
සිංහල සිනමාවේ ආරම්භක අවධියේ පටන් අද දක්වාම කලා ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටීමට ලැබී ඇත්තේ කලාකරුවන් අතළොස්සකට පමණි. අද අප සමඟ කතාබහට එක් වන සුජාතා පරමනාදන් එවන් ප්‍රවීණ කලාකාරිනියකි.
ඇය දැන් ජීවත්වන්නේ මාතලේ හුලංගමුවේ සිය නිවෙසේය. අධ්‍යාත්මික නැඹුරුවක් සහිත සැහැල්ලු දිවිපෙවතකට යොමු වී තෘප්තිමත් ජීවිතයක් ගතකරමින් සිටින ඇය දැන් මුනුපුරු මිනිබිරියන් විසි හතර දෙනකුගේ අත්තම්මා කෙනෙකි, මී මුනුපුරන් හතර දෙනකුගේ මිත්තනියකි. මෑතක් වනතුරු නිර්මාණවලට එක් වුවද ඉදිරියේ දී වෙළෙඳ දැන්වීම් සඳහා පමණක් පෙනී සිටීම ඇයගේ අභිප්‍රාය ය. යුගයක් ආවරණය කළ මේ ආදරණීය කලාකාරිනිය බොහෝ සාද කතාවෙන් අනතුරුව අප හා පිළිසඳර ඇරඹුවාය.
“මම පොඩි කාලේ ඉඳන්ම රුක්මණී දේවියගේ ගීත අහන්න ප්‍රියයි. ඒ දවස්වල ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ආරම්භ වෙලා තිබ්බෙත් නැහැ. මම ඒ දවස්වල ඉගෙන ගත්තෙ මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයේ. මගේ යාළුවෙක්ට රුක්මණී දේවියගේ දුරකථන අංකය ලැබිලා තිබුණා. මම ඒ අංකයට කෝල් එකක් ගත්තා. අතිශයින් නිහතමානී තැනැත්තියක් වුණු ඇය මට දවසක් මීගමුවට එන්න කියලා ආරාධනාවකුත් කළා.“
“ මමයි තාත්තයි ඇයව බලන්න මීගමුවට ගියා. අපි යද්දි ගේ ඉස්සරහ එඩී ජයමාන්න මහත්මයා හිටියා. අපෙන් විස්තර ඇහුවා. “ආ මේ මාතලේ ළමයා නේද, ඉන්න මම ඩේසිට කතා කරන්නම්. ඩේසි නාන්න යන්න හදන්නේ. දැන් ගියොත් පැය ගානකට එන්නේ නෑ“ කියලා හිනාවෙවී ගියා.
“මාව දැකලා ඩේසි අක්ක ගොඩක් සතුටු වුණා. ටිකක් වෙලා කතා කරලා ඇය මගෙන් ඇහුවා අලුතෙන් හදන චිත්‍රපටයක ඇගේ නංගිගේ චරිතය රඟපාන්න කැමතිද කියලා. මට අදහගන්න බැරි වුණා. පස්සේ අපිව බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න මහත්තයව මුණගැහෙන්න එක්කගෙන ගිහින් මාව අඳුන්වලා දුන්නා. ඒ වෙලාවෙම අහම්බෙන් වගේ ස්ටැන්ලි පෙරේරා මහත්මයත් එතනට ආවා. මගේ සතුට දෙගුණ තෙගුණ වුණා. මොකද මම රුක්මණී දේවියට වගේම ස්ටැන්ලි පෙරේරාටත් ඉතා ප්‍රිය කළා.“
රුක්මණී දේවිය සුජාතා පරමනාදන්ව තෝරා ගෙන තිබුණේ ‘දෛවයෝගය‘ චිත්‍රපටයටය. ඇයට රඟපාන්නට නියම වී තිබුණේ ‘ලංකා කුමරිය‘ගේ චරිතයය.
“ ඒ චිත්‍රපටය ප්‍රමාද වුණා. ඒ නිසා ඒ අවස්ථාව මට මඟ ඇරිලා ගියා. මම ඒ දවස්වල කොළඹ නෑ කෙනෙක්ගේ ගෙදරයි නැවතිලා හිටියේ. දවසක් මොහොදින් බෙග් මහත්තයයි පී.එල්.ඒ සෝමපාල මහත්තයයි මාව දැකලා ‘අසෝකා‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් ඊට කලින් මගේ තවත් ඥාතියෙක් සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් මහත්මයාට හඳුන්වා දී තිබුණා. ඒ හරහා ‘වරද කාගෙද‘ චිත්‍රපටයේ රීටා රත්නායකගේ යෙහෙළිය විදිහට රඟපෑමේ අවස්ථාව ලැබුණා. “
චිත්‍රපට මාලාවක රඟපෑමෙන් පසු ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ චිත්‍රපට සඳහා එක් වීමට අවස්ථාව ලැබුවාය.
“කරුණාදේවී සිරිවර්ධනගේ (ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධනගේ මව) ‘කුණ්ඩලකේශී‘ නාට්‍යයේ මම රඟපෑවෙ කුණ්ඩලකේශී චරිතය. ඒ නාට්‍යයේ මගේ ඡායාරූපයක් පුවත්පත්වල පළ වෙලා තියෙනවා දැකලායි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මාව ‘දෙලොවක්‘ අතර චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ. ඊට පස්සේ ‘රන් සළු‘ චිත්‍රපටයෙත් මම රඟපෑවා.“
ඇයට වේදිකාවත් හුරුය. කිංස්ලි ජයසේකරගේ ‘සුන්දර සැමියා‘ වේදිකා නාට්‍යයේ සිට වේදිකා නාට්‍ය කීපයකට ඇය එක් වූවාය. ඇගේ මුල්ම ටෙලි නාට්‍යය වූයේ එච්.ඩී ප්‍රේමරත්නගේ ‘සඳුන්ගිර ගිනිගනියි‘ ටෙලි වෘතාන්තය ය. අනතුරුව ඇය ටෙලි නාට්‍යය 24කට සම්බන්ධ වූවාය.
රුක්මණී දේවියගේ මරණයෙන් පසු ඇය රඟ පෑ ‘සිවම්මා ධනපාල‘ වේදිකා නාට්‍යයක ‘සිවම්මාගේ‘ චරිතයට තෝරා ගන්නේ සුජාතා පරමනාදන්වය. එහෙත් එක් නිළියක් ඒ චරිතය අභිප්‍රායෙන් ගැටලු අැතිකරන බව තේරුණු පසු සුජාතා එම චරිතය අත්හරින්නීය.
“ මම සමාජ සේවයට ඉතාම ප්‍රියයි. 1961 දී අස්ගිරිය පල්ලේසිය පත්තුව ගම් කාර්‍ය සභාවට තරග වැදුණා. ඒ වෙනකොට මට වයස අවුරුදු විසි දෙකයි. ලංකාවේ ළාබාලතම ගම්සභා මන්ත්‍රීවරිය වුණේ මම. ඒ වගේම මහජන ඡන්දයක් ජයගත් පළමු නිළිය මම.
ඇය විවාහ වන්නේ වයස 16නි. සුජාතා රූ රැජින තරගවලට සහභාගී වන්නේ විවාහයෙන් පසුය. ඒ වන විට ඇය ආදරණීය මවකි. “ සෑම තරගයක දීම මගෙ දරුවො ගැන ප්‍රසිද්ධියේ කිව්වා. ඒ නිසා විනිශ්චකාරවරුන් අතින් යම් තාක් දුරකට අසාධාරණකම් සිද්ධ වුණා. වර්ෂ 1955 ටයිම්ස් රූ රැජන තරගයේ අවසන් වටයට තේරුණා. 1956 පංච කල්‍යාණි තරගයේ තුන්වැනි තැන ලැබුණා. 1957 දී ඔබ්සර්වර් මිස් ලංකා තරගයේ අවසන් වටයට මම තරග වැදුණා. 1961 දී බෙල් ඔෆ්ද ඉයර් තරගයෙනුත් තුන්වැනියා වුණා. ඒ අවස්ථාවේදී මට පළමු තැන ලැබිය යුතුයි කියලා ප්‍රේක්ෂකාගාරයෙන් විරෝධයකුත් ආවා.
පස්සෙ කාලෙක මිසිස් ශ්‍රී ලංකා තරගය හඳුන්වා දෙන්නත් එදා ඒ ඇති වූ විරෝධතාව එක හේතුවක් වුණා. 1985 දී පැවැත්වුණු චාමින් ග්‍රෑන්ඩ්මදර් තරගයෙන් පළවෙනි ස්ථානයත් මම දිනා ගත්තා.
“ මගේ සැමියාගේ සහයෝගය නොතිබෙන්න මේ කිසිවක් නෑ. ඔහු බර්නාඩ් පරමනාදන්. අපේ පවුලේ පුතාලා 6 දෙනෙක් සහ දුවලා තුන් දෙනෙක්. මාගේ සැමියා 1980 දී හෘදයාබාධයකින් මිය ගියා. මීට වසර කීපයකට පෙර මගේ පුතුන් දෙන්නෙකුත් නැතිවුණා. මම හිතන විදිහට මගේ ජීවිතයේ කනගාටු වෙන්න තියෙන එකම දේ ඔවුන්ගේ සමුගැනීම.“
“ මගේ මවුපියන්වත් මතක් කරන්න ඕන. තාත්තා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. තාත්තා තමයි නිළියක් වෙන්න මට උදවු කළේ.“
සිංහල සිනමා වංශ කතාවේ පුරාවෘතයක් බඳු මේ මිත්තනිය සමඟ ගෙවූ හරවත් පිළිසඳර නිමා කළේ ජීවිතයට බොහෝ දේ ද එක් කරගනිමිනි.