රෑනගල වලව්වෙන් කතා කළේ සමාජ සබඳතාවල ගැඹුරයි... | Page 3 | සිළුමිණ

රෑනගල වලව්වෙන් කතා කළේ සමාජ සබඳතාවල ගැඹුරයි...

නිර්මාණශීලි අධ්‍යක්ෂකවරයෙක් කැමරාකරණය පිළිබඳ අනිවාර්යයෙන්ම හොඳ හැදෑරීමක් කළ යුතුයි.
 
 
විෂය ගැන ශාස්ත්‍රීය හැදැරීමක් හෝ අත්දැකීමක් නැති සමහර නිෂ්පාදකවරු පවා අද අධ්‍යක්ෂවරු බවට පත්වෙලා. 

 

ජාතික රූපවාහිනියෙන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 9 ට ‘රෑනගල වලව්ව‘ ටෙලි නිර්මාණය ⁣විකාශනය වෙනවා. පාරම්පරික අර්ථ ක්‍රමය හා බැඳුණු වැඩවසම් සමාජ නෂ්ටාවශේෂ මතින්, පුද්ගල ජීවිත රටාව ගලාගෙන යන ආකාරය කලාත්මක ප්‍රවේශයකින් ‘රෑනගල වලව්ව‘ නිර්මාණයෙන් ගොඩනඟන්නේ සිනමා හා ටෙලි කැමරා ශිල්පියෙක් හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චන්දන ධර්මප්‍රිය විසින්.

 

“සුන්දර දර්ශන තලයක දිගහැරෙන ‘රෑනගල වලව්ව‘ පුංචි තිරයට රචනා කරන්නේ තරුෂි පෙරේරා විසින්. මේ ඇගේ කුලුඳුල් තිර රචනයයි‘. තරුෂි දීර්ඝ කාලයක් තිස්සේ ලැබූ රංගන අත්දැකීම් සමඟ ඈ පැමිණි ගමනේ තීරණාත්මක හැරවුමක් ‘රෑනගල වලව්ව‘ ඔස්සේ පෙන්නුම් කරනවා. යහපත් නිර්මාණයක් සඳහා අත්දැකීම් දක්වන පිටුබලය මොනතරම් ප්‍රබලද කියා පැහැදිලි කරගන්න ‘රෑනගල වලව්ව‘ කදිම නිදසුනක්.

‘රෑනගල වලව්ව‘ අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය ක්ෂේත්‍රයේ විවිධ පරාසයන්හි වෘත්තීය අත්දැකීම් සහිත නිර්මාණකරුවෙක්. ඔහු මුලින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්නේ ‘දූ දරුවෝ‘ ටෙලි නාට්‍යයේ ආලෝකකරණ ශිල්පියෙක් ලෙසයි. ඒ හරහා ඔහු ගොඩනඟා ගත් දැනුම හා ඥානය මේ රටට කෘතහස්ථ සිනමා හා ටෙලි කැමරා ශිල්පියෙක් බිහි කළා. චන්දන ධර්මප්‍රිය මේ වන විට සිය අධ්‍යක්ෂණයෙන් දායාද කළ ටෙලි නිර්මාණ විසි හතරක්, කැමරා අධ්‍යක්ෂණයෙන් ටෙලි නාට්‍ය සියයකට අධිකව සංඛ්‍යාවකට නිර්මාණශීලී දායකත්වය සපයා තිබෙනවා.

"අපේ රටේ වලව් සම්ප්‍රදාය පිළිබඳ බොහෝ සාහිත්‍ය නිර්මාණ බිහි වී තියෙනවා. ‘රෑනගල වලව්ව‘ පසුබිම වන්නෙත් එක්තරා වලව් පසුබිමක් සහිත ප්‍රේමවන්තයකු සහ වලව්වට සේවය කරන සේවිකාවකගේ නැඟණිය අතර ඇතිවන එනම්, සමාජ තල දෙකක ප්‍රේම සම්බන්ධයක්.

ග්‍රාමීය වටපිටාවක ජීවත්වන පුද්ගල චරිතයන්, කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික පසුතලය තුළ නිර්මාණය වන චරිත මෙන්ම විදෙස් රටක ජීවත් වූ වෙනස් අත්දැකීම් හා ආකල්ප සහිත චරිත එකිනෙකට ගැටෙන කතන්දරයක් මෙහි තිර රචනය වටා ගොනු වෙනවා. මේ ටෙලි වෘතාන්තය මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වේවි.“ චන්දනට තම නිර්මාණය තුළ ඇත්තේ එවන් තිර විශ්වාසයක්..

මෙම ටෙලි නාට්‍යයේ චරිත රූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම දක්ෂ යොවුන් නළු නිළි පිරිසක්. සාරංග දිසාසේකර, ආශා එදිරිසිංහ හා නිපුනිකා හේවාගමගේ මෙම ටෙලිනාට්‍යයේ තුන්කොන් ආදරයේ චරිතයි. මෙහි විශේෂත්වය වන්නේ ඉතාමත්ම ප්‍රබල චරිත කිහිපයක් මේ ප්‍රේම කතාව වටා ගොනු වීමයි. විශේෂයෙන්ම ‘රෑනගල වලව්වේ‘ ප්‍රතාපවත් කුල ගර්වයෙන් යුතු මවගේ චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනි සුවිනිතා වීරසිංහ ගොඩනඟන අතර සිය නැඟණිය වෙනුවෙන් සිය ජීවිතයම උකසට තබන සහෝදරියකගේ චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනි නයනා කුමාරි විසින් ප්‍රතිනිර්මාණය කරයි.

‘සපුමලි‘, ‘මල් දෙවැට‘,‘දියමත ලියමි‘, ‘දුටු නොදුටු මල‘,‘තව දුරයි ජිවිතේ‘, ආදි ටෙලිනාට්‍ය බොහොමයක් නිර්මාණය කළ චන්දන ධර්මප්‍රිය සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ‘රෝද හතරේ මනමාලයා‘ ටෙලි නාට්‍ය වෙනුවෙන් OCIC සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළේ හොඳම කැමරාකරණය සහ ආලෝක කරණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

"කැමරා අධ්‍යක්ෂවරයකු වීම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පහසුවක් විදිහටයි මම දකින්නේ. අද ගොඩක් අධ්‍යක්ෂවරු කැමරා කෝණ පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. නිර්මාණශීලි අධ්‍යක්ෂකවරයෙක් කැමරාකරණය පිළිබඳ අනිවාර්යයෙන්ම හොඳ හැදෑරීමක් කළ යුතුයි.

“ මම ක්ෂේත්‍රයට ආවේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවක් සම්පූර්ණ කරලා. ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරුන් නිර්මාණ අධ්‍යක්ෂකවරුන් යටතේ බොහෝ අත්දැකීම් ලබාගැනීමෙන් පසුවයි අධ්‍යක්ෂණයට පිවිසුණේ. අද විෂය ගැන ශාස්ත්‍රීය හැදැරීමක් හෝ ඇත්දැකීමක් නැති සමහර නිෂ්පාදකවරු පවා අධ්‍යක්ෂකවරු බවට පත්වෙලා. ඒ නිසා ඇතැම් නාට්‍ය ඉතාමත් හරසුන්. මම කැමරා කෝණයක් නිර්මාණය කරද්දී ඊළඟට සංස්කරණය වන රූපරාමුවක් මගේ මනසේ ගොඩනඟාගෙනයි අධ්‍යක්ෂණය කාර්යයේ යෙදෙන්නේ. ඒ නිසා මට මේ වෘත්තිය පහසු වෙලා තියෙනවා."

චන්දන ධර්මප්‍රිය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනාගන්නේ ඉතාමත් ඵලදායී ලෙස නිර්මාණයකදී කාලය කළමනාකරණය කරමින් වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි.

"ටෙලි නාට්‍යයක් වර්තමානයේ රූගත කිරීම් ඉතාමත් අභියෝගයක්. දර්ශන තලයකදී කැමරාව ස්ථානගත කරන්න අධ්‍යක්ෂවරයාට සහ කැමරා අධ්‍යක්ෂවරයාට සාකච්ඡා කර කිසියම් කාලයක් ඒ සඳහා වැය කරන්න වෙනවා. අද නිර්මාණයක් සඳහා කාලයත් අපිට ආයෝජනය කරන්න වෙලා. එක්දහස් නවසිය අනූ ගණන්වල ටෙලි නාට්‍යකට ගෙවූ මුදල අද අපිට ලැබෙන්නෙ නෑ. ඒ වියදම අප පියවා ගන්නේ කාලය උපරිමයෙන්ම නිර්මාණයට ගොනු කරලා. ඒ නිසා ටෙලි නාට්‍ය කර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්න අපට නිරන්තරයෙන්ම සිදු වෙනවා. එතනදි අනවශ්‍ය කාලය වැය නොකර නිර්මාණය විධිමත් සැකැස්මකට ගෙන එම නිසයි ඒ අගය කිරීම මට ලැබී තියෙන්නේ.“

අවසන් වශයෙන් සිහිපත් කළ යුතු අය ගැනත් අපි ඔහුගෙන් ඇහුවා.

"සුමිත්ත අමරසිංහ මහත්මා ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙක්. මා එතුමන් යටතේ මුලින්ම ඉගෙන ගත්තේ. එතුමගෙන් බොහෝ ගුරුහරුකම් ගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මගේ මුල්ම ටෙලි නාට්‍ය නාලන් මෙන්දිස් මහත්මාගේ ‘දූ දරුවෝ‘. එහි කැමරා අධ්‍යක්ෂවරයා වුණේ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි මහත්මයා. ඒ වගේම ඇන්ඩෘ ජයමාන්න, කේ.ඩී. දයානන්ද, චන්න දේශප්‍රිය වැනි කැමරා අධ්‍යක්ෂවරුන් යටතේ අත්දැකීම් ගොනු කරගන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මහේෂ් සත්සර මද්දුමආරචිචි මතක් කළ යුතුමයි. ඔහු තමයි ම⁣ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට මුලින්ම ආරාධනා කරන්නේ. “

චන්දන සිය අතීතය සිහි කරන්නේ හෘදයාංගම හැඟීමකින්. ‘රෑනගලවල්ව්ව‘ සමඟ නිවසේ ආලින්දයට එන මේ ප්‍රභාමත් නිර්මාණකරුවා සහෘද රසිකයන් වෙත ජීවිතාවබෝධය සමඟ වින්ඳනයක් ගෙනන නිර්මාණයක් තිළිණ කර තිබේ. එම නිර්මාණය විශේෂ වන්නේ ඒ නිසයි.

 

 

Comments