
කොරෝනාව සහ සිනමාව ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාවට අදාළව එහි වෙනසක් තිබෙන බව පෙනේ. එනම් කොරෝනාව තිබුණත් නැතත් මේ රටේ මිනිසුන් දැන් කලෙක සිට චිත්‍රපට බලන්නේ නැති බවය. මේ අදහස කියවෙන්නේ චිත්‍රපට ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස් අතරින් ම වීමද විශේෂත්වයකි. චිත්‍රපටකරණයට විවිධ අයුරින් සම්බන්ධ කිහිප දෙනෙකු හා මේ කතාබහ කිරීමට අප තීරණය කළේ එහෙයිනි.
නැහැ මිනිස්සු චිත්‍රපට බලනවා!
චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ
මිනිස්සු චිත්‍රපට බලනවා. නොබලනවා නොවෙයි. උදාහරණයක් වශයෙන් මම අන්තිමට කරපු චිත්‍රපට දෙක වන “ආදරණීය කතාවක්” සහ “දේදුනු ආකාසේ” යන චිත්‍රපට දෙකම ඉහළම ප්‍රේක්ශක ප්‍රතිචාර වලට ලක්වුණා. ඒ 2017 සහ 2018 යන වර්ෂවලදී. ඒ වගේ ම ආචාර්ය සෝමරත්න දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ගිරිරාජ් කෞශල්‍ය ආදී සිනමාකරුවන්ගේ චිත්‍රපට ප්‍රේක්ශකයා නරඹනවා.
ප්‍රේක්ශකයා නොබලා අත් හරින්නේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් නොවන චිත්‍රපට පමණයි. මා චිත්‍රපට දෙස බලන්නේ සම්භාව්‍යද වාණිජ ද කියන අරමුණු වලින් නොවෙයි. එය හොඳ චිත්‍රපටයක් ද නරක චිත්‍රපටයක් ද කියන තැන සිටයි.
සිනමා විනිශ්චය මණ්ඩල සහ විචාරකයින් මේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වී නොමැති කමත් මේ ගැටලුවට හේතුවක්.
ආශාව
ඇති කළ යු තුයි!චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්‍ෂක බෙනට් රත්නායක,
චිත්‍රපට බලන්න මිනිස්සු හරි ආසයි. ළමයින්, තරුණ තරුණියන් පමණක් නොවෙයි මැදි වියේ අය පවා කැමැතියි. මොකද තමුන්ගේ ඒකාකාරී ජීවන පරිසරයෙන් දුරස්වී අලුත්ම අත්දැකීමක් ලබන්නට සිනමාව තරම් වෙනත් අපූරු සංස්කෘතික විනෝද මාධ්‍යයක් මිහිතලය මත නැහැ. එය කිසි දිනක නිවසේ රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට හෝ පරිගණක තිරය ඉදිරියේ සිට ලබාගත හැකි දෙයක් නොවෙයි.
ප්‍රේක්ෂකයාගේ මෙම අත්දැකීම වඩාත් හොඳින් ලබා දිය හැකි පරිසරයක් සිනමා ශාලා තුළ ඇතිකර දිය යුතුයි.
ඒ සඳහා තාක්ෂණයේ දියුණුව, ආකල්පමය වශයෙන් වෙනසකට භාජනය වූ සුහදශීලී කාර්යමණ්ඩල ඇති කිරීම සහ ප්‍රේමණීය වශයෙන් හෝ සන්ත්‍රාසමය වශයෙන් හෝ හාස්‍යමය වශයෙන් හෝ හදවතට දැනෙන ආකාරයේ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම ආදී කාරණා නිසි පරිදි ඉටුවිය යුතුයි. ජනතාව තුල චිත්‍රපට වලට වූ කැමැත්ත එවිට යළි අවදි වේවි.
ප්‍රේක්ෂකයාට හෝල් එකෙත් ටෙලි නාට්‍ය බලන්න ඕන නැහැ!
ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ
ප්‍රේක්ෂකයා චිත්‍රපට නැරඹීමෙන් ඈත්වීමට ඉතා සාධාරණ හේතු කීපයක් තිබෙනවා. යම් අයෙකු සිනමා ශාලාවකට ඇතුලුවන්නේ රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් නරඹනවාට වඩා වෙනස් අත් දැකීමක් ලබා ගැනීමට. නමුත් චිත්‍රපට ශාලාවේදීත් බොහෝ විට සිනමා පටය තුලින් අත් විඳින්නට ලැබෙන්නේත් ඒ විදියෙ අත් දැකීමක් නම් ප්‍රෙක්ෂකයා චිත්‍රපට නැරඹීම නතර කිරීම පුදුමයක් නොවෙයි. දෙමල, කේරළ සහ කර්ණාටක වැනි චිත්‍රපට සඳහා මේ විදියට ප්‍රේක්ෂකයා නැතිවුනේ නැත්තෙ ඔවුන් එවැනි තත්වයකට පත් නොවුණ නිසා.
ඔබට හැකි නම් ඔබේ තරුණ දුවට හෝ පුතාට “දඩයම” වැනි චිත්‍රපටයක් නැවත තිරගත කර පෙන්වන්න, අන්තර්ජාලයෙන් ලෝකයේ හොඳම චිත්‍රපට බලන මේ ළමයි පවා ඔබෙන් අහයි “ ඇයි අම්මෙ, තාත්තෙ අද මේ වගෙ චිත්‍රපට පෙන්වන්නෙ නැත්තෙ කියල?” ඒ තමයි මේවා චිත්‍රපට මාධ්‍යය හරියට අඳුන ගත්ත කලා කරුවන්ගෙ නිර්මාණ වීම. අද ඒ වගෙ නිර්මාණ නැති වීම මේ ප්‍රශ්නයේ එක පැත්තක්.
අනෙක් කරුණ තමයි අද රට පුරා ඇති බොහෝ සිනමා ශාලාවල තාක්ෂණික දියුණුවත් සමඟ තැනෙන චිත්‍රපට රස විඳීමට හැකි තාක්ෂණයක් නොතිබීම. ඉන් කලාකරුවාට වගේම ප්‍රේක්ශකයාටත් අසාධාරණයක් වී තිබෙනවා. නිර්මාණාත්මක වශයෙන් ගත්විට අපගේ චිත්‍රපටවලින් කාලීන සමාජ විපර්යාසයන් සහ ඓතිහාසික සංසිද්ධීන් ග්‍රහණය කර ගන්නවා ඉතාමත් අඩුයි.
හිට්ලර්ගේ යුද්ධය ගැන අදටත් ලොව පුරා හොඳම චිත්‍රපට හැදෙනවා. නමුත් තිස් අවුරුදු යුද්ධයකුත් තරුණ කැරලි දෙකකුත් සිදු වුණු මේ රටේ ඒ දැවැන්ත අත් දැකීම් සම්භාරයෙන් කොයි තරම් අඩු ප්‍රමාණයක්ද අපි ස්පර්ශ කරල තියෙන්නෙ? ඉතින් මෙවැනි තත්වයක් යටතේ මිනිස්සු සිනමා ශාලාවලින් ඈත් වෙන එක පුදුමයක් නොවෙයි.
අද, සිනමා ශාලාව චිත්‍රපට බලන්න සුදුසු තැනක් නෙමෙයි!
සුදත් සේරසිංහ -සභාපති මීපුර සිනමා සංවාද කුලකය
මම දකින පළමුවැනි වැනි හේතුව තමයි සිනමා කෘතියකින් වින්දනයක් ලැබිය හැකි පරිසරයක් සිනමා ශාලා තුල දක්නට නොලැබීම. මෙය පැති කීපයකින් නිවැරදි කර ගත යුතු කාරණයක්. සිනමා ශාලාවකට ගොඩවෙන අපට චිත්‍රපටය පටන් ගන්නා තුරු ඉන්නට සිදුව ඇත්තේ අපිරිසිදු වැසිකිලි වලින් හමන මුත්‍රා ගඳ ආශ්වාදනය කරමින් . ප්‍රවේශ පත්‍ර නිකුත් කරන තුරු වාඩිවෙන්නට සිදුව ඇත්තේ කැඩුණු පුටු කබලක දෙකක.
ශාලා සේවකයින්ගේ මානසිකත්වය තවමත් හැටේ හැත්තෑවේ දශකයේ පෝලිම පනින මිනිසුන්ට ගහන්න බනින්න සූදානම් වුණ තත්ත්වයෙන් එහාට ගිහිල්ල නැහැ.
හුඟක් සේවකයින් හිතන්නේ තම අනුග්‍රාහකයින්ට ගෞරවනීය ලෙස සැලකීම හෝ සිනාමුසු මුහුණින් පිළිගැනීම පාපයක් ලෙසයි.
විවේක කාලයේදී අලෙවි කරනු ලබන්නේ කිසිදු ප්‍රමිතියකට අයත් නොවන කෑම සහ බීම වර්ග. ඒවා වුවත් නියමිත ගණන් වලට වඩා අධිකයි. ප්‍රේක්ශකයාට ඒ ගැන විමසන්නට අයිතියක් නැහැ. වායු සමීකරණය කෙසේ වෙනත් විදුලි පංකා පවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ කලාතුරකින්.
ප්‍රක්ෂේපණය සිදු වන්නේ අඩු වැඩි වෙමින්. පිටුපස දොරටුව නිසි පරිදි වසනු ලබන්නේ පැය කාලකට පමණ පසුව. ඒ නිසා කොතරම් කලාත්මක චිත්‍රපටයක් වුවත්, මුල් කොටස් දැක ගන්නට සිදුවන්නේ අවුල් වූ මනසකින් යුතුව. බොහෝ සිනමා ශාලාවල කලා කෘතියක් ආශ්වාදනය උදෙසා වූ මානසික සන්සුන් බව ඇති කරවන පරිසරයක් නිර්මාණ වී නැහැ. මේ විසිවන සියවසේ අන්තර්ජාලයෙන් හෝ ලෝකය දකින මිනිසාට පැය තුනක් සිරගත වී චිත්‍රපට මේ විදියට චිත්‍රපට නරඹන්නට කිසිම උවමනාවක් නැහැ.