
කාර්යාලයේ පියගැට පෙළ බසින විට හිරු අවරට යමින් හොරා දෙකක් ගෙවී තිබිණ. ගිනිගත් හිරුගේ බැල්මෙන් ගත දවාලයි. දූවිලිවලින් වැසී පිපාසාවෙන් මාලානිකව ඒ මේ අත වැනෙන තුරුලතා තුළින් හමන සුළඟ පවා උණුසුම්ය. එකෙනෙහිම දූලීවළා නංවමින් ඇදී ආ කාර් රථයක් මා අසල නතර විය. “ඔයා ද රසික“, වාහනයේ රියදුරුතැන දොර වීදුරුව පහතට කර විමසීය. “ඔව්“, යැයි පවසමින් රථයට ගොඩ වූ මම මේ දිනවල ජාතික රූපවාහිනියේ 'සොමිබර ජරමර' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කරන මොරටුව ලුනාවේ පිහිටි ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ශ්‍රීනාත් අර්ල් ගේ නිවෙස බලා යාමට පිටත් වුණෙමි. අප එහි යන විට ද රූ ගත කිරීම් අරඹා තිබුණ අතර, තැනක වේෂනිරුපණ ශිල්පියා විසින් රංගන ශිල්පීන් කිහිප දෙනකු වෙස් ගන්වමින් සිටියේය.
"ඔයාද රසික, මම අර්ල්" නිෂ්පාදකවරයා සිනහවෙන් පිළිගත්තේය. සුහද කතාබහ අතරතුරම මගේ අවධානය යොමු වූයේ රූගත කිරීම් වෙතය.
"මොකක්ද මේ සීන් එක."
"මේ තමයි 'රයිට් ඉමේජ් හෝටලයේ' කාර්යාලය. ඒකේ පරිපාලන නිලධාරියා තමයි ගිහාන් ප්‍රනාන්දු, මිස්ටර් හරිප්රිය. අනික් කෙනා නන්දන හෙට්ටිආරච්චි එයා පියන් නම දාබරේ.'' හරිප්රිය දැඩි කලකිරුණු ස්වභාවයකින් කාර්යාලයේ ඒ මේ අත ඇවිද යයි. ඒ අතරතුර දුක්බර ගීතයක් ද මුමුණයි.
" ප්‍රේමා ලෝකය නිවී ගියා මට පත්තු කරන්නට බැරුව ගියා". එකපාරටම කාර්යාලය තුළට දාබරේ පැමිණේ "මොකද සර් එකපාරටම ප්‍රේමාලෝක පත්තු කරන්නට බැරිව ගියා කියන්නේ"
"අනේ ඒකනෙ බං, මේ දවස්වල මං ඉන්නේ හරිම ගිනි ගොඩක“. " එච්චර ගිනි ගොඩක් තිබිලද පහන පත්තු කරන්න බැරුව ගියා කියන්නේ" " ඔන්න ගොන් කතාවක් කිව්වා. මට අමතක වුණා මං කතා කරන්නේ බාලයන් එක්ක කියලා. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනං"
"හරි හරි සර්ට මට වඩා අසේල කියන එකා හොඳ නං මං යන්නම්" "නැහැ නැහැ බං දාබරේ, මේ වරෙන්කො. මං කියන කිසිම දෙයක් උඹේ සිඟිති මොළේට තේරෙන්නේ නෑ නේ""මොළේට යන විදියට කිව්වද නයා නැති වෙච්ච අහිගුණ්ඨිකයා වගේ අඳෝනාවක් විතරයිනේ. ප්‍රේමා... ලෝක..ය.. නිවී ගියා...
හරිප්රිය " ඇති ඇති උඹේ ගීතමය අලංකාර. වෙසක් කාලෙට තොරණක කවියක් කියන්න දාපු ලව් ස්පීකරයක් වගේ. මේ ඔක්කොම නවත්තලා අහපංකෝ"
ඒත් සමඟම හෝටලයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා බොනිපස් ලෙස රඟපාන බන්දුල විජේවීර එම ස්ථානයට පැමිණේ.
එලෙස කාර්යාලයේ රූගත කිරීම් නිමාවනවත් සමඟම ඊළඟ ලොකේෂන් එකට යෑමට සියල්ලෝ ලහිලහියේ සූදානම් වෙති. ඔවුන්ගේ මීළඟ දර්ශනතලය මොරටුව කොරලවැල්ලේ බොල්ගොඩ ගඟට මුහුණලා පිහිටි මනරම් හෝටලයකය.
දර්ශනතලයේ සියලු කටයුතු ඉතා යුහුසුලුය. කැමරා ශිල්පියා ඊළඟ රූගත කිරීම ආරම්භ කළේය.
පියුමි බොතේජු ලාවන්‍යා ලෙස චරිත නිරූපණය කරන අතර ඇය හරිප්‍රියගේ පෞද්ගලික ලේකම් වරියයි. හරිප්රිය සිය මනෝ ලෝකය තුළ ලවන්‍යා හා පෙමින් වෙළී සිටිනයුරු එහිදී රූගත කෙරිණි.
මෙලෙස එදින සවස් භාගය දක්වා සොමිබර ජරමර ටෙලි අන්දරයේ විවිධ දර්ශන එහිදී රූගත කෙරිණි. රූගත කිරීම් සඳහා යොදා ගෙන ඇත්තේ සමුද්‍රා හික්කඩුවගේ නිවෙසත්, ලුනාව මොරටුව මුහුදු මාර්ගයත්, මෙම හෝටලයත්ය. එහි කතා පසුබිම පිළිබඳ නාට්‍යයේ නිෂ්පාදකවරයා හා යෙදුණු කතාබහේ දී අසා ගතිමි. ඒ අනුව 'සොමිබර ජරමර' ටෙලි නාට්‍යය හෝටලයක් ආශ්‍රය කරගෙන නිර්මාණය වූවකි. එහි සේවයේ නියුතු පරිපාලන නිලධාරියා තම පෞද්ගලික ලේකම්වරිය සමඟ පවත්වන අනියම් සම්බන්ධය නිසා ඔහුගේ කුටුම්භය මුහුණ දෙන අටෝරාශියක් ප්‍රශ්න ඉතාම සියුම්ව හා හාසේයා් ත්පාදක ඉදිරිපත් කරයි.
මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීමට පෙලඹුණු හේතුව ගැන මා නිෂ්පාකවරයාගෙන් විමසුවෙමි.
"මං මීට පෙර නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කර තිබෙනාව. නමුත් හාසේයා් ත්පාදක නාට්‍යයක් කරලා තිබුණේ නැහැ. අනෙක් අතට කෝවිඩ් ව්‍යසනයෙන් මිනිස්සු ගොඩක් මානසිකව වැටිල ඉන්දෙද්දි තවත් සීරියස් නාට්‍යයක් කරනවට වඩා කොමඩියක් කරන එක හොඳයි කියල මට හිතුණා. ඔවුන් ඉන්න ආතතියෙන් පැය බාගයක් හරි මුදවලා තියන්න ලැබීමත් ලොකු පිනක්. මං හිතන්නේ ඒ උත්සාය මේවනවිට ඉතාම සාර්ථකයි.
බොහෝ ප්‍රේක්ෂක ජනතාවක් රාත්‍රි 7.30ට රූපවාහිනියේ රඳවා ගන්නවා කියන්නේම ලොකු අභියෝගයක්. අපි ඒ අභියෝගය ජය අරන් තියෙනවා. ඒ ගැන අපේ නාට්‍යයට කණ්ඩායමටම ස්තූති වන්ත වෙනවා. කෝවිඩ් වසංගතය එක්ක මේවගේ ප්‍රොඩක්ට් එකක් කිරීම අසීරු කාර්යයක්. සියලු සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව තමයි මේ කටයුත්ත අපි කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම රූපවාහිනියේ සභාපතිවරයා, වැඩසටහන් අධ්යක්ෂවරයා ඇතුළු සියලු නිලධාරීන් මා හෘදයාංගමව සිහිපත් කරනවා. ඔවුන් නොවන්නට මේ නාට්‍යය අද පෙන්නන්න වෙන්නේ නැහැ. "
'සොමිබර ජරමර' ටෙලි නාට්‍යය කලෙකට ප්‍රථම චන්ද්‍රරත්න මාපිටිගම අතින් නිර්මාණය වූ අතර, නැවත මෙය ආරම්භ වන්නේ තරුණ නාට්‍ය රචකයකු හා අධ්‍යක්ෂවරයකුවන රුමේෂ් ටොලමි දායකත්වයෙනි. මෙහි සහය අධ්‍යක්ෂකවරයා ලෙස නිරුක්ෂාන් ඒකනායක දායක වන අතර නිෂ්පාදනය ශ්‍රීනාත් අර්ල්ගේ ය.
'සොමිබර ජරමර' සිනහවෙන් රසවත් කරන්නට ගිහාන් ප්‍රනාන්දු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගයාන් වික්‍රමසිංහ,ක්ලීටස් මෙන්ඩිස්, සමුද්‍රා හික්කඩුව, පියුමි බොතේජු, රුක්ෂානා දිසානායන, නන්දන හෙට්ටිආරච්චි, ශ්‍රීනාත් අර්ල්, මහින්ද පතිරගේ, බන්දුල විජේවීර, මල්කාන්ති ජයසිංහ, යහන්ජි තාරුකා සහ කුමුදුනී අධිකාරි රංගනයෙන් දායක වෙති.