විපක්ෂයේ ඉන්නේ ජනතාව ෆේල් කරපු පිරිසක් | සිළුමිණ

විපක්ෂයේ ඉන්නේ ජනතාව ෆේල් කරපු පිරිසක්

 ● ආණ්ඩුව ඇතුළේ ලොකු අර්බුදයක් ඇති බවයි විපක්ෂය කියන්නේ?

විපක්ෂය අපිට අර්බුද හදන්න කලින් ඔවුන් තුළ තිබෙන අර්බුදය විසඳාගත හොත් හොඳයි කියන කාරණය මම මුලින් ම කියන්න ඕන. විපක්ෂයේ ඇතුළේ මේ වනවිට භයානක තත්ත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව සෑහෙන පිරිසක් සමගි ජනබලවේගය තුළ සිටිනවා. විශේෂයෙන් ම ඔහු සමඟ සම්බන්ධවෙලා සිටින පක්ෂ අතර මේ වනවිට ගැටුම් ඇතිවෙලා තිබෙනවා. ඒ මොකද සජිත් මහතාගේ ක්‍රියා කලාපය අනෙක් පක්ෂ සමඟ ගැළපෙන්නේ නැහැ. ඔහු කියන්නේ එකක් කරන්නේ තවත් එකක්. විපක්ෂ නායක වෙන්න තවත් කිහිප දෙනෙකුම උත්සාහ කරනවා. පක්ෂයේ නායකයා වෙන්න තවත් පිරිසක් පොර කනවා.‍ අඩුම තරමේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්ය භාරය සිදුවන්නේ නැහැ. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අපගේ හිතවතුන්. ඔවුන් මේ අර්බුදය පිළිබඳව පැහැදිලිව දන්නවා.

මේ විපක්ෂය තාම කරන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක ජවනිකාව විතරයි. මොකද රජය හොඳ දෙයක් කළත් ඒකටත් විරුද්ධයි. රජය අලුත් දෙයක් අලුත් අදහසක් ගෙනාවත් ඒකටත් විරුද්ධයි‍. හොඳ නරක මේ දෙකටම විරුද්ධයි. විපක්ෂයක් කියන්නේ රජය හොඳ වැඩක් කරනවා නම් ඊට සහය ලබාදෙන්න ඕන කණ්ඩායමක් පිරිසක්. අද එහෙම විපක්ෂයක් නොවෙයි තිබෙන්නේ.

අන්න ඒ නිසා තමයි මම මුලින් කිව්වේ අර්බුදය තිබෙන්නේ ආණ්ඩුවේ නොවෙයි. විපක්ෂයේ කියන කාරණය. ඒ නිසා විපක්ෂයට මම පැහැදිලිව කියනවා අනුන්ගේ ඇසේ තිබෙන ඉදිකට්ට ගැන කතා කරන්න කලින් තමන්ගේ ඇසේ තිබෙන පොල් පරාලය ගැන කතා කරන්න කියන කාරණය.

 

විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟ පොහොට්ටුව ඇති කර ගෙන තිබෙන ගැටුමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරනවා. ඔබ මෙහිදී කුමන පාර්ශ්වයේද?

ඇත්තටම ආණ්ඩුවේ නියෝජිතයන් හැටියට අපි අතර පාර්ශ්වයන් නැහැ. මේ රටට යහපතක් කරන්න මේ රට ගොඩනඟන පාර්ශ්වය තමයි අපගේ පාර්ශ්වය.

ඇත්තටම ඔය කියන ආකාරයේ ගැටුමක් ඇත්තෙත් නැහැ. එකම කණ්ඩායමේ ඉන්න මැති ඇමැතිවරු, මන්ත්‍රීවරුන් තමන්ගේ පෞද්ගලික අදහසක් ඉදිරිපත් කිරීමක් ගැටුමක් හැටියට සැලකිය යුතු නැහැ. අපගේ රජය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී රජයක්. ඕනෑම අයෙකුට තමන්ගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. මතයක් දරනවා කියන්නේ ආණ්ඩුව තුළ අර්බුදයක් තියනවා කියන එක නොවෙයි. අපි මොන මතවල හිටියත් රජය රට වෙනුවෙන් ගන්නා සෑම තීන්දු තීරණයකදීම එකට ඉන්නවා.

අනෙක් කාරණය තමයි විමල් වීරවංශ ඇමැතිතුමා ඇතුළු දේශයට ආදරය කරන තවත් දේශපාලන පක්ෂ රාශියක් දැවැන්ත සහයක් ලබා දුන්නා ජනාධිපතිවරණයට මෙන් ම මහ මැතිවරණයට. අපි මේ බලය නිර්මාණය කිරීමේදී මේ කණ්ඩායම් දැවැන්ත ශක්තියක් ලබාදුන්නා.

ඇත්තටම පක්ෂ දේශපාලනයට එහා ගිය ජනතා විශ්වාසයක් අප කෙරෙහි තිබෙනවා. මේ රටේ ලක්ෂ 69 ජනතාව අපිව විශ්වාස කරලා තමයි අපිට ඡන්දය ලබාදී අපිව බලයට රැගෙන ආවේ. මෙහිදී සෙසු පක්ෂ වගේම පොදුජන පෙරමුණ විශාල කාර්ය භාරයක් ඉටු කළා.

මහින්ද සුළඟ ගැන කතා කරද්දී අපි සියලු දෙනා එක්ව දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළා. ඇත්තටම අපි එක නිවසක සාමාජිකයන්. එක පවුලක් ලෙස කටයුතු කරන්නේ. මේ නිසා අපි අපගේ ගෙදර ප්‍රශ්නයක් මතු වුණාම ගෙදර ඇතුළේම විසඳා ගන්නවා.

අපගේ නිවසට හොඳ ගෘහ මූලිකත්වයක් ලැබිලා තිබෙනවා. පවුලේ ප්‍රධානියා එසේත් නැත්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට හොඳ නායකත්වයක් ලබා දෙනවා. මේ නිසා අපගේ පවුල බිඳ වට්ටන්න කාටවත් බැහැ. ඒ වගේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්දැකීම් ඇති මේ රටට ආදරය කරන තවත් ශක්තිමත් නායකයෙක්. ඒ නිසා අපිට මේ රට ගොඩනඟන්න පුළුවන්.

 

ගෝඨා ෆේල් කියලා දිගින් දිගටම විපක්ෂය කියනවා. ඇත්තටම ‘ගෝඨා ෆේල්’ ද?

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ෆේල් කියලා චෝදනා කරන අය පාස් ද කියලා මම මුලින් ම අහන්න කැමැතියි. මේ රට ජනතාව සියලු දෙනාම ෆේල් කරන්න කටයුතු කරපු පිරිසක් තමයි, ඔය විපක්ෂයේ ඉන්නේ‍. මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, රටේ ආර්ථිකය සමාජය, සංස්කෘතිය හැම පැත්තකින්ම මේ රට විනාශය කරා ගෙන ගිය පිරිසක් අද අපිට චෝදනා කරනවා. අපි ෆේල් කියලා. අවුරුදු පහකට ආසන්න කාලයක් තමන්ගේ ආණ්ඩුව දෙපැත්තකට අදිමින් ජනතාවට නොයෙක් කරදර හිරිහැර කරමින් අහිංසක ජීවිත සිය ගණනක් ත්‍රස්තවාදීන්ට බිලිදෙමින් කටයුතු කරපු පිරිසක් අපෙන් අහනවා අපි ෆේල් ද කියලා.

ජනාධිපතිතුමන් ඉතාමත්ම හොඳින් තමන්ගේ හැකියාව ඔප්පු කරමින් යන අවස්ථාවක් මේක. 69 ලක්ෂයක් ජනතාව එතුමන් කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් වැඩිවෙලා තිබෙනවා. තවමත් අවුරුද්දක් විතරයි ගත වෙලා තිබෙන්නේ. ඒ අවුරුද්ද තුළ ජනාධිපතිවරයා විශාල වැඩ කොටසක් සිදු කරලා තිබෙනවා. රටේ ජාතික ආරක්ෂාව, වර්තමානය තුළ ආර්ථිකය මුළු ලෝකයම බැට කමින් සිටින අවස්ථාවක රටක් හැටියට අපි ඉතාමත්ම ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

මේ සියලු කටයුතු මැද රටේ සංවර්ධනය ඉතා ඉහළින් සිදු කරමින් සිටිනවා. ඒ සඳහා ඔහු ලබා දෙන නායකත්වය ආගම් අතර සුහදතාව වැඩි කරමින් මෙරට සහජීවනය ගොඩනැංවීම සඳහා කටයුතු කරනවා. මේ අතර අවස්ථාවාදීන් කිහිපදෙනෙක් යම් යම් මත පතුරවනවා. මේ කරුණු සියල්ලම බැලුවාම අපි පාස්ද නැද්ද කියන එක ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙන්නේ අපි ඉතා ඉහළින් ම පාස් කියන එකයි.‍

අපි මේ ර‍ෙට් ඉතිහාසය තුළ ජනාධිපතිවරුන් රැසකගේ ක්‍රියා කලාපයන් දැක තිබෙනවා. තව අවුරුදු හතරක් තිබෙනවා ගෝඨාභය ජනාධිපතිවරයාට. ජනතාවට දැක බලාගත හැකියි ඉදිරියේදී මේ රට කොච්චර දුරට පාස් කරනවාද කියන කාරණය.

 

රජය පිහිටුවලා මාස හයකට අධික කාලයක් ගතවෙලා තිබෙනවා. ඇමැතිවරයෙක් හැටියට සෑහීමකට පත්වෙන දෙයක් කරලා තිබෙනවාද?

අපි මේ රජය භාර ගන්න කොට යහපාලන රජය මේක නැත්තටම නැති කරලා තිබුණේ. රටක් හැටියට ගොඩනැඟෙන්න අපිට දැවැන්ත අභියෝග රැසක් තිබෙනවා. මේ වනවිට අපි සාමූහිකව මේ අභියෝගයන් එකිනෙක ජයගනිමින් සිටිනවා.

දේශපාලන නායකයෙකු ලෙස නොවෙයි. මේ මාතෘභූමියට ආදරය කරන විශේෂයෙන් ම වෘත්තීය ගුරුවරයකු ලෙස කටයුතු කරන බිම් මට්ටමේ සිටින ජනතාවත් එක්ක ඉන්න සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට මට මගේ ජනතාව සමඟ මේ රජයේ ක්‍රියා කලාපය දකිද්දී පැහැදිලිව පෙනෙනවා. මේ රට ඉතා සාර්ථකව ගොඩනඟන්න පුළුවන්. දැනටමත් ගොඩනඟමින් සිටින දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව තිබෙන බව අමාත්‍යාංශ ගන්නා තීන්දු තීරණවලින් පෙනී යනවා. අඩු පාඩු තිබෙනවා. අඩු පාඩු නැතිව නොවෙයි. අපි ඒ අඩු පාඩුවලට හේතු හොයමින් විසඳුම් ලබාදෙමින් හැකි උපරිම අයුරින් මේ රට ගොඩගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් සිටිනවා. අමාත්‍යාංශ පිහිටුවලා තවම මාස හයයි. නමුත් සෑම අමාත්‍යාංශයක් ම මේ කෙටි කාලය තුළ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. දැනටමත් පේන වැඩ කොටසක් අපි කරලයි තියෙන්නේ.

වෙන කිසිම ආණ්ඩුවකට නොතිබූ දැවැන්ත ගැටලුවක් අපිට තිබෙනවා. ‍ඒ කොවිඩ් වසංගතය මුළු ලෝකයම වෙළාගෙන තිබෙන අවස්ථාවක තමයි අපි මේ සියලු කටයුතු කරන්නේ. රටේ මූල්‍ය වැඩි ප්‍රමාණයක් අද ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා අප රජය විසින් කොවිඩ් වසංගතය වෙනුවෙන් වැය කරනවා.

 

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කිරීමට රජයට නොහැකි වන්නේ ඇයි?

කොවිඩ් වසංගතයට අපගේ රට මුහුණ දෙන විදිය අසාර්ථකයි කියලා කාටවත් කියන්න බැහැ. රටක් හැටියට අපි ඒ සඳහා ඉතා හොඳින් මුහුණ දෙමින් සිටිනවා. පළමු රැල්ල අපි ඉතා හොඳින් පාලනය කළා. හැබැයි දෙවැනි රැල්ල පාලනය කිරීමට නොහැකි වුණා කියන චෝදනාව මේ ආණ්ඩුවට එල්ල කරන්න කාටවත් බැහැ.

විපක්ෂය බංකොළොත් වෙලා ඉන්න අවස්ථාවක රජයට එල්ල කරන බොරු චෝදනාවක්. ඇත්තටම මේ සඳහා පිළිතුරු ලබා දිය යුත්තේ අපි රටක් හැටියට ඉන්න ස්ථාවරය ගැන සතුටුවෙන ගමන්.

ලෝකයේ ප්‍රබල රටවල් කියන රටවල්වල දස දහස් ගණනින් මිනිස්සු මැරෙනවා. ලක්ෂ ගණනින් මිනිස්සු රෝගීන් බවට පත්වෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව කෑම වේලක් ලබාගන්න දිගු පෝලිම්වල සිටිනවා. සමහර රටවල ජනතාවට කන්න බොන්න නැහැ. රටක් හැටියට අපිට එවැනි තත්ත්වයක් නැහැ. අපගේ ජනතාවට රජය මේ පහසුකම් සියල්ල ලබාදෙනවා.

විපක්ෂය බලන්නේ කොරෝනාවලින් හරි මේ ආණ්ඩුව පෙරළා දමන්න. පසුගිය දවස්වල නැ‍ෙඟනහිර ජැටියේ එල්ලීලා ආණ්ඩුවට බොරු චෝදනා කළා. දේපළ රටේ සම්පත් විකුණනවා කියලා. කොරෝනා කියන්නේ ගෝලීය අර්බුදයක් දෙවන රැල්ල පැමිණෙන්නේ වෛරසය වෙනස් වෙලා. රෝගය බෝවීමේ වේගය ‍වැඩිවෙමින් එය පාලනය කිරීම ඉතාම අපහසු කාර්යයක්. නමුත් අපි මෙය ඉතා ඉක්මනින් අවසන් කරනවා. රටක් හැටියට සාර්ථකවම මේ වසංගතය හමුවේ එය පරාජය කරමින් සිටිනවා. කොවිඩ් එන්නත් ලක්ෂ 90 ගෙන්වීමට රජය, ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටිනවා. දැනටමත් කොරෝනා එන්නත රජය විසින් ලක්ෂ ගණනකට ලබාදෙමින් සිටින්නේ.

ඡායාරූපය - විමල් කරුණාතිලක

Comments