

පසුගිය අඟහරුවාදා හවස මේ පළමු කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියහ. තිස්ස විතාරණ, චන්දිම වීරක්කොඩි, ජගත් පුෂ්පකුමාර, උදයකාන්ත ගුණතිලක, සුමිත් උඩුකුඹුර, ප්‍රේමනාත් සී. දොලවත්ත, අජිත් රාජපක්ෂ, සාගර කාරියවසම්, නිමල් ප්‍රියන්ත, මිලාන් ජයතිලක, අනුප පැස්කුවල්, කරුණා කොඩිතුවක්කු ඇතුළු මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණ මෙම හමුවට පැමිණ සිටියහ.

මෙම හමුවට අත්‍යවශ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්ට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හා සෞඛ්‍ය බලධාරීන්ට ද ආරාධනා කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන්ම පී. බී. ජයසුන්දරද පැමිණ සිටියේය.

හවස 4:30 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම හමුවට පැමිණියේය. මුලින්ම ඔහු කතාව ආරම්භ කළේ කොවිඩ් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන ව්‍යාපෘතියේ සාර්ථකත්වය කොතෙක් ද යන්න විස්තර කරමිනි.

බොහෝ දුෂ්කර ආරම්භයකින් පටන් ගත් මෙම ව්‍යාපෘතිය දැන් වන විට එන්නත් කිරීම හා දැනුම්වත් කිරීම හරහා සාර්ථක අවසානයක් දකිමින් සිටින්නේ කවර අන්දමේ දුෂ්කරතා මධ්‍යයේ දැයි කියා ජනාධිපතිවරයා මෙහිදී හොඳින් පැහැදිලි කළේය.

"ඉස්සර එන්නත් අපට තිබුණෙ නෑ. දැන් අපිට අවශ්‍ය තරම් එන්නත් ලැබෙනවා. ඉතාමත්ම සැලසුම් සහගතව අපි එන්නත් රට පුරා බෙදා හරිනවා. එන්නත් ලබා ගන්න ලොකු තරගයක් තිබුණා. බස්නාහිර පළාතේ දැන් ඒ තරඟය ඉවරයි. මේ මාසේ අන්තිම වෙනකොට අපි බස්නාහිර පළාත ඉවර කරනවා. කොහොමද දැන් ඔයගොල්ලන්ගේ පළාත්වල තියෙන අඩුපාඩු..." මන්ත්‍රීවරු තම තමන්ගේ පළාත් වල එන්නත්කරණය සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නට වූහ.

"ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත්ත අයට ෆයිසර් එන්නත දෙන්න පටන් අරන් පළමු දවසෙම නතර කළේ ඇයි...?"

"ඇස්ට්‍රාසෙනිකා දුන්න අයට දෙවැනි එන්නත ලෙස ෆයිසර් දුන්නොත් හොඳයි කියලා නිර්දේශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඒක නිසා අපි ඒක පටන් ගත්තා. ඒත් එක්කම අපට ආරංචි වුණා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන් 1.5ක් පමණ අපට ලැබෙනවා කියලා. ඉතින් ඒ දෙක මේ මාසේ 19 වැනිදා ලංකාවට එනවා. බස්නාහිර පළාතට ඉන් ලක්ෂ පහක් විතර අරගෙන ඉතුරු ටික මන්නාරම පැත්තට යවනවා. කොහොම වෙතත් අගෝස්තු මාසය අග වනවිට රට පුරාම වයස අවුරුදු 30 ඉක්මවූ අයට එන්නත ලබා දීලා ඉවර කරන්නයි අපේ ඉලක්කය" ජනාධිපතිවරයා විස්තර කළේය.

"ඇයි ඒව මන්නාරම පුත්තලම උතුර වගේ පළාත් වලට යවන්න තීරණය කළේ...."

"ඒක ලෝකෙම පිළිගත්ත හොඳ එන්නතක්. අවදානම වැඩිම අයට දෙන්න නිර්දේශකරලායි තියෙන්නේ. ඉන්දියාවෙන් බෝට්ටුවලින් පුත්තලම, මන්නාරම ප්‍රදේශවලට මිනිස්සු එනවා. හොර බඩු ගේනවා. ලෙඩ රෝග ගේනවා. ඒ වගේ ඉන්දියාවෙන් වැඩි අවධානමක් එල්ල වන ප්‍රදේශවල ජනතාවට ෆයිසර් දෙන එක වඩාත් ඵලදායි කියලා සෞඛ්‍ය අංශ නිර්දේශ කළා..."

එන්නත ගෙන එන ප්‍රමාණයන් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ලොකු විස්තරයක් කළේය.

"මිනිසුන්ගේ මුල් දවස් වල තිබුණා මේ ලෙඩ රෝග ගැන බයක්... අත් හෝදගෙන මුඛ ආවරණ දාගෙන පරිස්සම් වුණා. ඒත් දැන් දැන් අවධානය අඩු වෙලා..." තිස්ස විතාරණ කීවේය.

"ඔව් අපට ඒ ගැන හොයා බලන්න වෙනවා... ඒක නිසා තමයි අපි එන්නත කෙරෙහි වැඩි වැඩි විශ්වාසය තියාගන්නේ"

"ඒ වගේම තමයි ජනාධිපතිතුමා මේ ටුවරිසම්වල නිරත වෙලා ඉන්න අයට ප්‍රමුඛත්වයක් දීලා එන්නත විදින්න ඕන... අපේ පැත්තෙ වයස අවුරුදු තිහට අඩු කට්ටියත් මේ ව්‍යාපාරවල ඉන්නවා. ඒ අයටත් දුන්න නම් තමයි හොඳ..". චන්දිම වීරක්කොඩි කීවේය.

"ටුවරිසම්වල ඉන්න අයට ‘‘ෆයිසර් එන්නත‘‘ දෙන්න... චන්දිම වීරක්කොඩි තවත් ඉල්ලීමක් කරද්දි ජනාධිපතිවරයා ඊට එකඟ වූයේ නැත... සෞඛ්‍ය අමාත්‍යාංශය බෙහෙත් බෙදලා දෙන්නේ පිළිවෙළකට අනුව. අපි ඒ අනුපිළිවෙළ කඩලා බෙහෙත් තීරණය කරන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි..."

ඉන්පසුව මාතෘකාව මඳක් වෙනස් විය. ජනාධිපතිතුමා පැහැදිලි කළේ කාබනික වගාව ප්‍රචලිත කළ යුත්තේ ඇයි ද යන කාරණාව ගැන ය. කාබනික පොහොර භාවිතාව ගැන ලොකු පැහැදිලි කිරීමක් මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරනු ලැබීය.

නයිට්‍රජන්වලට ජනපතිගෙන් විසඳුම්

"ඉස්සර වගේ කාබනික පොහොර ටොන් ගණන් ඉඩම්වලට දාන්න ඕනේ නෑ. තාක්ෂණය දියුණුයි. නයිට්‍රජන් වගේ සංයුතීන් පොහොරවල වැඩිකරන ජෛව පොහොර වර්ග අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ගැන මුලින්ම ජනතාව දැනුම්වත් කිරීම තමයි වැදගත්... දැනුම්වත් කිරීම සම්බන්ධයෙනුත් අපි දැන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක වේවි" කෘෂිකර්ම ලේකම්වරයා කීවේය.

"නයිට්‍රජන්වල අඩුවක් තියෙනවා නං ඒව ගෙන්නන්න.." ජනාධිපති කීවේය.

"ඊශ්‍රායලය, නෙදර්ලන්තය වගේ රටවල් නැනෝ තාක්ෂණය භාවිතා කර ගෙන බෝග වවලා සාර්ථක අස්වනු ලබනවා. තිස්ස විතාරණ ඇමතිතුමාලා, අපි වරක් ගිහිල්ලා ඒව නිරීක්ෂණය කළා. ගස්වල කොළවලට වඩා ගෙඩි. අපිට පුළුවන් ඒ තාක්ෂණය පාවිච්චි කරන්න." චන්දිම වීරක්කොඩි කීවේය. ජගත් පුෂ්පකුමාරද එම වැඩපිළිවෙළ අගය කරමින් කතා කළේය.

ඉන්පසුව කතාබහ කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමිය පැත්තට යොමුවිය.

"මේ පනත ගේන්නයි තිබුණේ. අපරාදේ කල් දැම්මේ...." මන්ත්‍රීවරු කීහ...

"කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි කියලා මේක ජේ. ආර්. තමයි පටන් ගත්තෙ 1982. මුලින්ම කළේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය කෙඩෙට් නිලධාරීන් පුහුණු කරන එක. ඊට පස්සේ මහින්ද මහත්තයා තමයි 2007 දී මේකට විශ්වවිද්‍යාල තත්වයක් දුන්නෙ. මම ආරක්ෂක ලේකම් කාලේ මුලින්ම මේක ඇතුළේ වෛද්‍ය පීඨයක් පටන් ගත්තා. වෛද්‍ය සභාවම, මහාචාර්ය කාලෝ ෆොන්සේකාලා එහෙම විරුද්ධයි. අන්තිමේ යුද්ධ කාලයේදී අපට අවශ්‍ය වෛද්‍යවරු වගේ ඉහළ වෘත්තිකයින් හමුදාව ඇතුළේ පුහුණු කරන එකට අනුමැතිය ලැබුණා. ඊට පස්සේ අපි පළමු කණ්ඩායම ගත්තා. විභාග පැවැත්තුවේ රුහුණු විශ්වවිද්‍යාලය. ඒ අවුරුද්දේ වෛද්‍ය විභාගෙන් එක දෙක තුන ස්ථාන තුනම ගත්තෙ මෙතන ශිෂ්‍යයෝ.

දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා මහාචාර්ය කපිල සී. පෙරේරා මේක ඇතුළෙන් බිහිවෙච්ච ශිෂ්‍යයෙක්. මෙතුමා එතනින් ඇවිල්ලා මොරටුව විශ්වවිද්‍යාල උපකුලපති වෙලා තමයි අධ්‍යාපන ලේකම් වෙලා ඉන්නේ. තව කොච්චර උගත්තු ඉන්නවද... මෙන්න මේවා ගැන තොරතුරු තමයි මිනිස්සු අතරට යවන්න ඕන."

"ඒකනම් ඇත්ත සර්... අපි පාලම් හදනවා, බෝක්කු හදනවා, සංවර්ධන වැඩ කරනවා. නමුත් ඒ කිසි දෙයක් මිනිස්සු දන්නේ නෑ... අපි මේවා ගැන ප්‍රචාරය කරන එකේ ලොකු අඩුවක් තියෙනවා. ආරංචි මිනිස්සු අතරට යවලා මිනිසුන්ගේ ඔළු හදන්න ඕන. ඒකට වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඉස්සර යුද්දෙ කරන කාලේ අපි ගෙදරින් ගෙදරට ගිහිල්ලා මිනිස්සුන්ගේ මොරාල් එක හදපු හින්දා තමයි අම්මලා තාත්තලා දරුවන්ව හමුදාවට බැන්දුවේ. ඒ කාලේ මම මොණරාගල නොගියපු හමුදා මළ ගෙයක් නෑ . බුත්තල බස් බෝම්බෙන් මිය ගිය හැම ගෙදරටම මම ගියා. ඒ ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරලා මිනිස්සුත් එක්ක ගැවසිලා තමයි මොරාල් හැදුවේ. දැන් අඩුම ගානේ මේවා පිළිබඳ තොරතුරුවත් මිනිස්සු අතරට යන්නෙ නෑ..." ජගත් පුෂ්පකුමාර අඩුපාඩු රැසක් පෙන්වා දෙමින් කීවේය.

ස්ටාලින්ට සරම් - යාපන නගරාධිපතිගෙන්

මේ අතර සුරේන් රාඝවන් මහතා ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කරමින් කතා කළේය...

"ජනාධිපතිතුමනි.. මුළු ලෝකයම අද ඩිජිටල් යුගයකට ඇවිල්ලා. ඒත් බලන්න අපි තාම කොතනද ඉන්නේ කියලා. පාර්ලිමේන්තුවම උදාහරණයකට ගන්න. හැමදාම කෙනෙකුට උස්සන් යන්න බැරි තරමේ විශාල පොත් මිටියක් දෙනවා මන්ත්‍රීවරුන්ට. මොන තරම් වියදමක් ද. අනික කවුද ඕව කියවන්නේ. ඇයි අපිට බැරි ඩිජිටල් ක්‍රමයට මේ පොත්වල තියෙන කරුණු ඔක්කොම ලැප්ටොප් එකකට එවන්න. මම ඉන්නේ පුංචි ගෙදරක. හැමදාම අරගෙන යන අර විශාල පොත් තියලා තියලාම දැන් ගෙදර ඉඩත් ඇහිරිලා..." සුරේන්ගේ මේ කතාවට සියල්ලෝම සිනාවෙන්නට පටන් ගත්හ.

"අනිත් එක ජනාධිපතිතුමා අද මේ උද්ඝෝෂණ උතුරේ දකුණේ කියලා නෑ... මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. අද කොටි ඩයස්පෝරාවට එල්ලෙන්න වැලේ වැල් නෑ. ඔබතුමා පහුගිය දවස්වල එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරපු එක ඉතාම හොඳ දෙයක්. ඒව කරනකොට දෙමළ ඩයස්පෝරාවට සටන් පාඨ නෑ.

එයාලට කටඋත්තර නෑ. ආධාර එකතු කරන්න, එන් ජී ඕ වලින් සල්ලි ගන්න, ලෝකෙට කියන්න දේවල් නෑ. ඒ අඩුව පුරවන්න තමයි දකුණේ ඔය එක එක සංවිධාන උද්ඝෝෂණ කර කර බලහත්කාරයෙන් පොලිසියේ ඇඟේ එල්ලෙන්නේ. අන්න ඒක හින්ද තමයි ස්ටාලින් මුලතිව්වල නිරෝධායනය වෙනකොට ඒ අයට සරම් ටික අරන් යාපනය නගරාධිපති දුවන් එන්නේ.. මේවා එකකට එකක් බැඳිලා තියෙන්නේ. අපේ මිනිස්සු මේවා දන්නේ නෑ..." ඒ අයුරින් සුරේන් රාඝවන් කළේ ඉතා වටිනා හෙළිදරව්වකි.

මෙය බොහෝ කල් වේලා ගිය කතිකාවකි. පැමිණ සිටි මන්ත්‍රීවරු සියල්ලෝම ඉතා සතුටින් සිටියහ.

"ඔබතුමා මේ වගේ අපිට කතා බහ කරන්න නිදහසේ අවස්ථාවක් ලබා දීපු එක ලොකු දෙයක්. අපි දැනුවත් වුණා වගේම අපේ හිත්වල තියෙන දේවලුත් කියාගත්තා..." ජගත් පුෂ්පකුමාර කීවේය.

සියල්ලෝම එම රැස්වීම හමාර කර පිටත්ව ගියේ ජනාධිපතිවරයාට මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි.

නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමට අගමැති මුල්වෙයි

දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය.

සෞභාග්‍යයේ දැක්ම අනුව ප්‍රධාන නගර හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම මේ ඔස්සේ අපේක්ෂිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ආයතන පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මෙම හමුවේදී ප්‍රගතිය සමාලෝචනය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන නිවාස 60000 ක ව්‍යාපෘතියේ අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 32000 ක ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහි දී විමසා සිටියේය.

අදාළ ව්‍යාපෘතිය සියයට පනහක ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.

එ.ජා.ප. නායකයින්ගේ හමුව

බ්‍රහස්පතින්දා පෙරවරුවේ නායකයා පක්ෂ මූලස්ථානයට පැමිණි අතර රුවන්, වජිර, රංගේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එහිදි නායකයාගේ නිල කාමරයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

"රටේ මූල්‍ය අර්බුදය ගැන කරපු කතාවෙන් ආණ්ඩුවට හොඳටම රිදිලා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝත් මේ ගැන කතා කරනවා. රටේ මුදල් නැතිවීමේ අර්බුදය මුලින්ම දැනෙන්නේ ව්‍යාපාරිකයන්ට." සංදිත් සමරසිංහ කතාව ආරම්භ කළේ එලෙසිනි.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගන්නවා හැර විකල්පයක් නම් පේන්න නෑ. ආණ්ඩුව චීනය දෙස බලාගෙන ඉන්නවා. ඩොලරයේ අගය රුපියල් 200 පනිද්දි රන් පවුමක අගය රුපියල් ලක්ෂය පැනලා. චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක් ලැබෙනවා කියලා තමයි ආණ්ඩුව කියන්නේ." වජිර කීවේ බැරෑරුම්වය.

"චීනය ඒ මුදල් දෙන්නේ යුවාන්වලින් කියලා තමයි මට ආරංචි වුනේ. හැබැයි අපිට ඒක ගෙවන්න වෙන්නේ ඩොලර්වලින්. රටේ ආදායම් නැතිනම්, ඩොලර් නැත්නම් කොහොමද මේ ණය ගෙවන්නේ." රුවන්ද ආර්ථික අර්බුදය පැහැදිලි කළේ එලෙසිනි.

නායකයා ද සැමගේ අදහස් දැක්වීම් හමුවේ හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

"ආණ්ඩුවේ මර්දනය ව්‍යාප්ත වෙලා. උද්ඝෝෂකයන්ව අත්අඩංගුවට අරගෙන, උසාවියෙන් ඇප දුන්නාම පොලිසිය උද්ඝෝෂකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට ගාල් කරනවා. යහපාලනයේ අගය දැන් වෘත්තීය සමිති නායකයන්ටත් තේරෙන්න පටන් අරගෙන." සමන් රත්නප්‍රිය කරුණු පැහැදිලි කළේය.

"ගුරුවරු ඔන්ලයින් ඉගැන්නුවේ ඩේටාවලට අතින් වියදම් කරගෙන. එහෙම කරලාත් ආණ්ඩුවෙන් කාලකණ්ණි කියලා අහගන්න වෙලා. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ කියන විදියට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නත් බෑ. ජනාධිපතිවරයා හා ආණ්ඩුව පත් කරන්න වැඩියෙන්ම වැඩ කළේ ඔය කියන ගුරුවරුම තමයි." ආශු මාරසිංහ කීවේ ආවේගයෙනි.

"ගුරු සංගම් නියෝජිතයෝ අල්ලගෙන ගිහිල්ලා නිරෝධායන කඳවුරුවල ගාල් කිරීමට එරෙහිව ඒ අය යුරෝපා සංගමයටයි, ලෝක කම්කරු සංගමයටයි පැමිණිලි කරලා. මෙහෙම වුණාම අපිට ජී.එස්.පී. ප්ලස් නැතිවීමේ අවදානමකුත් තියෙනවා. නායකතුමා ඒක පාර්ලිමේන්තුවේ කිව්වත් මේ අය ගණන් ගන්නේ නෑ." සාගල රත්නායක කතාවට ඌණපූරනයක් එකතු කළේය.

සඳුදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව ගැන නීති විශාරදයන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා සවස නායකයා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූ අතර ඒ අනුව විවාදයට පෙර පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කෙරිණි.

තානාපතිවරු හමුවන්න බැසිල් පැයකට කලින් ඇවිත්

මේ අතර නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්වූ දින සිට මෙරට පිහිටි තානාපති කාර්යාලවලින් මුදල් අමාත්‍යවරයා හමුවීමට කැමැත්ත ප්‍රකාශ කළේය.

ඒ අනුව ගෙවුණු බදාදා දිනය වෙන්කර තිබුණේ තානාපතිවරු හමුවීම සඳහායි. උදේ 10.00 සිට එදින හවස 05:00 දක්වා නොනවත්වා පැවති මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා රටවල් පහක තානාපතිවරු සහ රටවල් දෙකක මහකොමසාරිස්වරු පැමිණියහ.

මුදල් අමාත්‍යවරයා සුපුරුදු පරිදි මෙම හමුවීම් සඳහා යොදාගෙන තිබුණු වේලාවට වඩා පැයකට පමණ පෙර අමාත්‍යාංශයට පැමිණියේය. එය බැසිල් රාජපක්ෂට අනන්‍ය වූ ලක්ෂණයකි.

මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙරට අතර සම්බන්ධතාව වැඩි දියුණු කරන යෝජනාවලින් ඔබ්බට යාම විශේෂත්වයකි. නව මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් බැසිල් රාජපක්ෂට රටේ ආර්ථිකය ගොඩ නැගීමට දිය හැකි උපරිම සහාය ලබාදෙන බව බොහෝ තානාපතිවරු ප්‍රකාශ කළහ. දෙරට අතර ද්විපාර්ශික සාකච්ඡාවලින් එහාට යමින් රටේ සාමාන්‍ය තොරතුරු පවා සාකච්ඡා කිරීම විශේෂත්වයක් විය.

සමහරක් තානාපතිවරු සමුගැනීමට සූදානම් වෙමින්" හිතුවට වඩා වෙලා ගියා" යැයි කීහ.

හරිත ආර්ථිකයක් බිහි කිරීම,පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ හා ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ප්‍රවාහන ක්ෂේත්‍රයක් බිහි කිරීම කෙරෙහි මූලිකත්වය දෙමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තානාපතිවරු සමඟ පැහැදිලි කළේය.

හරිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙනයන ක්‍රියාමාර්ග බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සහ යුරෝපා සංගමයේ තානාපතිවරයා මෙහිදී අගය කළේය.

දේශීය ඉදිකිරීම් සමාගම්වල සහායෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරියට ගෙන ගෙනයාම බ්‍රිතාන්‍ය තානාපතිවරියගේ පැසසුමට ලක් වූ අතර එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබාදෙන බවද පැවසුවාය.

කොරෝනා වසංගත තත්ත්වය තුළද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.7කින් පවත්වාගෙන යාම ඉන්දීය මහ කොමසාරිස්වරිය අගය කළ අතර ඉදිරියේදී ආර්ථික වර්ධන වේගය 5.5දක්වා වර්ධනය කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට හැකිවන බව එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

චීන තානාපතිවරයා හා මුදල් අමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදෙමින් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ආයෝජකයන් යොමු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කරගැනීමට සහාය ලබාදීමටත් එකඟ විය.

ජර්මානු තාක්ෂණික විද්‍යාල පහසුකම් නංවමින් විධිමත් පරිපාලන ක්‍රමවේදයක් යටතේ මෙරට දරුවන්ට තාක්ෂණික අධ්‍යාපන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජර්මන් තානාපතිවරයා එකඟ විය.

LNG බලශක්ති ව්‍යාපෘතිය සඳහා ආයෝජන අවස්ථා උදා කරමින් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කරගැනීමට කටයුතු කරන බව ඇමරිකානු තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙළට ඉදිරියටත් සහාය දක්වන බව රුසියානු තානාපතිවරයා ඉදිරියේදී එන්නත් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමේ හැකියාවක් ඇති බවද මුදල් අමාත්‍යවරයා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල දී සඳහන් කළේය.

එදින දවස පුරා මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

කොච්චිකඩේ තදබදයට ලාන්සාගෙන් විසඳුම්

පසුගිය 10 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හලාවත පැවති උත්සවයකට සහභාගීවීමට යමින් සිටි අවස්ථාවේදී මීගමුව, කොච්චිකඩේ නගරයේ පැවති රථවාහන තදබදයට අවශ්‍ය පිළියම් යොදැන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මීගමුව, කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට අවශ්‍ය විසදුම් ලබා දීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පසුගිය (12) දින කොච්ච්කඩේ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

ඒ අනුව කොච්චිකඩේ නගර සීමාවේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහූ එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වූහ.

සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා මූලික පියවරක් වශයෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැඩි සේ විශ්වාස කළේය. අමාත්‍යවරයා සිය යෝජනාව විටින් විට ආණ්ඩුවට ඉදිරිපත් කළේ ය. මේ අතර පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ ඇමතිවරයා හමුවූ අවස්ථාවක මේ සම්බන්ධයෙන් ඇමතිවරු දෙපළ අතර සාකච්ඡාවක් ද ඇතිවිය.

"එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන අතරේ අපි සංචාරක ව්‍යාපාරය පටන් ගැනීම ගැනත් අවධානය යොමු කරලා තියෙනවා" ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේය.

"ඔව් ඇමතිතුමා,අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපේ මිනිස්සු තමන්ගේ ජීවනෝපාය අහිමිවුණත් දැඩි ඉවසීමකින් කටයුතු කරනවා." නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේය.

"සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල යෙදිල ඉන්න සමහරකුට මේ වසංගත තත්ත්වයත් එක්ක කිසිම ආදායම් මාර්ගයක් නැති තත්ත්වයක් ඇතිවෙලා"

"අලුත් අවුරුද්ද ආරම්භ වෙනකොට මේ තත්වය වෙනස් වෙයි. පුළුවන් ඉක්මනට රටේ වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දෙන්න අපි උත්සාහ කරමු"

"රට විවෘත කරනවත් එක්ක සංචාරක ක්ෂේත්‍රය සක්‍රීය කරන්න නම් අපි දැන්ම ඉඳලා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල යෙදිලා ඉන්න අයව ඒකට සූදානම් කරන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ සංචාරක ක්ෂේත්‍රයේ අයට වැක්සින් එක දෙන එක"

දුරකථන ඇමතුමෙන් පසුව" ඇමතිතුමා ඒ වැඩේ හරි. අපි මේ සෙනසුරාදාටම හම්බන්තොටින් වැඩේ පටන් ගමු" නාමල් කීවේය.

Comments