
නිල් මී පුංචෝ මට වතුර ටිකක් දීපන්!
නිල් මී පුංචෝ මට වතුර ටිකක් දීපන්!
නිල් මී පුංචෝ මට වතුර ටිකක් දීපන්!
අනේ නිල් මී පුංචෝ මට වතුර ටිකක් දීපන්!
කිරිස්ක් වතුර ඉල්ලා හඬා බැරිම තැන පෙර දවසක අම්මා කියූ කවියක් මිමිණුවේ ය. කුඩා සන්දියේදී වරක් දැඩි සේ උණෙන් රෝගාතුර වූ කිරිස්ක් අම්මාගෙන් බීමට යමක් ඉල්ලා සිටියේ ය. එහෙත් තෙත රෙදි කැබැල්ලකින් දෙතොල පිහිදැමුවා විනා ඇය කුඩා කිරිස්ක් ට වතුර නොදුන්නා ය. ඔහු කෙසේ හෝ පිපාසය දරා සිටිය යුතු යැයි ද එසේ කළ විට ඉක්මනින් ම රෝගය පහව යනු ඇතැයි ද කියූ අම්මා කොතරම් පිපාසය දැනුණත් වතුර නොබොන්නයි බල කර සිටියා ය.
“ඉවසපන් වස්තුවේ!” ඇය කීවා ය. “හෙට උදේ වෙද්දී ඔයාට හොඳ වෙයි. පුංචි නිල් මීයෝ මට වතුර ටිකක් දෙන්න කිය කියා ඉන්න, අන්න එතකොට මයෙ පුතාට සහනයක් දැනෙයි. ඔයා එහෙම කරලා බලන්නකෝ. නිල් පාට පුංචි මීයට කතා කරලා ඔයාට වතුර ටිකක් අරන් දුවන් එන්න කියන්න... හැබැයි ඔයා ඒක හරි ම හිත් ගන්නා ආකාරයටයි කියන්න ඕන....”
උණ නැඟ ඒ විකාරයෙන් පවා පුංචි නිල් මීයාගෙන් වතුර ඉල්ලූ පුංචි කිරිස්ක් ට පුංචි නිල් මීයා වතුර රැගෙන ආවේ පාන්දර ජාමයේ ය. ඔහුට මහත් සහනයක් දැණිනි. රාත්‍රියේ දිය රැගෙන පැමිණි පුංචි නිල් මීයා පිළිබඳව මතකය ඔහුගේ හදවතේ තැන්පත් වූයේ එපරිද්දෙනි.
කියවා නොමැති නම් අතට ගෙන බලනු මැනවි, කීරිගීසියේ අසහාය ලේඛකයා චිංගීස් අයිත්මාතව් ලියූ ‘ධීවර ගීතය’ නම් කෙටි ගද්‍ය ආඛ්‍යානය. ජීවත්වීමට අසීරු ම අවස්ථාවේ පවා ජීවත්වීමට අවශ්‍ය ශක්තිය ලබාදෙන මාහැඟි ගද්‍ය කෘතියකි එය.
ජීවිතය අප බලාපොරොත්තු වෙන දේ එක්වර ම, එක් විට ම ලබා දෙන්නේ නැත. සෑම විට ම හොඳ, සතුටු දේ ම පමණක් සිදු වන්නේ නම් අසීරු, දුෂ්කර දේ ගැන අප දැනගන්නේ කෙසේ ද?
දුෂ්කරය කියා ජීවිතය අතහැර දැමිය නොහැකි ය. ජීවත්වීමට ඉතාමත් ම අසීරු යි, ඒ අසීරුව ජයගැන්ම සඳහා වෙන ක්‍රමයක් නැත් ද? ඔබ අසනවා නිසැකයි. එහෙත් ජීවත් වීම ගැන තව කිසිවකුට හෝ කියා දිය හැකි ද? එය තම අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ම ළඟා කර යුතු දැකීමකි; ඉගැනීමකි.
මෙය තේරුම් ගැනීම සඳහා නිදසුනක් සපයා දිය හැකි බැව් ම සිත පවසයි. ළමයෙක් තමාට හෝඩිය ඉගෙනීමට අවශ්‍ය නිසා අකුරු කියවන්නේ කෙසේ දැයි ඔබෙන් අසා ඇතිවාට සැක නැත. මගෙන් නම් අනන්ත වාරයක් අකුරු කියන්නේ මොනවාදැයි කුඩා දරුවන් අසා තිබේ. අනතුරුව හෝඩි පොත ගන්නා දරුවා අ, ආ, ඇ, ඈ යනුවෙන් අකුරු ඉගෙනීමට පටන් ගනී.
එහෙත් දරුවා ඒ කරන්නේ අකුරු නමැති සංකේතය ඉගෙන ගැනීමකි. එබැවින් ඔහු අකුරු දෙස බැලීමක් කරයි. අනතුරුව ඔහු අකුරු ඉගෙනීම සඳහා යම්කිසි පිළිවෙළක්, ක්‍රමවේදයක් ඉගෙන ගනියි. ඉන්පසුව ඔහු එය ප්‍රගුණ කරන්නේ ය. එවිට කුමක් ද සිදුවන්නේ...
මේ ලෝකයට අලුතින් පිය නැඟූ ඒ දරුවා ද යාන්ත්‍රික තත්ත්වයකට වැටීම ය. ඒ පවතින තත්ත්වයෙන් ම දෙයක් ප්‍රගුණ කිරීම යාන්ත්‍රික ක්‍රියාවලියක් බැවිනි. එහෙත් අවශ්‍ය වන්නේ සජීව ලෙස වටහා ගැන්මකි.
සජීව දෙයක්, ක්‍රමයක්, ප්‍රගුණ කිරීමෙන් වටහාගත නොහැකි ය. අවශ්‍ය වන්නේ එය දැකීමයි, වටහා ගැන්මයි; අනතුරුව ඒ හා ගමන් කිරීමයි.
මෙය බොහෝ දෙනකුට අසීරු, අමාරු කාර්යයකි. ඒ නිසා බොහෝ දෙනා ඉක්මන්, කෙටි මාර්ග සොයති. එහෙත් ජීවත් වීම ඉගෙන ගැනීමට නම් කෙටි මඟක් නැත. ඒ සඳහා කළ යුතු වන්නේ ඉවසිලිවන්තව තමා ම, තමාගේ අදහස් අවබෝධ කොට ගැන්ම හා නිරීක්ෂණය කිරීම ය. ඒ සඳහා මහත් උනන්දුවක්, ආශාවක් ඇතිකර ගත යුතුයි.
ජීවිත පරිඥානයෙන් ජීවිතය උගැන්ම පහසු නොවන්නේ එබැවිනි.
වතුර බිඳක් හෝ බීමට නොමැති ව වරෙක ක්ලාන්ත වෙමින්, නැවත සිහිය ලැබෙමින් මහ මුහුද හා ජීවිතය සමඟ සටන් කළ කිරිස්ක් පුල්ලි බලුකන්ද වෙත එමින් සිටියේ ය. ඔහුට ඉතිරිව තිබුණේ ජීවත් වීමෙන් ම උගත්, ඒ පරිඥානයෙන් ම රැක ගත් ජීවිතය පමණී.
වෙරළ දිගේ දිව යන පුල්ලි බල්ලෝ
ඔර්ගන් අක්කා අහිමි ව
මගෙ තාත්තා එම්රේන් අහිමි ව
මගෙ මාමණ්ඩි මිල්ගන් අහිමි ව
හුදෙකලාවේ මම ආපසු එන්නෙමි
ඒ අය කොහිදැයි මගෙන් අසාපන්
ඊට කලින් දිය බිඳුවක් දීපන්....
ඔහු ගැයූ ඒ ගීතය සිය ජීවිතය අවසන් වන දිනය දක්වා ම අනිවාර්යයෙන් රැකගත යුතු ඔහුගේ ම ජීවන ගීයේ ආරම්භක පද බැව් ඔහු වටහා ගත්තේ ඔහුගේ ම ජීවිතයට කන් දෙමිනි.
අපහසුය කියා අත් හැරිය නොහැකිය ජීවිතය. ජීවත් වීම අපහසු වන්නට වන්නට එය ජීවන ගමන සුන්දර කරනවා නොවේ ද?ලේඛනයේ රන්සුනුත් එලෙස ම ය. සොයා යන්නේ නම් මිස ඒවා ළඟට ලැබෙන්නේ නැත.