
ජීවිත 2000 ක් පමණ අහිමි කරමින් මීට දස වසරකට පෙර එනම් 2011 මාර්තු 11 සිදුවූ ෆුකුෂිමා විපත වෙනුවෙන් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අනුස්මරණ උත්සවයක් සමරා ලංකාජි විහාරයේ පැවැත්වූයේ පසුගියදාය. මේ සඳහා ශ්‍රී ලංකා ජපන් තානාපති සංජීව ගුණසේකර ඇතුළු තානාපති කාර්යාලයට අනුබද්ධිත 100කට ආසන්න පිිරිසක් සමඟ බෞද්ධ භික්ෂූන්වහන්සේ ද ඊට සහභාගී වූයේ යම් විපතකදී ශ්‍රී ලාංකිකයන් තුළ පහළ වන උතුම් මානුෂික ගුණාංග ඉස්මතු කරමිනි. එදා මෙම ව්‍යසනය සිදුවූ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් සිය බත්පත පවා විපතට පත්වූ අය වෙනුවෙන් පරිත්‍යාග කළේ ජාති ආගම් භේද කිසිවක් නොසලකාය. එවන් පසුබිමක ෆුකුෂිමා විපතට දස වසරක් පිරීමට ආසන්න මොහොතක එනම් මාර්තු 6 වැනිදා අපේම දියණියක් ජපානයේදි මිය යන්නේ එහි සංක්‍රමණික කඳවුරකදීය. මේ සිදුවීම ශ්‍රි ලාංකිකයන් තුළ සැබෑ කම්පනයක් ඇති කිරීමට හේතුවක් වූයේ නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳව ජපානය දක්වන කුඩම්මාගේ සැලකිලි නිසාය.
පසුගිය මාර්තු 15 වැනිදා ආසියා හා ජපන් හඬ රැගත් ජපානයේ Asahi Shimbun ආයතනයෙන් පළකරන ‘The Asahi Shimbun‘ පුවත්පතේ මෙම ශ්‍රී ලාංකික දියණියගේ අනපේක්ෂිත මරණය වාර්තා කර තිබුණේ ‘Sri Lankan woman dies in detention, wrote about her hunger‘ යනුවෙනි. ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයා නගරයේ නගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ (Nagoya Regional Immigration Services Bureau in Nagoya City, Aichi ) ඇය මාස 7 ක් පමණ රඳවා සිටියදී මෙම මරණය සිදුව ඇති බවට වාර්තා විය.
ඇය නමින් 33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලිය. තරුණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන ඇයට බාල නැඟණියන් තිදෙනෙක් සිටින අතර ඔවුන් ජීවත් වන්නේ පියාගේ වියෝවින් පසු තම ආදරණීය මෑණියන් සමඟය. ගම්පහ ඉඹුල්ගොඩ - උතුර පදිංචි ඇය පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් ඇත්තේ 2017 වසරේදීය. ඒ වැඩිදුර අධ්‍යාපන කටයුතු හදාරන්නටය.
![]() |
මියගිය විශ්මා සඳමාලි නරිතා ජපන් භාෂා පාසලේ සිසුන් සමඟ සිටියදී |
දරුවකු උස් මහත් කරන්නට මවුපියන් කොතරම් වෙහෙසෙන්නේද? එසේම ජපානය වැනි ඉහළ සංවර්ධිත රටකට යවා උසස් අධ්‍යාපනය ලබා දෙන්නට වෙහෙසෙන්නේද මහත් බලාපොරොත්තු පොදි බැඳ ගෙනය. කෙනෙකුට ජපානයට යාම එතරම් පහසු නැත. එසේ යන්නකු සෑබෑ දක්ෂයකු විය යුතුය. විශ්මා ද දක්ෂ තරුණියකි. ඇය පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කැලණිය පිහිටි ‘අකරි අධ්‍යාපන ආයතනයට‘ පිවිසෙන්නේ ජපන් භාෂා අධ්‍යාපනය සම්පූර්ණ කරන්නටය. එම ආයතනය පවසන පරිදි 2016 දී පැමිණි ඇය උද්යෝගීමත් දක්ෂ සිසුවියක් වූ අතර ඉතා දක්ෂ ඉංග්‍රීසි ගුරුවරියක්ද වූවාය. 2016 වසරේදී ජපන් භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටිය ඇය 2017 වසරේදී එම ආයතනය හරහා ජපානයේ නරිතා ජපන් භාෂා පාසලේ අප්‍රේල් වාරය සඳහා වසරකුත් මාස තුනක වීසා පහසුකම් ලබා ගෙන තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ජපානයට යන්නීය. එම ආයතනය විසින් සටහනක් තබමින් පවසා සිටින්නේ මාස කිහිපයකට පසු ඇය එම පාසලට නොපැමිණෙන හෙයින් නරිතා ජපන් භාෂා පාසල විසින් ඇය පාසල හැර ගිය අයෙකු සේ සලකා ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති බවකි.
ලෝකයට මහත් පිළිලයක් වූ කොරෝනාවෙන් බොහෝ දෙනෙකු බැටකද්දී විශ්මාටද අභියෝග රැසකට පැමිණෙන්නට ඇත. ඒ සියල්ල දන්නේද ඇයමය. ඒ වන විට ඇගේ වීසා කාලය පවා ඉකුත් වී තිබුණි. එරට තානාපති කාර්යාල බලධාරීන් සඳහන් කළේ ඇයව ලංකාවට එවීමට උත්සහ කළද ඇය සතුව මුදල් නොතිබීම මෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් එය ව්‍යවර්ත වූ බවකි. එරට වීසා නොමැති වූවන්ගේ තාවකාලික රැඳවුම් කඳවුරක් වන්නේ ජපානයේ අයිචි ප්‍රාන්තයේ නගෝයා නගරයේ පිහිටි නාගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයයි. විදෙස් පුවත් වාර්තා කරන අන්දමට ඇය වීසා ඉකුත්වීමෙන් එරට ආගමන විගමන බලධාරීන්ට හසුවන්නේ 2020 අගෝස්තු මාසයේය. මේ රැඳවුම් මධ්‍යස්ථානයේ වූ හුදකලා කාමරයක මාර්තු 6 වැනිදා දක්වා සිට ඇතැයි වාර්තා වෙයි. මාධ්‍ය වාර්තා කළ අන්දමට මෙහි වූ රැඳවියන් පරික්ෂා කිරීමේදී ඒ වන විට දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ඇය මියගොස් සිටි බවකි. මෙහි ප්‍රධාන චෝදනාව යොමු වන්නේ ජපන් ආගමන විගමන දෙපාර්තමේන්තුවටය. ඔවුන් දැක්වූ අඩු සැලකිල්ල හේතුවෙන් ඇයගේ මරණය සිදුව ඇතැයි බෙහෝ දෙනා චෝදනා නඟති.
විශ්මා සඳමාලිගේ මරණය සිදුවූයේ කෙසේද? මේ සම්බන්ධයෙන් සිළුමිණ ඇගේ ගම්පහ ඉඹුල්ගොඩ පිහිටි නිවසට ගියද ඇයගේ මව හා නැඟණියන් මේ පිළිබඳ තොරතුරු මාධ්‍යට ලබා දීම ප්‍රතික්ෂේප කළේ සියලු සිදුවීම් ඔවුන්ද නොදැන සිටි නිසාවෙනි. ජපානයේ ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලය සමඟ ඔවුන් දිනෙන් දින සම්බන්ධ වෙමින් සිය සහෝදරියගේ මරණය පිළිබඳ තොරතුරු විමසන අතර මරණ පරීක්ෂණ කටයුතු ජපන් රජය විසින් සිදු කෙරෙන අතර අවශ්‍ය ලියවිලිද යවා ඇති බවකි. ‘The Asahi Shimbun‘ පුවත්පත වාර්තා කරන අන්දමට මේ මරණය යම් සැකයක් මතුව පවතින බව සැලය. ඇය ගලනාලය ආශ්‍රිතව ආහාර ගැනීමේ අපහසුතාව ඇතිවන ආකාරයේ රෝගී තත්ත්වයකින් පෙළුණු බවත්, මේ හේතුවෙන් ඇය දිගු කාලයක් ආහාර ගෙන නොමැති බවත් එම පුවත්පත වාර්තා කර තිබුණි. එසේනම් ඇය රෝහල්ගත කිරීමේ වගකීම ඇත්තේ ද අදාළ සමාගමටය. ඒ නීතියට පෙර ජීවිතය රැකිය යුතු නිසාවෙනි. ජපානයේ විදේශිකයන්ට සහාය දක්වන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ ඇයට මේ හේතුවෙන් ආතතිය මෙන්ම ඇවිදීමට පවා නොහැකි වී ඇති බවකි. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය කොතරම් දරුණු අතට හැරී තිබුණේද යත් ඇය වමනය කිරිමට භාජනයක් පවා ළඟ තබාගෙන සිටි බව ඔවුන් වාර්තා කර තිබුණි.
“මට රෝහලකට යන්න ඕන. නමුත් ආගමන විගමන බලධාරීන් මාව රෝහලකට රැගෙන යන්නේ නැහැ. “ ඇය විටක පවසා තිබූ බව මාධ්‍ය වර්තා කළේය. එරට පුවත්පත් සඳහන් කරන්නේ ඇය තමන් නිදහස් කරන ලෙසත්, ආහාර ගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙන බවත් සඳහන් කරමින් ලිපි හා සටහන් ලියා ඇති බවකි. මේවා The Asahi Shimbun පුවත්පත එළි දක්වා තිබුණි. “ මට දැන් ඇත්තටම කන්න ඕන..“ ඇය එහිදි සඳහන් කර තිබූ බවකි. තමන් නිදහස් කර දෙන ලෙස ඇය නිරාහාරව සත්‍යග්‍රහයක් සිදු කළේ නම් ඊට වගකිව යුත්තෝ කවරහුද? දැන් එරට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතියි.
කෙසේ වෙතත් ඇයගේ මරණය සම්බන්ධයෙන් ජපානයද පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් ඇත්තේ එරට අධිකරණ ඇමැතිනී කමිකාවා යෝකෝගේ ප්‍රධානත්වයෙනි. ඇය පසුගියදා පැවැති කැබිනට් රැස්වීමකදී මේ තොරතුරු මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මෙය ජාත්‍යන්තරය කලඹන සුලු මරණයක් නිසාවෙනි. මන්ද රැඳවුම් මධ්‍යස්ථානයදී කෙනෙකු මරණයට පත්වීම සුළු කොට තැකිය යුත්තක් නොවන නිසාය. නමුත් ඇමැතිනිය පවසා ඇත්තේ මෙම කාන්තාව සිය සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව පවසා සිටි හෙයින් වෛද්‍යවරුන් විසින් ඇයව අවස්ථා හයකදී පරික්ෂා කළ බවත්, අවස්ථා දෙකකදි රෝහල්ගත කර ඇති බවත්ය. කෙසේ වෙතත් ඇය අදාළ ආයනවලට උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ පර්යේෂණය කඩිනම් කරන ලෙසත්ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට කණ්ඩායමක් ටෝකියෝ සිට නගෝයා දක්වා පිටත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති අතර නිවැසියන්ද බලා සිටින්නේ එ පිළිබඳ තීන්දුවක් ලැබෙන තෙක්ය. ජපාන විදේශ අමාත්‍යාංශය පවසන පරිදි ඇයගේ දේහය කඩිනමින් ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවකි.
ජපන් නීතිය අනුව කිසිවකුටත් වීසා නොමැතිව රැකියා කිරීමට තහනම්ය. ජපානයට යන අපට ලැබෙන මුදල පමණක් නොව එරට නීතිය ගැනද දැනුම්වත් විය යුතුය. ජපන් ජාතිකයන් යනු කිසියම් රාමුවක් තුළ ජීවත් වන මානූෂීය හැඟීම් අල්ප මිනිසුන්ය. ඒ සියල්ල දැන දැන ඔවුන්ගේ රටට අප යන්නේ ස්ව කැමැත්තෙන් නිසා තැනේ හැටියට ඇණේ ගැසීමට අප හුරුවිය යුතුය. විශ්මාගේ මරණයෙන් ලැබිය හැකි ආදර්ශය වන්නේ ද එයයි.