මාෂි ගේ රූ රහස් | සිළුමිණ

මාෂි ගේ රූ රහස්

අද රසඳුන රූ රහස් සමඟ පිළිසඳරෙහි යෙදෙන යුවතිය අපි කාටත් ආගන්තුක නැහැ. වෙළෙඳ දැන්වීම් හරහා ප්‍රේක්ෂක සිත් වසඟ කර ගත් මේ රුවැත්තිය දැන් දැන් සිනමාවෙන්ද ජනප්‍රිය තරුවක ලෙස දිදුලන මාෂි සිරිවර්ධනයි. නිතරම සිනහවෙන්ම මුව සරසා ගෙන සිටින මාෂි ඇගේ සුන්දරත්වය වැඩි කර ගන්නා රහස් පිළිබඳයි.අද රූ රහස් තුළින් ඔබට කියන්නේ.

 

 

මුහුණට කඩලපිටි

ඉඩක් ලැබුණු වෙලාවට යෝගට්වලට කඩල පිටි ටිකක් මිශ්‍ර කරලා ඒකට මී පැණි ටිකකුත් කවලම් කරලා පැක් එකක් විදියට හදාගෙන මුහුණෙ ආලේප කරලා විනාඩි විස්සකින් විතර සෝදලා හරිනවා. තක්කාලි ගෙඩි බාගයක් අරගෙන කහ කුඩු සහ කුරුඳු කුඩු එකතු කරලා මුහුණේ සහ අත පයේ ආලේප කරනවා. හැබැයි මේ හැමදේම කරන්න වෙන්නේ ඉඩක් ලැබුණු වෙලාවට විතරයි.

 

හවසට බොන ග්‍රීන් ටී ඉතිරිය මුහුණට

දිනපතාම මම හවසට ග්‍රීන් ටී එකක් බොනවමයි. ගොඩක් අය ඒ තේ බෑග් එක විසික් කරනවානේ. මම ඒ තේ කුඩුවලට මී පැණි මිශ්‍ර කරලා පැක් එකක් වගේ හදාගෙන මුහුණේ ආලේප කරනවා. ඒ ආලේපයෙන් ටික වෙලාවකට පසුව මුහුණ පිරිසුදු කර ගන්නවා. හමේ දීප්තිය රැක ගන්න මම භාවිත කරන්නේ මේ සත්කාරය තමයි.

 

කෑමට ගෑමට පලතුරු

මම අනිවාර්යයෙන් දවසකට පලතුරක් කනවමයි. අලිගැටපේර කන්න ප්‍රියයි. නමුත් ගස්ලබු තමයි වැඩිපුරම කැවෙන්නේ. මාව ලැබෙන්න ඉන්නකොට මගෙ අම්මි ගොඩක්ම කෑවේ ගස්ලබු ලූ. සමහරවිට මමත් ඒ නිසා වෙන්න ඇති ගස්ලබු කන්න මෙච්චර කැමති. ගෙදරට ගස්ලබු ගෙනවාහම මම කරන්නේ ටිකක් කාලා ඉතිරි කොටස මූණේ ගානවා. ගස්ලබු නිතරම කැවෙන නිසා මුහුණෙත් නිතරම ආලේප කරනවා.

 

කොණ්ඩයට ඔලිව් ඔයිල්

ෂූටින් යනකොට වගේම විලාසිතා කරන කොට අපේ කෙස් කලඹ ගොඩක් නාස්ති වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවකදීම මම කොණ්ඩෙට පිරිසිදු පොල්තෙල් භාවිත කරනවා. නැතිනම් ඔලිව් ඔයිල් ටිකකට විටමින් ඊ එකතු කරලා හොඳට හිස් කබලේ ගල්වලා ටික වේලාවකින් සෝදා හරිනවා.

 

ඇස් යට කළු වෙනවට තේ කුඩු හොඳයි

මම කලිනුත් කිව්වා නේ මම ග්‍රීන් ටී බොනවා කියලා. ඒ තේ බෑග් එක මගෙ ඇස් දෙක උඩ තියා ගන්නවා.. ඒ වගෙම මම අහලා තියෙනවා ටීවල තියෙන ගුණයත් ඒ දේට හොඳයි කියලා .

 

සැලඩ් අනිවාර්යයි

කෑම බීමෙන් නම් මම ගොඩක් පාලනය වෙනවා. තුන් වේලටම බත් කැවෙන්නෙම නෑ. ෂූටින් ගියොත් එළියෙන් තමයි කැවෙන්නෙ. ගෙදර ඉද්දි අනිවාර්යයෙන් මම සැලඩ් එකක් කනවා. පොඩි කාලේ ඉඳන්ම ඕනම එළවළුවක් කන්න මම හරිම ප්‍රියයි. දැනටත් ඒහෙමයි.

 

උදේට නොවරදින වතුර වීදුරුව

උදේ නැගිට්ට ගමන් මගේ දවස පටන් ගන්නේ අනිවාර්යයෙන් වතුර වීදුරුවක් බීලා. ඊට අමතරව දිනකට කෙනකුට අවශ්‍ය වතුර ප්‍රමාණය මම බොනවා

 

දිනපතා ව්‍යායාම්

ව්‍යායාම් අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක්. නීරෝගි බව රැක ගන්න නම් ව්‍යායාම් ඉතා වැදගත්. ඒ නිසා දවසේ ව්‍යායාම්වලට මම කොහොමහරි වෙලාවක් වෙන්කර ගන්නවාමයි. ඉස්සර නම් ජිම් ගියා. දැන් ඒකට වෙලාව අඩුයි. දවසට පැයක් වගේ මම ඇවිදිනවා. ගෙදරදි යෝගා කරනවා.

 

අත්‍යවශ්‍ය නින්ද

තියෙන වැඩ කටයුතු එක්ක නින්දට වෙලාව අඩුයි. නමුත් නිරෝගිව ඉන්න හොඳ නින්දක් අත්‍යවශ්‍යයි. වෙලාවක් ලැබුණු ගමන් පැය අටක් දහයක් විතර නිදා ගන්නවා. දෛනික වැඩ කටයුතු එක්ක මඟහැරුණත් පුළුවන් හැම වෙලාවකම මඟහැරුණු නින්ද ලබා ගන්නවා.

 

Comments