යටපත් කර දමන ලද්දන්ගේ සාහිත්‍යය | සිළුමිණ

යටපත් කර දමන ලද්දන්ගේ සාහිත්‍යය

වසර විසි ගණනකට පසුව යුරෝපයට එළඹුණ දීර්ඝ දහවලක් සහිත 2018 වසරේ ගිම්හානයේ එදින ‘ෂෙපර්ඩ්ස් බුෂ්’ උමං දුම්රියපළ ආසන්නයේ අතුරු මගෙක අප ඉදිරියට ඇදෙද්දී උස්බෙක්-රුසියානු-ඉංග්‍රීසි ලේඛක හමීඩ් ඉස්මායිලොව් එක්වරම මගේ අත අල්ලා මා නතර කළේය. මම මුවින් නොනැගූ පැණය මුහුණෙහි රඳවාගෙන ඔහු දෙස බැලීමි. ඔහු සිය අත් ඔරලෝසුව දෙස බැලීය. ‘තාම දොළහයි පණහයි. අපි එතන ඉන්න ඕනෑ එකට. තව මිනිත්තු දහයක් ඉඳල යමු.’ ඒ ඉරිමා මද්දහනේදී අපි නිසන්සලව පැවති අතුරු මගෙහි තවත් මිනිත්තු නවයක් පමණ කතා බහේ නියැළී සිටියෙමු. ඉන්පසු හරියටම දොළහට හමීඩ් අප හමුවීමට ගිය පුද්ගලයාගේ නිවසෙහි දොර සීනුව නාද කළේය. එසැණින් දොර විවර විණි. අප ඉදිරියෙහි සිනහමුසු මුහුණින් වූයේ සිහින් මුහුණකට උරුම කී කෙසඟ, තරමක් උස් මිනිසෙකි. ඉදින් මට එසේ මගේම වෘත්තියෙහි එනම් සාහිත්‍ය පරිවර්තනයෙහි යෙදුණ, එසේම නිර්මාණකරුවකුද වන තවත් අපූර්ව මිනිසකු හමුවිණි.

ඔහුගේ නි‍ෙවසට ගොවැදණු සැණින් මගේ නෙත යොමු වූයේ ඔහුගේ සාලයෙහි ගොඩගසා තිබූ පොත් කන්ද දෙසට ය. මගේ දෑස අනුව ගිය ඔහු වහා ඉන් එක් කෘතියක් අතට ගෙන සිය අත්සන යොදා එය මට තිළිණ කළේය. එහි නම වූයේ ‘ෆොර්ටීන් ලිට්ල් හට්ස් ඇන්ඩ් අදර් ස්ටෝරීස්’ ය. මීට පෙර අන්තර් ජාලයෙන් අන්ද්‍රෙයි ප්ලැතෝනෝෆ්ගේ ‘ෆොර්ටීන් ලිට්ල් හට්ස්’ නාට්‍යය බාගත කරගෙන සිටියද මේ එකතුට මට අහම්බෙන් ලැබුණ වාසනාවක් ම විණි. යටපත් කර දමන ලද්දන්ගේ සාහිත්‍යය හාරා පාදමින් සිටි නිර්මාණකරුවා මට හමුවූයේ එපරිද්දෙනි. මේ වෑයම ඔහු සහ ඔහුගේ නිර්මාණ පිළිබඳ ව යමක් ලිවීමට ය.

රොබර්ට් චාන්ඩ්ලර් යනු ස්කොට් සම්භවයක් ඇති ඉංග්‍රිසී වැසියෙකි. ඔහු ලොව පුරා ප්‍රචලිතව සිටිනුයේ වර්තමානයෙහි ඉන්නා ප්‍රධානම රුසියානු-ඉංග්‍රීසි පරිවර්තකයකු ලෙසිනි. එසේම ඔහු කවියෙකි. සඟරා සංස්කාරකවරයෙකි. භාෂා පරිවර්තනය සහ සාහිත්‍යය පිලිබඳ ගුරුවරයෙකි. හමීඩ් ඉස්මායිලොව්ගේ අග්‍ර කෘතිය වන ‘රේල්වේ’ නම් අතිශය සංකීර්ණ නවකතාව ඉංග්‍රිසි බසට නැඟීම සම්බන්ධයෙන් සම්මානයට පාත්‍ර වූවෙකි. රුසියානු සාහිත්‍යයෙහි පුරෝගාමියා ලෙස සැලකෙන ඇලෙක්සැන්දර් පුෂ්කින් පිලිබඳ ගැඹුරු අධ්‍යයනයක් සහිත, ඔහු පිළිබඳ අපදානයක් ද රචනා කළ අයෙකි. නොවැම්බර් මස මුලදී ඒ කෘතියෙහි මවිසින් කරන ලද සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත් වන්නේ ද ඔහුගේ කාරුණික අවසරයෙනි.

රොබට් චාන්ඩ්ලර් සාහිත්‍ය පරිවර්තකයකු ලෙස වැදගත්වන විශේෂ හේතුවක් තිබේ. මෙහිලා සටහන් කළ යුත්තේ ඒ පිළිබඳ ව ය. ඔහුගේ සාහිත්‍ය පරිවර්තනයන් අතර විශේෂ වැදගත්කමක් දක්නට ලැබෙනුයේ තෝරා ගැනීම් සම්බන්ධයෙනි. ඔහු විසින් කරන ලද පරිවර්තන සැලකිය යුතු ප්‍රමාණයක් අයත් වනුයේ සෝවියට් යුගයෙහි පාලකයන් විසින් සිතා මතා යටපත් කර දමන ලද අගනා සාහිත්‍ය නිර්මාණ අතරට ය. ඒ අතර වඩාම වැදගත් වන දෙදෙනා අන්ද්‍රෙයි ප්ලැතෝනොෆ් සහ වසීලි ග්‍රොස්මාන් බව කිව යුතුය. වමෙ කියන ග්‍රොස්මාන් සහ ප්ලැතෝනෝෆ් යනු සෝවියට් යුගය තුළ නිර්මාණකරනයෙහි නියුතුවූ ප්‍රතිභාසම්පන්න එහෙත් යටපත් කර දමන ලද දෙදෙනකි. ඔවුන්ගේ නිර්මාණයන්ගෙන් කෙටි කතා කිහිපයක් ඒ යුගයෙහි පළ කර ඇතද මුළු සෝවියට් අවධිය පුරාම මේ දෙදෙන සිටියේ අමතක කරන ලද්දන් ලෙසිනි. එහෙත් ප්ලැතෝනොෆ් මෙන්ම ග්‍රොස්මාන්ද එසේ ලෙහෙසියෙන් යටපත් කර දැමිය යුතු ලේඛකයන් නොවේ. දෙවන ලෝක මහා සංග්‍රාමය අලලා ග්‍රොස්මාන් විසින් රචිත ‘ලයිෆ් ඇන්ඩ් ෆේට් සහ ස්ටැලින්ග්‍රාද්’ යන දැවැන්ත නිර්මාණ කෘති ද්විත්වය අතැර සෝවියටු යුගය කියවීම යනු අසම්පූර්ණ කාර්යයකි. ප්ලැතෝනොෆ්ගේ ‘සෝල්’, ‘ෆවුන්ඩේෂන් පිට් සහ හැපි මොස්කව්’ යන කෘති ගැනද කිව යුත්තේ එයම ය. ප්ලැතෝනොෆ් ගේ ‘රිටර්න්’ නමින් ඉංග්‍රිසි බසට පරිවර්තනයවී ඇති අගනා කෙටි කතාව දැදිගම වි රුද්‍රිගූ සහ මර්ලින් එස් චන්ද්‍රරත්න යන දෙදෙනා අතින්ම සිංහලට පරිවර්තනය වී ඇතද ඔහු තවමත් අපට ආගන්තුකයයි කීම අසත්‍යයක් නොවේ. එහෙයින්ම පුෂ්කින්ගේ කෘතිය සඳහා ලද පරිවර්තන අවසරය පරිදිම රොබර්ට් ගේ අවසරය මත ප්ලැතොනොෆ්ගේ සහ ග්‍රොස්මාන්ගේ කෘතිද ඉදිරියට පරිවර්තනය කිරීමට මට පෙලඹවීම සහ ධෛර්යය දීම ගැන මෙහිදී හමීඩ් හට ද මගේ කෘතඥතාව හිමිවිය යුතුය.

රොබර්ට් ගේ සම පරිවර්තක ලෙස බොහෝ විට කටයුතු කරනුයේ ඉතා සුහද කතක වන ඔහුගේ බිරිය ලිස් ය. ඒ සාමූහික කාර්යය සැබැවින් ම වටනා අත්දැකීමකි. දෙදෙන අතර වන සංවාද, වාද විවාද අතරින් ඔවුන්ගේ පරිවර්තන කාර්යය ඉදිරියට ඇදී යයි. රොබර්ට් සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ තේරීම අපට වැදගත් යමක් පවසයි. ඒ පරිවර්තනය යනු හුදෙක් තම සිත් ගත් කෘතියක් පරිවර්තනය කිරීම ඉක්මවා යන දේශපාලන කාර්යයකි යන බරපතළ සිහිකැඳවුමයි. ලෝක ඉතිහාසයෙහි එක් යුගයක මුළුමනින්ම නොතකා හරින ලද නැතිනම් සිතා මතා යටපත් කර දමන ලද පාර්ශ්වයක් රොබර්ට් සිය පරිවර්තනයන් හරහා අපට ගෙනහැර දක්වයි. එය එක් අතකින් අකාලයෙහි මියැදුණු සමාජවාදය පිළිබඳ අත්‍යවශ්‍ය පශ්චාත් පරීක්ෂණයකට මග පෑදීමකි. හමීඩ් ඉස්මායිලොව්ගේ ‘රේල්වේ’ කෘතිය පරිවර්තනය කිරීමද එපරිදිමය. මේ අසීරු කාර්යයන් හරහා ඔහු ගෙවීගිය යුගයක අන්ධකාරය අපට ගෙන හැර පාන්නේ වඩා පැහැබර අනාගතයක් උදෙසා වන ප්‍රයත්නයකට අවශ්‍ය සංවාදය මතුකරගත හැකිවන අයුරිනි.

ඔහු විසින් පරිවර්තිත ග්‍රොස්මාන්ගේ කෘති ඉතා විශාල සාහිත්‍ය කෘති වන අතර ඔහු සැලකිය යුතු කාලයක් මෙන්ම වෙහෙසක් ඒ වෙනුවෙන් දරා ඇත්තේ ද තමන් ගේ මෙහෙවර පිළිබඳ මනා වැටහීමකිනි. එසේම ඔහු ඒ පරිවර්තන කරනුයේද හුදෙක් අලෙවි වන කෘති සංඛ්‍යාව සලකා නොව තමන් විසින් කරනු ලබනා සමාජ මෙහෙවර පිළිබඳ ව වන දැනුවත් බැවිනි. අලෙවිය අතින් සාර්ථක වන්නේ යැයි කියමින් අතට හසුවන කවර කෘතියක් වුව පරිවර්තනය කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයෙහි දක්නට ලැබෙනා ලංකාවෙහි අපට ඔහු පෙන්වන ආදර්ශය ඉතා වැදගත් ය. ඔහු සිය පරිවර්තන හරහා අපට පවසා සිටින්නේ සාහිත්‍ය පරිවර්තනය යනු භාෂා ප්‍රවීණතාව ඉක්මවා ගිය සබුද්ධික කාර්යයකි යන කරුණ ය.

ඉදින් ඒ අපූරු හමුව අවසන පිටව එද්දී මම ඔහුට වැඩිම අලෙවියක් සහිත ඉංග්‍රීසි පොත් බහුලව හමුවන ලංකාවෙහි පොත් වෙ‍ෙළඳපොළ ගැන පවසා මෙහි අපට වැදගත් කෘති සපයා ගැනීමට ඇති අසීරුව ගැන පැවසීමි. ඔහු එලෙවේලේ මට කීවේ මෙයයි. ‘උඹට ඕනෑ පොතක් ලියල එවපන්. මං ඒක එවන්නං.’ සැබැවින්ම අදත් මට ඇවැසි බොහෝ පොත් ගැන සඳහන් කළ පමණින් එය එවන්නට ඔහු කාරුණික වෙයි. මේ කෙටි සටහන ඔහුගේ සාහිත්‍යය කාර්යය මෙන්ම ඔහු තුළ වන අනෙකා පිළිබඳ සැලකිල්ල සම්බන්ධයෙන් ද පළ කෙරෙනා කෘතවේදීත්වයක් ද වෙයි.

 

Comments