නෙළුම්විල | Page 2 | සිළුමිණ

නෙළුම්විල

වඩේ රසය

දුර ගමනක් ගොස් ආපසු එමින් සිටි මම තේ එකක් බොනු පිණිස නගර මායිමේ තිබූ හුදෙකලා පුංචි කඩය ඉදිරියේ යතුරු පැදිය නැවැත්වීමි. එහි කැෂියර් වැඩේත්, වේටර් වැඩේත්, ටී මේකර් වැඩේත් කරන මා දන්නා හ‍ඳුනන තරුණ හිමිකරු මට හිනාවක් පා “එන්ඩ අයියේ ” යි කියමින් මා පිළිගත්තේ ය.

මම පුටුවකට බර දුනිමි.

“මල්ලි, මට කන්ඩ මොනව හරි පුංචි දේකුයි, ප්ලේන්ටියකුයි දෙන්ඩකො”

“දැං බාපු උණු උණු වඩේ තියෙනව”

“ගේන්ඩ! ගේන්ඩ!”

මම උණු වඩයක් චර බර ගා හපන්නට විමි. කුසගින්නේ පසු වු මට එය අමාරසක් සේ දැනෙන්නට විය.

එහා මේසයෙන් අපේ ගමේ මූණක් මතු වූයේ මා වඩේ කමින් සැහැලුල්වෙන් වට පිට බලද්දීය. මුව පිසදාමින් මට කිට්ටු කළ ඔහු “වඩයක් කෑව මල්ලි” යි කියමින් කැෂියර් මේසය පැත්තට ගියේ ය.

කඩේ රේඩියෝවෙන් මා ආසා කළ පරණ ගීයක් ඇසෙන්නට විය. කැෂියර් මේසය පැත්තෙන් නැගුණු දෙබස ඒ මැදින් වුව මට පැහැදිලි ව ඇසිණ.

“මගෙ ගාණ කීයද?”

“මොනවද ගත්තෙ?”

“වඩේ එකයි, ප්ලේන්ටියයි”

“පනහයි”

“ආ”

“මහත්තය, රුපියල් පනහ ගන්ඩ රුපියල් පන්දාහෙ කොළේ දික්කරන එක සාධාරණද? මට රුපියල් පනහක් දෙන්ඩ!”

“මං සන්තකේට තියෙන්නෙ මෙච්චරයි. මේකෙං ඔයාගෙ ගාණ ගන්ඩ!”

“ඔයා කියන්නෙ මට දැං බැංකුවට ගිහිං මේක මාරු කරං එන්ඩ කියලද?”

“මං එහෙම කියන්නෙ නෑ. මං කියන්නෙ මේකෙං ඔයාගෙ ගාණ ගන්ඩ කියල විතරයි”.

“මහත්තය, මේක ඔය පන්දාහෙ කොළ මාරු කරන්ඩ පුළුවං තරං ලොකු බිස්නස් තියෙන කඩයක් නෙමේ. රුපියල් දාහක් උණත් මාරු කරන්නෙ අමාරුවෙං. බොරුද කියල මේ බලන්ඩ! මං ලාච්චුව ඇරල පෙන්නන්නං. මේ බලන්ඩ!”

“මං ඒකට මොනව කරන්ඩද? මං ළඟ තියෙන්නෙ මෙච්චරයි ”

කැෂියර් ලාච්චුව දඩාස් ගා වැසූ කඩ හිමිකරු තේ හදන තැනට වේගයෙන් ගොස් මගේ තේ එක හදන්නට පටන් ගත්තේ ය. ඔහු ගේ කෝපය මගේ තේ එක හැදිල්ලෙන් පිටවෙන්නා සේ ය.

දෙදෙනා ම මා දන්නා අය බැවින් ගැටුම දුර දිග නොයවා ගොඩින් බේරා දීම මගේ යුතුකම යැයි සිතූ මම කඩහිමි තරුණයා ඇමතීමි.

“මල්ලි, එයාගෙ ගාණත් මගෙං ගන්ඩ! මං ඒක එයත් එක්ක බේර ගන්නං ” මගේ ඉදිරිපත් වීම ගමේ මිනිහාගේ ජයග්‍රහණයක් විය.

“ආං දැක්කද? මෙයා අපේ ගමේ මල්ලි කෙනෙක්. අපි ගමේ හොඳ කොල්ලො. හරිද? ඔය පොඩි දේටනෙ ඔයා කේන්ති ගත්තෙ!”

තේ එක ගෙනැවිත් මා ඉදිරියේ තැබූ කඩහිමි තරුණයා සිය පාරිභෝගිකයා වෙත කෙළින් ම හැරුණේ ය.

“මේ මහත්තය, ඔයා මීට පස්සෙ මෙහෙ නාවට කමක් නෑ ”

“ඔයා කොහොමද එහෙම කියන්නෙ? ‍මේවට අපිට එන්ඩ බැරි නං කාටද එන්ඩ පුළුවං? ”

“මේ මහත්තය, ඔයා යන්ඩ කලිං මේ ටිකත් අහගන්ඩ! වඩයක් කාල, ප්ලේන්ටියක් බීල රුපියල් පනහ ගන්ඩ කියල ඔයා රුපියල් පන්දාහෙ කොළේ දික්කරපු දෙවෙනි දවස අද!”

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි. 


දානෙ ගෙදර

එය අප නෑයකු ගේ තෙමස් දාන පින්කම් දිනය විය. හාමුදුරුවන් දානය වළදා නික්ම ගිය පසු ගෙදර ඇත්තෝ අපට වතුර ඇල්ලූහ. කුසගින්නක් නොදැනුණ බැවින් අපි මිදුලට වී කතා බහේ යෙදී සිටියෙමු.

දානෙ ගෙදරට පැමිණ සිටි නෑයන් අතර කුඩා දරුවෝ රැසක් වූහ. එක් දරුවෙක් බත් පිඟානක් බෙදා ගෙනැවිත් පුටුවක හිඳ කෑමට පටන් ගත්තේ ය. ඒ දුටු සෙසු දරුවන්ට ද බත් කෑමට උවමනා විය. මාපියෝ ඔවුනට අහර බෙදා දුන්හ. දරුවෝද අහර පිඟන් උස්සා ගෙනැවිත් බුදින්නට පටන් ගත්හ.

මාපියන් සිය දරුවනට බෙදා දී තිබුණේ පිඟන් පිරී යන සේ ය. ඒවා ඔවුනට වැඩි විය.

මිදුලේ කෙළවර ඉඳුල් දැමීමට ප්ලාස්ටික් කූඩයක් විය. මුල් දරුවා අහර කා හමාර කොට කා ගත නොහැකි ඉතිරිය එහි හැළීමට යනු දුටු එක්තරා වැඩිහිටියෙක් ඔහු ගේ ගමන නැවැත්තුවේ ය.

“පුතේ මෙහෙ එන්ඩ!”

දරුවා පිඟාන රැගෙන ඔහු වෙත ආවේ ය.

“පුතේ, බත් අහක දාන්ඩ හොඳ නෑ. ඒක අපරාධයක්! ඕක මට දෙන්ඩ!”

දරුවා පිඟාන වැඩිහිටියාට දී වතුර බොන්නට දිව්වේ ය. වැඩිහිටියා එය බුදින්නට පටන් ගත්තේ ය. “බත් අපතෙ දාන එක මට පෙන්නන්ඩ බැරි වැඩක්!” ඔහු බුදින අතර අපට කීවේ ය.

විටින් විට කුඩා ළමයි ඉතිරි අහර හළන්නට කූඩය ළඟට ආහ. වැඩිහිටියා ඔවුන් ගේ අහර ද බුදින්නට පටන් ගත්තේ ය.

කෙමෙන් දරුවන් ගේ පැමිණීම වැඩි විය. වැඩිහිටියාට ද ඒවා කා දැමීම අමාරු විය. එවිට ඔහුට කේන්ති ගියේ ය. ඔහු වහා ම අපේ දසුනින් ඉවත් විය.

“දැක්කද මාමට වෙච්ච දේ! ඉතුරු බත් කන්ඩ ගිහිං දානෙ කන්ඩත් නැතුව ගියා!” යොවුන් දැරියක් අතින් කට වසාගෙන සිනාසුණා ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, 
ලේක්හවුස්, කොළඹ 10. 

Comments