කවි මඬල | Page 2 | සිළුමිණ

කවි මඬල

නොමි­යනා මධුර ස්වර හඬ

විහිද යන සඳ මිනිස් හඬ නිම
කොතැන එතැ­නය
සප්ත ස්වර­යෙහි සුසර බව
සත­ත­යෙන් විශ්වයේ උප­දින්නේ

සක්සු­දක් සේ එබව හැඳි­නුව
මහා ගාන්ධ­ර්ව­යාණෝ
අම­ර­දේ­ව­යාණෝ
මිහිමතින් නික්ම ගොස්
තෙව­ස­රක් ගත­වු­ණිය

නමුත් ඒ හඩ
විශ්වයේ හැම සැණ­ය­කම
නිම්නාද වන බව
සතා සිවු­පා­වොත් දනී

වරෙක ගැඹු­රුය
වරෙක සුමු­දුය
වරෙක මධු­රය

රාග අත­රින් ව්‍යුත්ප­න්නව
සැහැ­ටි­යා­වෙන් අරුත් ගැන්නුව
මධුර නිර්මල අමිල ස්වර හඩ

ස්වර්ස්ථා­නය නොබි­දවූ
ජාතිය ට දායාද කළ
සප්ත සයුරේ පත්ල කිමිදී
නාද, හඩ, ස්වර දිමුතු සොය සොය

සසර සත සුව­පත් කර­න්නට
දිවි­තුරා ජීවි­තය කැප කළ
මේ සොදුරු ශිල්පි­යාණෝ
මහා ගාන්ධ­ර්ව­යාණෝ

මිය ගියත්, කිසි දිනෙක
නොමි­යෙනා මධුර ස්වර හඩ
දෙරණ නුඹ ගැඹ සඟ­වලා...

 

කලා­භු­ෂණ-කිවි­පති ඩබ්ලිව්.කේ. සරත් විම­ල­සිරි

---------------

මළ­වුන්ගේ අවු­රුද්ද

අවු­රුදු උදා­වයි මඳ­නල දසත හමයි
අතැ­ඟිලි පට­ලලා මුමු­නන දිනය අදයි
සීතල පිරුණු හිම කඳු­වැටි සිසිල ගෙනෙයි
මළ­වුන්ගේ දිනදි හමු­වෙමු සතුට එයයි

මළ­වුන් පැමිණ සැරි­ස­රනා සොහොන් බිමේ
මල් ඉති සැලී ආසිරි මල් ඉසින සමේ
අව­සන් සුසුම් පොද මෙනි ගත වෙළෙනු දැනේ
සුන්දර නිහඬ බව තනි­කම සිතට ගෙනේ

ඉසිකෝ මාන නැත මළ­වුන් තුළ රැඳුණේ
අව­සන් නින්ද සැන­සී­මෙන් සැත­පෙන්නේ
ජීවත් වන සැමට නැත මෙය වැට­හෙන්නේ
මළ­වුන්ගේ ලොවෙහි නිති සැන­සුම දෙන්නේ

මළ­වුන් නිර­න්තර ගැව­සෙන සොහොන් බිම
සුළඟේ ඇදී ­යයි ඔවු­නගෙ සුසුම් සැම
අව­සා­න­යක් නැත ජීවන ගමන මෙම
මේ ලොව සදා­කා­ලික නැත සියලු සැම
වික්‍රම සෙනෙ­වි­රත්න

----------

සුජිත් පුත­ණු­වනි!

සැම තත්ත්ප­ර­ය­කම, නිමේ­ෂ­ය­කම
ජාති ආගම් කුල­ගොත්
කිසිදු බේද­ය­කින් තොරව
මුළු ලොව දනන් ප්‍රාර්ථනා කළේ
නුඹේ පණ නළ රැක ගන්නයි
අාද­ර­ණීය සුජිත් පුතේ....

වැට­ක­ඩොලු මායිම්
දේශ සීමා පර­දවා
මිනි­ස­ත්කමේ සුවඳ
ලොව පැති­රුවේ නුඹ...

නැව­තත් පසක් කළා නුඹ
මිනි­ස­ත්කම උග­සට තබන මිනි­සුන්ට
ලොව සැම ට ඇත්තේ එකම ලෙයක්
එකම සහ­ක­ම්ප­න­යක් බව...

අනූෂා ගෝකුළ ප්‍රනාන්දු

-------------

හිමි අහිමි

මලෙක අසි­රිය
නොදුටු බඔ­රිදු
ලොවට අරු­ම­ය­මැයි
උදා හිරු මල
නොදිටි පිනි බිදු

විහඟ මියැ­සිය
නොඇසි වන පෙත
එය ද විස්ම­ය­මැයි
අඳුරෙ ඉකි­ලන
බිලිඳු මල් මුව
හද­වතේ ගුලි­වෙයි

වසත් කල විත්
අපට අත වැනු­වත්
ඇවිද තණ මත
රෑන තුන්පත්
තවම සිහි­න­මැයි

දෙමං­ස­ල­යෙන්
එකට ආවත්
ඔබට මං විත­රයි
මටත් ඔබ විත­රයි
අපට අප විත­රයි
සිඟිති දෙතො­ලක
සිනා කැන් ‍රොද
නොදුටු හද රිද­වයි

උපුල් වික්‍ර­ම­නා­යක

-------------

කපුටු කඳුළු

අරා නිවෙස් තුරු සඳළු පවුරු හිස්
අමි­හිරි මුව සර නගමි උදා­නය
ඇවි­දින් තව දින­යක් අරු­ණලු හා
ප්‍රභා­න­යයි මේ පිබි­දෙන් සබ­ඳිනි!

බැහැර කළත් පිළි­කුල් සේ ඉව­තට
දුගඳ හමන මළ මියැ­දුණු වන වග
අම’යුරු බොජු­නකි වළ­ඳිමු තුටු වී
පිළි­කුත් පළ­තුරු වග එක විල­සින්

පතා ඉසුරු පුද දෙන ලෙස දෙවි­ඳුන්
දැවුණු පිළී කඩ ගිතෙල් සමඟ මුසු
නුග­පත් මත අතුරා දෙන දානය
මහඟු මියුරු පාතා­ර­ස­යකි මට

රඹ­කැන් පත් විසිවී ගිය ඉව­තට
පොලි­තී­න­ය­කින් අහර බැඳී ගිය
වළඳා වස වී එහි වූ ඉඳුල් කඩ
වැන­සෙයි නිබ­ඳව අපගේ පර­පුර

සැවුළු කපුටු නද අරු­ණලු එන මග
සංනි­වේ­දන අතී­ත­යක් වී
රූප­වා­හිනී අත් දුර කත­නය
සුපු­රුදු සර වී ප්‍රභා­තයේ

අපේ ලොවට ආසිරි ගී කියැ­වුණු
යල් පැන ගිය ඒ ගෙවුණු අතී­තය
නව විදු යුග­යට කිමද අපේ නද
සග­යිනි යමු වෙන­තක පියඹා


ශාරිකා කරු­ණා­ති­ලක
 

------------

රණ­විරු  මෙහෙ­වර


සිසිර සෘතු­වෙහි
සැලුණු සල­ඹෙහි
මුතු­ලතා ඉන් ගිලි­හුණා
පොරණ අඹ­රෙහි
නැගුණු ගින්නෙන්
සිය දහස් මල් පර­වුණා
තියුණු වෙඩි­හඬ උණ්ඩ සම­ඟින්
මිනිස් දිවි­යට මුසු­වුණා
රටේ විරු කළ එඩි­ත­රව හිඳ
දිව­යි­නම එක්සත් කළා.


අශානි භාග්‍යා
කරු­ණා­නා­යක

--------------

උන් හරිම ලස්ස­නයි...

මොනරු ඇවිත්
මත­කද පොඩි පුතේ
පන්සල් වත්තෙ ‘මොනර’ බලන්න
මං උඹව එක්කං ගියා...

කම්බි කූඩුව ගාව­ටම වෙලා
ඇහි පිල්ලන් නොහෙලා
උඹ බලා­ගෙන හිටියා
ගෙදර එක්කරං ආවේ
කොයි තරම් අමා­රු­වෙන්ද?

දැන් පුතේ මහ­ගෙ­ද­ර­ටත්
මොනරු රංචු පිටින් එනවා
‍එතකොට උඹව මතක් වෙනවා..

වෙලා­වක ඇවිත් යන්න එන්න
හුග කාලෙ­කින් ‍නොදැක්ක
මූණ - කට බලා­ග­න්නත් එක්ක..

උඹ ඔය වට­ක­ර­ගෙන ඉන්න
කර­දහි මොන­රුන්ට වැඩිය
ඇත්ත­මයි - උන් හරිම ලස්ස­නයි...


චන්ද්‍ර වාකිස්ට
 

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10

Comments