සිංහල සින­මාවේ ස්වර්ණ ලකුණ ස්වර්ණා මල්ලවාරච්චි | Page 4 | සිළුමිණ

සිංහල සින­මාවේ ස්වර්ණ ලකුණ ස්වර්ණා මල්ලවාරච්චි

 

 

ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රබල දෙබස් ඛණ්ඩයක් සහිත උපරිම රංග කෞෂල්‍යයක් නිරූපණය කළ චරිත දෙකක් සහිත රන්මලී සහ ජයනාත් ඔබට කෙසේ අමතක කළ හැකිද? මේ චරිත දෙක රඟ පෑ ස්වර්ණා මල්ලවාරච්චි සහ රවීන්ද්‍ර රන්දෙනිය 1984 වසරේ සරසවි සම්මාන උලෙළේදීත් ජනාධිපති සම්මාන උලෙළේදීත් හොඳම නිළිය හා නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූහ. ඒ දඩයම චිත්‍රපටය වෙනුවෙනි.

“විචාරකයන්ගේ නිළිය“ නමින් ප්‍රකට ස්වර්ණා හැටේ දශකයේ අග භාගයේ සිනමාවට පිවිස 80 සහ 90 දශකයේ පෙර නොවූ, සංකීර්ණ, පුරුෂාධිපත්‍යයට අභියෝග කරන යථාර්ථවාදි ස්ත්‍රීත්වය නව මානයකින් නිරූපණය කළ චිත්‍රපට නිළියකි.

ස්වර්ණා කුඩා කාලයේ සිටම කලාවට ඇලුම් කළාය. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී කොස්ගස්හන්දියේ උපන් ඇය අධ්‍යාපනය ලැබුවේ කොස්ගස්හන්දියේම පිහිටි විජයබා මහා විද්‍යාලයෙනි. සති අන්තයේ සිංහල සාහිත්‍ය සමිතිය ඉදිරියේ මුල්වරට ගීතයක් ගැයීමෙන් පසුව අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මුලදීට වඩා සැලකිල්ලෙන් ඇය දෙස බලන්නට පටන්ගත්හ. එහෙත් ඇය හොඳින්ම කැපී පෙනෙන්නට පටන් ගත්තේ ඇය, මිතුරියක් සමඟ අතින් ලියා සංස්කරණය කළ සඟරාවක් නිසාය. මේ ගැන අපට කීවේ එදා සිංහල සාහිත්‍ය සමිතියේ සභාපතිව සිටි ඇම්. ඩී. ප්‍රේමරත්නය. ඔහු පදිංචිව සිටින්නේ ඔරුගොඩවත්ත මහල් නිවාස සංකීර්ණයේය. එදා එම සමිතියේ නිලධාරි මණ්ඩලයේ සිටි ප්‍රේමසිරි පෙරේරා (පසුව පළාත් සභා මන්ත්‍රී), තුංගසේන ද ප්‍රේමරත්න සරසවි වරම් ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ගියහ. ප්‍රේමරත්න අපට කී කතාවයි මේ.

“ස්වර්ණා සිටියේ අපට වඩා පන්ති දෙකක් පහළ පන්තියක. ඇගේ යෙහෙළියක් වූ කාන්ති කල්‍යාණි අටුගොඩ සමඟ “පිපෙන කුමුදු“ නම් අතින් ලියූ සඟරාව එදා විදුහල්පතිව සිටි කේ. පී. වික්‍රමාරච්චි හා උපවිදුහල්පති නිශ්ශංක යන මහත්වරුන් අතට පත්වී සිංහල සමිතියේදී අගය කළා. ස්වර්ණා අපේ සමිතියේ මුලින්ම ගැයුවේ නන්දා මාලිනී ගැයූ “බුදු සාදූ, මම සමන් මලක් වෙන්නම්“ ගීතය.

ස්වර්ණලාගේ පන්තියේ සිටි අනිත් මිතුරු මිතුරියන් වූයේ ඉන්ද්‍රා, මර්සි, ඥාණ සෞන්දරී, කමලා, රම්‍යා, යසවතී, මොනිකා, ආරියවතී, රත්නමාලී, පියසීලී, බන්දුල පියදාස, සහබන්ධු ආදීන්ය. මේ පිරිස අතර දඟකාර, කටකාර, එඩිතර සිසුවිය ස්වර්ණාය. ඇයටම පමණක් ආවේණික වූ සිනාව සෙසු සිනා හඬවල් අබිබවා දෝංකාරය දී දසත පැතිරී ගියාය. ස්වර්ණාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූයේ වජිරා බාලසූරියයි. (ගුවන් විදුලි ගායිකාවක් වූ ඇය විශේෂඥ අක්ෂි වෛද්‍ය දුෂ්‍යන්ත වාරියපොලගේ මවය.) ඉතිහාසය ඉගැන්වූයේ එවකට ලේඛකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු වූ ඇඩ්වින් රණවකය. සිංහල භාෂාව උගන්වා ඇත්තේ එවකට ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියකු, රචකයකු වූ ධර්ම ශ්‍රී ජේ. දහනායක මහතාය.

“ස්වර්ණා අනාගතේ හොඳ පත්‍ර කලාවේදිනියක් වෙන්න. ඔයාට ඒ හැකියාව තියෙනවා.“ වරක් දහනායක මහතා ඇය දිරි ගන්වමින් කීවේය.

ස්වර්ණා තරම් පොතපත කියවූ සිසුවියක් පාසලේ නොසිටියාය. මාර්ටින් වික්‍රමසිංහ, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක, මහගමසේකර, ජී.බී. සේනානායක, මඩවල එස්. රත්නායක ආදීන්ගේ පොත් නොතිත් ආසාවෙන් කියවූ ඇයට නිසඳැස් රාශියක් කටපාඩම් තිබුණාය.

මේ ලියුම්කරු ස්වර්ණා හඳුනන්නේ කුඩා කල සිටය. අපි දෙදෙනාම උපන්නේ ද, හැදී වැඩුණේ ද කොස්ගස් හන්දියේය. පාසල් යන කාලයේ ඇගේ හොඳම මිතුරිය පදිංචිව සිටියේ අප නිවසට යාබද ඩිස්පැන්සරියේ නිල නිවසේය. මේ දෙදෙනාම මගේ සොහොයුරියගේ යෙහෙළියන් වූ නිසා නිතරම අපේ ගෙදර ආව ගියෝය. මගේ පියාගේ හිතවත් මිතුරෙකු වූ ධර්ම ශ්‍රී කල්දේරා (පසුව ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විය) පැමිණි අවස්ථාවක ස්වර්ණාත්, මගේ මිතුරියත් පැමිණියහ. මේ 1964 මුල යයි සිතමි. ස්වර්ණා දුටු කල්දේරා ඇගෙන් මෙසේ ඇසුවේය.

“ඔයා කැමති නැද්ද? චිත්‍රපටයක රඟපාන්න. මේක මම අධ්‍යක්ෂණය කරන මුල්ම චිත්‍රපටය. කලාත්මක චිත්‍රපටයක්.“

“අනේ මාමේ, මම නිළියක් වෙන්න කැමති නැහැ. මම කැමති පත්තරේක මාමා වගේ වැඩ කරන්න. නැත්තං ගුරුවරියක් වෙන්න. මම ළඟදීම බොරැල්ලේ යසෝධරා විද්‍යාලයට ඉගෙන ගන්න යනවා.“

“මේ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකයි, ෂෙල්ටන් සිල්වයි එක්ක රඟපාන්න තියෙන්නෙ.“ කල්දේරා කීය.

ස්වර්ණා සිනාසුණා මිස කිසිවක් කතා නොකළාය. එදා ඇය කැමති වූවා නම් ඇගේ මුල්ම චිත්‍රපටය වන්නේ “සීතල වතුර“ ය. කලාත්මක ධාරාවේ එම චිත්‍රපටයේ ස්වර්ණාට යෝජිත නාමලී නම් ප්‍රධාන චරිතයට පසුව අනුලා කරුණාතිලක තෝරා ගන්නා ලදි. සත්‍ය වශයෙන් ඇය චිත්‍රපට නිළියක් වීමට සිහිනෙන්වත් නොසිතූ බව මට හොඳටම විශ්වාසය. එහෙත් ඇය හොඳ කලාත්මක චිත්‍රපට නැරඹීමට ආශා කළාය. එකල අප එකට පාඩම් කිරීමේ සිරිතක් තිබුණි. මේ පිරිස වූ ස්වර්ණා, මර්සි, කාන්ති හා ස්වර්ණාට එක්වූ පිට පාසලක එකම ශිෂ්‍යයා වූයේ මාය. අප හොඳට ඉගෙන ගන්නා නිසා චිත්‍රපට බැලීමට ගෙවල් වලින් අවසර ද තිබුණි. “බන්දනී“ හා “සුජාතා“ නම් හින්දි චිත්‍රපට නැරඹූ ස්වරණා නුතාන්ට ද, සිංහල චිත්‍රපට වලින් පුණ්‍යා හීන්දෙනියට ද ඇලුම් කළ බව මට මතකය.

කුඩා කල සිටම මානව හිතවාදි ගති තිබූ ඇය වාම අදහස් වලින් පන්නරය ලැබුවාය. පීටර් කෙනමන්, කේ. පී. ද සිල්වා ආදී කොමියුනිස්ට් නායකයන් සමඟ එක්වී එක්තරා කොළඹ නාගරික මැතිවරණයකදී ස්වර්ණා තම පක්ෂයෙන් උතුරු ග්‍රැන්ඩ්පාස් කොට්ඨාසයට ඉදිරිපත් වූ අබේසේන නම් අපේක්ෂකයා දිනවීමට ටී. එම්. සංඝදාස (පසුව එ.ජා.ප. නාගරික මන්ත්‍රී) හා ප්‍රේමසිරි පෙරේරා (පසුව පළාත් සභා මන්ත්‍රී) සමඟ උරෙන් උර ගැටී දේශපාලනය කළේ ඡන්ද බලයවත් නොතිබූ අවදියකය. මේ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඩී.ජේ. මහකුමාරගේට අප කණ්ඩායමේ මාත්, කාන්තිත් වතු මීටින්වල කතා කළහ. යූ.ඇන්. පීයෙන් තරග කළේ ෆලීල් කෆුර්ය. ජය ලැබුවේ ද ඔහුය.

ස්වර්ණාගේ මෙන්ම අපේ මිතුරු කණ්ඩායමේ වීරයන් වූයේ නළු නිළියන් නොවේ එකල අප පොතපත කියවූ ලේඛකයන්ය. ඒ ලේඛකයන් සජීවීව දැක ගැනීම අප මිතුරු පිරිසේ ඒකායන ආශාව විය. සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කරන “සත් සමුදුර“ චිත්‍රපටයට නවක නිළියක් ඕනෑ කර තිබෙන බව දැක්වෙන දැන්වීමක් “විසිතුර“ සිනමා පත්‍රයේ පළවී තිබෙනු මම දුටුමි.

“ස්වර්ණා, අපිට ඔන්න සිරි ගුණසිංහ දැක ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා.“ පසුදා අපේ හමුවේදී මම කීවෙමි.

“යමු... යමු... හොඳ චාන්ස් එක. අපි බොරුවට ඉල්ලුම් පත්‍රයක් දාමු.“ කමලා යෝජනා කළාය.

“මට නිළියක් වෙන්න ඕනෑ නෑ. සිරි ගුණසිංහ බලන්න ඕනෑ නිසා එහෙම කරමු. කොහොමත් මාව තෝරා ගන්නේ නැති නිසා.“ ස්වර්ණා කීවාය. අපි ස්වර්ණා වෙනුවෙන් ඇගේ ඡායාරූපයක් ද සහිත ඉල්ලුම් පතක් යැව්වෙමු.

“සත් සමුදුර“ පරීක්ෂණයට කැඳවීමක් ලැබිණි. ස්වර්ණා කමලා සමඟ වෝඩ් පෙදෙසේ දොස්තර ලීනස් දිසානායකගේ නිවසට යාමට මාත් හවුල් වුනෙමි. එදා පරීක්ෂණ මණ්ඩලයට සිරි ගුණසිංහ, වසන්ත ඔබේසේකර, ඩී. බී. නිහාල්සිංහ, සිරිල් වික්‍රමගේ ඇතුළත් වූහ. සිරිල් හැර සෙසු සාමාජිකයන් ස්වර්ණාට කැමැත්ත පළ කළහ. සිරිල්ගේ මතය වූයේ නාගරික පෙනුමක් ඇති ඇය ධීවර ගමක තරුණ බිරියකට උචිත නොවන බවය. රඟ පෑ හැටි දුටු සිරිල් ස්වර්ණාට සුබ පැතූ අතර ඔහු පසු කලෙක අධ්‍යක්ෂණය කළ “කරදිය වළල්ල“ චිත්‍රපටයට ද තෝරා ගත්තේය. එදා තමා මුහුණ දුන් අවස්ථාව මෙසේ ආවර්ජනය කළාය.

සත්සමුදුර චිත්‍රපටයේ

“දැන් මේ සිද්ධියට වසර 55ක් සපිරෙනවා. එදා පරීක්ෂණයට රඟපෑමේ අපේක්ෂාවෙන් ගැහැනු ළමයි 400ක් පමණ ඇවිත් හිටියා. අන්තිමට මාවයි, තව ළමයකුයි තේරුණා. චිත්‍රපට කරන කැමරාවෙන් මගේ මුහුණ මුලින්ම දැක්කේ නිහාල් අයියා. (ඩී.බී. නිහාල්සිංහ) මාව තෝරා ගත්තාට පස්සේ වේශ නිරූපණයකින් පසු මාව තෝරා ගත්තා.“

“හන්තානේ කතාව“ චිත්‍රපටයට කෙට්ටු ගැහැනු ළමයෙක් සොයා දෙන ලෙස අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා විසින් “විසිතුර“ කර්තෘ ආතර් යූ. අමරසේන රෙකමදාරු කර ඇත්තේ ස්වර්ණා බව සෙනරත් යාපා පුවත්පතකට කියා තිබුණි. විජය කුමාරතුංග හා පුරා කියා රඟපෑවේ ස්වර්ණා සමඟ “හන්තානේ“ කතාවෙනි. ඒ අත්දැකීම ගැන ස්වර්ණා ආවර්ජනා කළාය.

“මේ චිත්‍රපටයේ සුබා නම් සරසවි සිසුවියක් ලෙස මම ශෝභනී අමරසිංහ, සුනිලා ජයන්ති, සමන්ති ලැනරෝල්, සිසුන් ලෙස විජය, ටෝනි, දයා තෙන්නකෝන්, අමරසිරි කලංසූරිය, එඩ්මන්ඩ් ජයසිංහ, බර්ටි ජයසේකර, සෝමපාල ලැනරෝල්, පුෂ්පානන්ද වීරසිංහ වගේම චිත්‍රපටයට සම්බන්ධ ධර්මසේන පතිරාජ, බර්ටි ගුණසේකර, විජය ධර්ම ශ්‍රී සමඟ විනෝදයෙන් ගත කළ හැටි අදත් මට මතක් වෙනවා. විජයගේ මුල්ම චිත්‍රපටය නිසා ඔහු අහිංසක විදිහට හැසුරුණේ.

ස්වර්ණාට සත් සමුදුර චිත්‍රපටයේ රු. 250ක්ද, හන්තානේ කතාවට රු. 3,000 ක්ද ලැබුණු බව ඇය ‘සරසි‘ පත්‍රයේ කීරගල ආරච්චිට කියා තිබුණි. ආනන්දයේ සිසුන්වූ අපි නිෂ්පාදනය කළ ‘නිම්වළල්ල‘ චිත්‍රපටයට ගමේ කෙනෙකු නිසා ඇයට රු. 5000 ක් ලබා දුන් බව මට මතකය.

තම චිත්‍රපටයේ අසීරුම, අභියෝගාත්මක චරිතය රඟපෑවේ “දඩයම“ යැයි ස්වර්ණා කිහිපවරක්ම මාධ්‍යයට කියා ඇත.

“තමාට වූ අසාධාරණයට විරුද්ධව ගෙන යන අරගලයක් නිරූපණය කළ ගැහැනියක් රන්මලී. ගැහැනිය සුකොමල මුදු මොළොක් වස්තුවක් හැටියටයි බොහෝ සිංහල චිත්‍රපට වලින් මතු කළේ. මුලදී සමනල ජීවිතයක් ගත කළ රන්මලී ජීවිතයේ කටුක ප්‍රශ්නවලට මුහුණ දෙමින් එඩිතරව එක අරමුණක් කරා යන සැහැසි ගැහැනියක් බවට පත්වන්නේ ඊට පස්සේ. චිත්‍රපටයේ අවසාන දර්ශනය තරම් ගැහැනියක් මේ තරම් දරුණු වුණාද කියලා මට සිතුණා. චිත්‍රපටයේ ඒ දර්ශනයේ මා මාරාවේශයෙන්, දරුවෙකු කුසෙහි දරාගෙන තම සැමියාගෙන් පළිගන්නා අවස්ථාව. මේ දර්ශනය රූපගත කළේ හොඳට ඉඩකඩ තියෙන කතරගම කිරින්ද පැත්තේ. මට එහිදී අවස්ථාවක් තිබුණා, අධික වේගයෙන් මාව යට කරන්න එන රවීන්ද්‍රගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට දෑත බදල පොල්ලකින් ගැසීමට. මේ සඳහා පොල්ලක් ප්‍රමාණවත් නොවන නිසා යකඩ විල්ලක් දාලා බර හිටින්න ලී පොල්ලක් හදල තිබුණා.

දැන් රවීන්ද්‍ර කිලෝ මීටර් 70ක් පමණ වේගයෙන් මා වෙතට එනවා. ව‍ෙරක ඔහු රථය නතර කරලා මා වෙත ඇවිත් මෙහෙම කිව්වා.

“ස්වර්ණා පොඩ්ඩකටවත් බය වෙන්න එපා. ඔයා කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට පොල්ලෙන් ගහලා ඉවර වෙනකොට මම ඔයාට ගෑවෙන නොගෑවෙන විදිහට ළඟීන්ම යනවා. මතක තියා ගන්න වැටෙන්න ගියොත් පිටි පස්සට වැටෙන්න.“

“දැන් රවීන්ද්‍ර කිලෝ මීටර් 70ක පමණ වේගයෙන් මා වෙතට කාර් එක පදවා ගෙන එනවා. ඊට වඩා වේගයෙන් එන්න උත්සාහ කළත් වැලිපොළොව නිසා රථය එරෙන නිසාත් රවීන්ද්‍ර උපරිම වේගයෙන් ආවේ. රවීන්ද්‍ර පදවන කාර් එකේ කැමරාවක් හයි කරලා තිබුණා. ඒත් කැමරා ශිල්පියෙක් නෑ. මිලි මීටර් 16 “වයිඩ් ඈන්ගල්“ කාචයක් සහිත කැමරාවක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යුනිට් එකට අයිති කැමරාවක් ඒක. මේ දර්ශනය රූගත කරන්නේ ඩොනල්ඩ් කරුණාරත්න. මම දැන් කාර් එක ළඟට පොල්ල අරං යන්න. මගේ ඇඟේ ලේ වතුර වෙලා. මේ දර්ශනය රූගත වුණේ ‘ස්ලෝ මෝෂන්‘ විදිහට. මම දෑත බදලා පොල්ලෙන් ගැහැව්වා. වින්ඩ්ස් ක්‍රීන් එක ගානට බිඳලා. මල් රටා මවමින් වීදුරු කටු රවීන්ද්‍රගේ මුහුණ පුරාම ඇලිලා.

පස්සේ බැලින්නං ලෙස්ටර් මහත්තයා ජර්මනියෙන් ගෙන්වන ලද වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක බිඳිලා රූප රාමුව පිටින්ම. පස්සේ නිෂ්පාදකයා අලුත්ම ලෙන්ස් එකක් ජර්මනියෙන් රු. 40,000කට ගෙනත් දුන්නා.“ ස්වර්ණා කීවාය.

ස්වර්ණාත්, විජයත් රඟ පෑ චිත්‍රපට අතුරින් විශේෂ චරිත දෙකක් ගැන කතා කළාය. ඒ වසන්ත ඔබේසේකරගේ “කැඩපත ඡායා“ හා තිස්ස අබේසේකරට නිම කර ගැනීමට නොහැකි වූ “මංමුලා වැල්“ චිත්‍රපට ගැනය.

“කැඩපතක ඡායා“ චිත්‍රපටයේ මම නන්දා. “දඩයම“ චිත්‍රපටයේම දිගුවක් හැටියට මම දකින්නේ. මගේ වැඩිමහල් සොහොයුරියගේ සැමියා වූ ධනරත්න අතින් මම අනාථ වෙනවා. විජය කුමාරතුංග ධනරත්නට රඟපෑවේ. චිත්‍රපටයේ එක් අවස්ථාවක් තියෙනවා මම ධනරත්නට ඇසිඩ් ගහලා මරනවා. මම ඇසිඩ් තේ කෝප්පයක දාලා රෝගාතුරව රෝහල්ගතව සිටින ධනරත්න ළඟට එන විට

“එපා.... එපා... නන්දා එපා“ යයි කෑ ගහසනවා.

මම මේ චරිතය රඟපෑවේ අසීරුවෙන්. විජයගෙත් මා දුටු හොඳම රඟපෑම ධනරත්නගේ චරිතය. එහෙත් ඔහු මිය ගිය පසු සම්මාන උලෙළවලින් ඔහුට අසාධාරණකම් කළා. මම චිත්‍රපටයේ ඒ අවස්ථා‍වෙදී අන්දමන්ද වුණා.“ ස්වර්ණා කීවාය.

“මංමුලා වැල්‘ චිත්‍රපටයේ විජය හා මා රඟ පෑ චරිතය මට සිහිනයක් වගෙ. එය නැරඹීමට බුද්ධිමත් ප්‍රේක්ෂකයාටත්, මටත් අහිමි වීම අභාග්‍යයක්.

මෙරට 70 හා 80 දශකවල මෙරට සිනමාවට එක්වූ ප්‍රවීණ හා පළපුරුදු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ හරවත් සිනමා කෘති රැසකට දායක වීමට ස්වර්ණා වාසනාවන්තියක් වූවාය. මහගමසේකරගේ තුංමංහන්දිය, රංජිත් ලාල්ගේ නිම්වළල්ල, ධර්මසේන පතිරාජගේ අහස්ගව්ව, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ මාතර ආච්චි, ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්, සුද්දිලාගේ කතාව, බවදුක, බව කර්ම, සුමිත්‍රා පීරිස්ගේ මායා, යහළු යෙහෙළි, වසන්ත ඔබේසේකරගේ දඩයම, කැඩපතක ඡායා, ප්‍රසන්න විතානගේ අනන්ත රාත්‍රී, ඩී.බී. නිහාල්සිංහගේ රිදී නිම්නය, මල්දෙනියේ සිමියොන්, සුනිල් ආරියරත්නගේ මුහුදු ලිහිණි, අසෝක හඳගමගේ චන්න කින්නරී, ඇගේ ඇස අග යන චිත්‍රපට මේ අතර වෙයි. “ඇගේ ඇස අග“ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිත රඟපෑවේ භාරතීය චිත්‍රපට නළු Dhritiman Chatterjee සමඟය. ඔහු සත්‍යජිත් රායිගේ Pratidwandi චිත්‍රපටයේ රඟ පෑ රංග ශිල්පියාය. “ස්වර්ණා යනු උපන් පොළොවේ හොඳින් පය ගසා ගෙන විශ්වය දෙස බැලූ ඇසූ විරූ තැන් ඇති නිළියක්“ ලෙස එක් විචාරකයකු හඳුන්වා තිබුණි.

Comments