පෙරළියක අසිරිය | සිළුමිණ

පෙරළියක අසිරිය

මුදල් ඇමතිවරයා ලෙස දිව්රුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂයන් ජුලි 8 දා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයට ගොස් සුබ මොහොතින් රාජකාරී ආරම්භ කළ අයුරු.

‘ආර්ථිකය ගොඩනඟන්න බැසිල් එයි‘ 
‘පියකු මෙන් අසීරු තීරණ ගන්න 
සිදු වේවි- මුදල් ඇමැති බැසිල් කියයි‘ 
‘බැසිල් දිවුරුම් දෙයි‘ 
‘ජනතාවගේ ප්‍රමුඛතාව මගේත් 
ප්‍රමුඛතාවයි- මුදල් ඇමැති 
බැසිල් කියයි‘

මේ ජූලි 9 වැනි සිකුරාදා ජාතික පුවත්පත් කිහිපයක පළ වූ සිරස්තලයි. ඒ පිළිබඳව ඉකුත් දින කිහිපය ඇතුළත විවිධ පැතිකඩ ඔස්සේ පළවූ ලිපි ද බොහෝය.

බැසිල් රාජපක්ෂයන් සිය දේශපාලන ජීවිතය ක්‍රියාකාරීව ඇරඹුයේ 1970 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ මහින්ද රාජපක්ෂයන් සමඟිනි. එහෙත් ඇත්ත ඇති සැටියෙන් කියනවා නම් ඔහුගේ දේශපාලන දිවිය ඇරඹෙන්නේ බහ තෝරන වියේ සිට සිය පියා වූ පසු කලෙක වැඩබලන ඉඩම් ඇමතිවරයා ලෙස කටයුතු කළ ඩී. ඒ. රාජපක්ෂයන් සමඟිනි. ලියුම්කරුට බැසිල් රාජපක්ෂයන් සමඟ හඳුනා ගන්නට ලැබෙන්නේ 1984 දිනපතා ජාතික පුවත්පතක කර්තෘ මාණ්ඩලිකයකුව සිටියදීය. ඉනික්බිති 80 දශකයේ සිට දශක කිහිපයක් ඔහු සමඟ කටයුතු කිරීම පිළිබඳව ලියුම්කරුට ඇත්තේ අසිරිමත් මතකයකි.

භගවත් ගීතාවේ සඳහන් වන පරිදි ඔහු වැඩ කළේ ඉන් ලැබෙන ප්‍රතිඵලය බලා ම නොවේ. ඔහු තමන් තේරුම් ගත්තේ ය. තම සතුරන් තේරුම් ගත්තේය. සටන් දහසක් කර ජයග්‍රහණ දහසක් ද ලබා ගත්තේය. ගුරු මුෂ්ටිකයකු නොවන නිසා මූසිලයන් බවට පත් වූ ගෝලයන් පිළිබඳ කම්පාවක් ද ඔහුට නැත. පැරණි කියමනකට අනුව සංසාරය නැමැති විස ගසේ මිහිරි ගෙඩි දෙකකි. එකක් කියමන්වල රස විඳීමය. අනෙක හොඳ මිතුරන් සමඟ ඇසුරය.

දිනය 1988 මාර්තු 04වනදාය. ස්ථානය කොළඹ 07 පිහිටි ඉරෙඩ් ආයතනයයි. සුනිමල් ප්‍රනාන්දු එහි කැඳවුම්කරුය. එපමණක් නො ව මහින්ද රාජපක්ෂයන්ගේ වර්තමාන අගමැතිතුමාගේ සියලු ජයග්‍රහණයන්ගේ දෙවන ගමනේ තිඹිරි ගෙයද එම සාකච්ඡාව වූවාට සැක නැත. එයට සහභාගි වූ පිරිස වූයේ ආචාර්ය විලී ගමගේ, කේ.එච්.ඒ. ගොඩාවත්ත, ටී. ජයසිංහ, ධර්මන් වික්‍රමරත්න, එස්. සහබන්දු, ජස්ටින් දිසානායක, චමල්, මහින්ද සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන්ය.

කෙදිනක හෝ දකුණින් ජනාධිපතිවරයෙක් බිහි කළ හැකි බව එදින කීවේ බැසිල් රාජපක්ෂයන්ය. සියලු සැලසුම්වල මහ මොළකරු වූයේ ද ඔහුය. සතිපතා ම රැස් වූ අප විවිධ ක්‍රියා සැලසුම් කළෙමු. ඇතැම් අවස්ථාවන්හිදී තංගල්ලේ කාල්ටන්හිද, බැසිල් රාජපක්ෂයන්ගේ ජුබිලි කණුවේ නිවසේ සහ මහින්ද ජනාධිපතිතුමාගේ දෙහිවල නිවසේද සාකච්ඡා පැවැත්විණි. නව ආරක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි.

වසර 1989 පෙබරවාරි මහ මැතිවරණයේදී මහින්ද සහ චමල් සොයුරන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

නව මුදල් ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කිසිදු තීරණාත්මක අවස්ථාවකදී චිත්ත ධෛර්යය අහිමි කර නොගැනීමය. බාධාවකදී අපේක්ෂා සුන්කර නොගැනීමය. ඔහුගේ ජීවිතය යනු රිද්මයකි. ජීවිතය ගලා බසින දිය ඇල්ලකට සමානය. එය ගලා බසින්නේ සැඬවය. අහිංසකවය. නිහඬවය. ප්‍රචණ්ඩය. එහෙත් රිද්මයානුකූලය. එමෙන්ම එය මී වදයක් සේ ඉමිහිරි නැත. කොහොඹ දලු සේ තිත්ත ද නැත.

මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිව සිටියදී තිස් වසරක යුද්ධයට තිත තැබීය. එහිදී ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂයන් ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස බැසිල් රාජපක්ෂයන් ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විදේශ සමඟ කළ ක්‍රමෝපායික සැලසුම් ද අසම සම ශක්තියක් විය.

පසුව 2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර ඡන්ද 425,861ක් ලබා විශිෂ්ට ජයග්‍රහණයකින් පසු වසර පහකට ආසන්න කාලයක් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් හෙතෙම සුවිශේෂ දායකත්වයක් සැපයීය. ඒ වකවානුව ඇතුළත ක්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන වැඩසටහන් වන දිවි නැගුම ව්‍යාපෘතිය, උතුරු වසන්තය, නැගෙනහිර උදානය, ගම්පහ රන් අරුණ, ඇවිදින ශරීර සුවතා මංතීරු, සති පොළවල්, මාතෘ සායන, එක ගමකට එක වැඩක්, ගැමි දිරිය, ලිය අභිමන්, සහන අරුණ යෝජනා ක්‍රමය, දියර කිරි ව්‍යාපෘතිය, රාජ්‍ය යන්ත්‍රය ජනතාවගේ දෙපා ළඟට ගෙන ආ ජංගම සේවා, ග්‍රාමීය පාලම් වැනි වැඩසටහන්වල නිර්මාපකයා පමණක් නොව ක්‍රමෝපායික සැලසුම්කරුද ඔහුය. එමෙන්ම එය සංවර්ධනයට නැවුම් පැතිකඩක් ගෙන ආවේය. කාලයේ තාලයට අභියෝග කළේය. රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන අරුණලු ගමට ගෙනාවේ ඔහුය.

එකල මෙකී ලියුම්කරු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍යයේ සියලු බර කරට ගෙන කටයුතු කළේය.

රටේ සංවර්ධනයට සෑම කොටසක් ම එක් කර ගැනීමට බැසිල් ඇමතිතුමා ක්‍රියා කළේය. උඩරට හත් මාළුවද, මාතර ඇඹුල් තියල් ද, පුත්තලමේ බටු මෝජුව ද, යාපනේ එළු මස් වරුවල් ද, කැකිරාවේ කුරක්කන් පිටිද අනුභව කරන්නෝ එක පවුලක කොටස්කරුවන් බවට පත් වූහ. වසර 2005 දී දිළිඳුකමේ අනුපාතය 15.2%ක් විය. එය 2012 වසරේදී 6.5% ක් දක්වා අඩු විය. විරැකියා අනුපාතය 2005 වසරේදී 7.2% ක් විය. එය 2012 වසරේදී 4% දක්වා පසු බැසීය. වතුකරයේ දුප්පත්කර වසර 2005දී 32% ක් වූ අතර එය 2012 දී 6.2 % දක්වා අඩු විය. මේවා ආර්ථික සංවර්ධන ඇමතිවරයාගේ නායකත්වයෙන් එකල රටට හිමි වූ ප්‍රතිලාභයන්ය.

වසර 2015 මහ මැතිවරණ පරාජයෙන් පසු එහි වගකීම බාර ගනිමින් ශ්‍රිලනිපයෙන් ඔහු ඉල්ලා අස් විය. එහෙත් එයට පෙර ඔහුගේ මෙහෙයවීමෙන් ඡන්ද 28ක් ජයග්‍රහණය කර තිබිණි. එක ඡන්දයක් පැරදුණ ද එහි පරාජයද නිහතමානීව තමා වෙත බාරගත් එකම දේශපාලඥයාද ඇතැම් විට හෙතෙම විය හැකිය. එහිදී ඔහු සමඟ සිටි සගයන් අතිබහුතරයක් වගේ ඔහුව අතහැරියේ නැත.

අන්ධකාරය වනාහී අරුණෝදයේම කොටසකි. කිසිවකුට රාත්‍රී මාවතේ ගමන් නොකොට අරුණෝදයේ ගමන් කළ නොහැකිය. පොදුජන එක්සත් පෙරමුණ හෙවත් පොහොට්ටුව එහි ප්‍රතිඵලයකි. එහි නිර්මාතෘවරයා පමණක් නොව ඔහු එහි පෙර ගමන්කරුවාද විය. ඒනිසා විවිධ දුෂ්කරතාවලට ද මුහුණ පෑමට ද සිදුවිය. එහෙත් ඔහු ඒ අභියෝගවලට මුහුණ දුන්නේ සිනාමුසු මුහුණෙනි.

ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත්කළ සියලු බලවේගයන්හි අදිසි බලවේගය ඔහුය. විශිෂ්ට ජයග්‍රහණයක් සහ විශාල බලයක් සහිත පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයේ කළමනාකරු ද ඔහුය. එම කැපවීම මත රට ගොඩනැඟීමට දැවැන්ත බලවේගයක් බිහි විය.

මෑත ඉතිහාසය ගැන බොහෝ දෙනා හොඳාකාරව දන්නා බැවින් ඒවා ගැන මෙනෙහි කළ යුතු නැත. මාළුවාට පිහිනන්නට ඉගැන්විය යුතු නැත. සියලු ව්‍යසන ගැඹුරු පත්ලේ සඟවාගෙන රැළි නඟන මුහුද මෙන් ඔහුද අයෝමය ශක්තියකින් හෙබිය.

පසුව ආර්ථික පුනර්ජීවන කාර්ය සාධන බළකාය ඇතුළු රටේ සංවර්ධනයට උරදෙන වැඩ සටහන් ගණනාවක ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු මුදල් ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ මුළු බරම කරට ගෙන බිහි කළ ආණ්ඩුව පිහිටුවා වසර එකහමාරකට ආසන්න කාලයකදීය. මුදල් ඇමතිවරයා වශයෙන් පත්වන්නේ අභියෝග රැසක් රට ඉදිරියේ ඇති මොහොතකය.

අලුත් ජීවයකින් මහ පොළොව ප්‍රබෝධවත් වන්නේ වැසි වැටෙන තරමටය. එවිට අලුත් පැළ බිහිවේ. කුඩා පැළ අතුරිකිලි දරාගෙන මහා වෘක්ෂ බවට පත් වේ. මේ මහ පොළොව අලුත් කළ යුතුමය. ඒ සඳහා තවතවත් වැසි ඇවැසිමය. අලුත් අනාගතයක පෙරවදන වන්නේද එයයි. ඒ සඳහා අභිමානවත් මවුබිමේ අභිනව මුදල් ඇමැතිවරයා වශයෙන් පියවර දස දහසක් ඉදිරියට යන්නට බැසිල් රාජපක්ෂයන් ට හැකිය. එය එසේ වනු ඇතැයි සැමගේ පැතුම වනු අැත.

Comments