
අන්තෝනිස් අයියා හැමදා ම උදේ පාන්දරින් පිබිදෙයි. ඉන් පසු ඔහු තුවා ලේන්සුවකින් සුම්බරයක් බැඳගෙන උදැල්ල ද කර තබාගෙන දෙවට පාර දිගේ පල්ලම් බැස වෙල් යාය දෙසට යයි. තමාගේ කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලැබී ඇද්ද, කක්කුට්ටන් ආදී සතුන්ගෙන් හානි සිදුවී ඇද්ද, වල් පැල මතුවී ඇද්ද යනාදී කරුණු ගැන හොඳින් සොයා බලන ඔහු, ජලය අඩු වී ඇති නම් ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කොට ජල පාර නිවැරැදි කිරීමටත්, කක්කුට්ටන් හාරා ඇතොත් ඒවා පාගා දැමීමටත්, කඩාඬු කැඩී ඇත්නම් ඒවා පිළිසකර කිරීමටත් වග බලා ගනී. මේ සියල්ල අවසන් කොට දොළට බැස මුහුණ කට සෝදා ගන්නා ඔහු ආපසු නිවසට එන්නේ දෙපැයකට පමණ පසුව ය. ඒ එන විට ඔහුගේ දරුවන් සියලු දෙනා රාජකාරිවලට ගොස් හමාර ය.
දිනක් සුපුරුදු පරිදි උදේ කුඹුරට ගොස් සිය වැඩ කටයුතු නිමා කර ආපසු එන අන්තෝනිස් අයියාට සිය වැඩිමල් සහෝදරයාගේ පුතා වන රත්නපාල අතරමගදී හමු විය.
“බාප්පා වෙල පැත්තට ගියා වගේ.”
“ඔව් මේ කඩාඬුවක් කැඩිලා තිබිලා බැඳලා දැම්මා”
“මාත් මේ බාප්පා හම්බ වෙන්න හැන්දෑකරේ ගෙදර දිහා එන්න කියලයි හිතාගෙන ඉන්නෙ.”
“ඒ මොකටද රත්නපාල?”
“පොඩි කාරණාවක් ගැන කතා කර ගන්න කියලා”
රත්නපාලගේ වචන ඇසූ අන්තෝනිස් අයියාගේ සිත තුළ කුතුහලයක් ඇති විය. නිතර දෙවේලේ අතරමගදී හමුවන රත්නපාලට ගෙදරට ම ඇවිත් කීමට තරම් ඇති විශේෂ කාරණාව කුමක්ද?
“මොකක්ද කාරණාව, දැන් කියන්න බැරි දෙයක් ද?”
“නෑ මම හැන්දෑකරේ ගෙදර ඇවිත් ම කියන්නම්කො.”
අන්තෝනිස් අයියාට එම කාරණාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නැත.
“ආයෙ මොනවටද කල් දම දමා ඉන්නේ. කියන්න තියෙන දෙයක් දැන්ම ම කියාපන්.”
රත්නපාල මදක් එකෙළ මෙකෙළ ගසන්නට විය.
“කියාපන් රත්නපාල.... මොකද්ද කාරණාව?”
“මං...මේ.... බාප්පගෙන් අහන්න කියලා හිතාගෙන හිටියේ අර දෙණියේ කුඹුරේ බාප්පාට අයිති කොටහ විකුණන්න හෙම හිතේ තියෙනවද කියලා.”
ඒ ඇසූ අන්තෝනිස් අයියා මදක් කල්පනාකාරී විය. දෙණියේ කුඹුර යනු ඔහුගේ පිය පරම්පරාවෙන් පැවත එන කුඹුරකි. එය වගා කෙරෙන්නේ තට්ටු මාරු ක්‍රමයට ය.
අන්තෝනිස් අයියාට සහෝදරයකු හා සහෝදරියන් තිදෙනකු සිටින බැවින් ඔහුට එම කුඹුර වගා කිරීමට ලැබෙන්නේ අවුරුදු පහකට වරකි. එහෙත් සහෝදරියන්ගේ වාර තුන ද රත්නපාල ම අඳේට වැඩ කරන නිසා ඔහුට එහි හතර වාරයක් වගා කිරීමට අවස්ථාව ලැබේ. එබැවින් එම කුඹුර තමන්ට වඩා රත්නපාලට වටිනා එකක් බව අන්තෝනිස් අයියාට රහසක් නොවේ.
“ඇයි රත්නපාල එහෙම ඇහුවෙ?”
“නෑ... මේ... නැන්දලාගේ කොටස් තුන නම් මට ම ගන්න කියලා කීවා. බාප්පාගේ කොටහත් ලැබුණොත් මට කුඹුරෙ සම්පූර්ණ අයිතිය ලැබෙනවානේ. එහෙම උණොත් මට ඒක තව ටිකක් දියුණු කරගන්න පුළුවනි.”
අවුරුදු පහකට වරක් තට්ටු මාරුවට එන හවුල් කුඹුරක් තව දුරටත් තබා ගැනීමට වඩා එය විකුණා මුදල් කර ගැනීම හොඳ යැයි අන්තෝනිස් අයියාට ද නොසිතුණා නොවේ. එහෙත් ප්‍රශ්නය වී තිබුණේ මෙතෙක් ඊට නිසි ගැණුම්කරුවකු ඉදිරිපත් නොවීමයි. රත්නපාල එය මිලට ගැනීමට කැමති නම් එය ඔහුට දීම හැම අතින් ම සුදුසු ය. ඒ ඔහු තම එකම සහෝදරයාගේ පුතා වීම නිසා පමණක් නොව ඔහු ගමේ ඉන්නා ඉතා හොඳ ගොවියකු ද වීම නිසා ය.
“හ්ම්... එහෙම නම් ඉතින් මගේ කොටහත් උඹ ම ගනිං... මටත් දැන් ඕවා තියාගෙන මොනවටද? මොකද අපේ ගෙදර කුඹුරු කරන කෙනෙක් ඉන්නවා කියලා යැ. මගෙන් පස්සේ ඕවා ඔක්කොම පාළුවට යයි.”
“බාප්පා කීයක් බලාපොරොත්තු වෙනවා ද දන්නෙ නෑ.”
“මොනවද බං ඕවාට මට උඹට ගණන් හිලව් කියන්න පුළුවන්ද? ඕවා දෙමවුපියන්ගෙන් හම්බ වෙච්ච දේ නේ. අනිත් අයට දෙන ගණනක් මටත් දියන්...”
“නැන්දලා නම් වී ලාහක් දහ දාහ ගාණේ දෙන්න කිව්වා.”
“හ්ම්... එහෙනම් ඉතින් මටත් ඒ ගාණ ම දියන්”
“ලබන බදාදා නැන්දලාගේ කොටස් ලියලා දෙන්න පොරොන්දු වෙලයි ඉන්නේ.”
“එහෙම නම් මගේ කොටහත් එදාට ම ලියාගන්න බැරියැ”
රත්නපාල අන්තෝනිස් අයියාගේ දරුවන් මෙන් ඉගෙන ගැනීමට දක්ෂකම් නො දැක්වූවත් ගොවිතැන් වැඩට උපන් හපනෙකි. ගොවිතැන යනු හැමට ම කළ හැකි සරල කටයුත්තක් නො වන බව අන්තෝනිස් අයියා දනී. ඒ සඳහා හොඳ ඉවසීමක් හා අත් ගුණයක් තිබිය යුතු ය. රත්නපාලට ඒ සියල්ල හොඳින් පිහිටා ඇත.
මුල් කාලයේ ඔහුගේ බිරිය වන පොඩි නෝනා ගෙදර දොර හා කුඹුරු වතුපිටිවල වැඩ සඳහා ඔහුට උදව් කළ නමුත් මෑතක සිට ඇය ද එවැනි දේ නොකරයි. කුස්සියේ වැඩට වැඩකාර කෙල්ලක් සිටින නිසා දැන් ඇය අතක් පයක් හොල්ලා කිසි ම වැඩක් කරන්නේ නැත.
කුඹුරේ සිට පැමිණ පස්සා දොරෙන් ගෙට ගොඩ වුණ අන්තෝනිස් අයියා කුස්සියේ මේසය උඩ තිබුණ කහට කෝප්පය අතට ගෙන, සීනි ටිකක් ද අල්ලට දමා ගෙන, බංකුව මත වාඩි වූයේ පොඩි නෝනා දෙස ද බලමිනි.
“අද වෙලට ගිහින් එද්දී මට රත්නපාල මගදී හම්බ වුණා.”
“ඉතින්”
“දෙණියේ කුඹුරේ අපේ පංගුව විකුණනවා ද කියලා ඇහුවා. විකුණනවා නම් එයා ඒක ගන්න කැමතිය කියලාත් කීවා.”
“ඉතින් ඔයා මොකද කිව්වෙ?”
“අනික් අයගේ කොටස් තුන දැනටමත් එයාට දෙන්න කැමැති වෙලාලු තියෙන්නේ. ඉතින් මාත් අපේ කොටස එයාට ම ගන්න කියලා කීවා.”
ඒ ඇසූ පොඩි නෝනා දෑස් දල්වා කුහුල් සිතින් ඔහු දෙස බැලුවාය.
“ඔයා මොකොට ද ළමයින්ගෙන් අහන්නේ නැතිව එක පාරට ම හිතු මතේට කුඹුරු විකුණන්න පොරොන්දු උණේ?”
“ළමයින්ගෙන් අහන්නේ මොනවට ද? ඕවා ඔය පරම්පරාවෙන් එන හවුල් කුඹුරු. අපටත් අයිති පහෙන් පංගුවයි. ඕවා පිට විකුණන්න පුළුවන් කුඹුරු නෙවි. අපේ කෙනෙකුටම තමයි දෙන්න වෙන්නේ.” “ඒ කොයි හැටි වුණත් ඔයා ඉඩ කඩම් විකුණන්න තනියම තීරණය කරපු එක වැරැදියි.”
“ඔහේ කිවුවාට පරම්පරාවෙන් එන දේවල් පිට අයට දෙන එක යුතු නෑ නේ.”
“ඔයාට ඉතින් පරම්පරාවෙ මිනිහෙක් මොනවා හරි කිව්වොත් ඒක ඉස් මුදුනින් විශ්වාසයි.”
“කොයි දේටත් ඉස්සර වෙලා ම පිහිටට ඉන්නේ තමුන්ගේ මිනිස්සු තමා. කවදා හරි මගේ මිණියට කර ගහන්න ඉන්නෙ උන්.”
“හරි දැන් කීයට ද විකුණන්න යන්නේ.”
“වී ලාහට දහ දාහක් දෙනවා කීවා. ඒක තමා දැන් ඔය වාගෙ කුඹුරක ගාණ. අක්කගෙයි නංගිලාගෙයි කොටස් දෙකත් ඒ ගාණටමලු දෙනවැයි කීවේ.”
“රත්නපාල ඔයාට එකක් කියලා අනෙක් අයට දැනට මත් අත යට මුදල් දීලා ඇති.”
“රත්නපාල කවදාවත් එහෙම බොරු කරන්නේ නෑ. අනිත් එක උගෙන් මට කොච්චර උදව් උපකාර තියෙනවාද? යන්තම් මගේ කුඹුරු වැඩ ටික කර ගන්නෙත් ඌට පිං සිද්ද වෙන්න. නැතුව අපේ ළමයි කුඹුරකට බහිනවා කියලායැ.”
“දොස්තරලාට ඉංජිනේරුවන්ට කුඹුරට බහින්න පුළුවන් ද? එහෙම කළොත් යසට තියෙයි. කෝක උණත් මන් ළමයින්ගෙන් අහල බලන කල් ඔයා ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න එපා.”
“මන් දැන් ඒක රත්නපාලට දෙනවා කියලා පොරොන්දු වෙලා ඉවරයි. ඒක මට වෙනස් කරන්න බෑ.”
අන්තෝනිස් අයියා ගේ තුළට ගියේ තරමක කේන්තියෙනි. ඔහු පොඩි නෝනාගෙන් එවැනි ප්‍රතිචාරයක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නැත.
ආරංචිය ඇසූ දරුවෝ ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට වූහ.
පළමුවෙන් සිය මතය ප්‍රකාශ කළේ දොස්තර මහතා ය.
“ මම හිතාගෙන ඉන්නේ ඔය තැන් තැන්වල තියෙන අනවශ්‍ය කුඹුරු වතු පිටි ටික විකුණලා දාලා ටවුම කිට්ටුවෙන් හොඳ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න කියලා. ඒ හින්දා හදිස්සි වෙලා කුණු කොල්ලෙට ඉඩම් විකුණන එක අපට පාඩුයි.”
ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරිය කතා කළා ය.
“කොහොමටත් අයිතිකාරයා වගා කරන කුඹුරුවල මිල වැඩියි. ගොඩ කරන්න අවසරය ලබා ගත්තාම කුඹුරු උණත් ලොකු ගණනකට විකුණන්න පුළුවනි. මට ලේසියෙන් ගොඩ කිරීමේ අවසරය අරන් දෙන්න පුළුවනි. දවසකට මම ගොඩ කිරීමේ අවසර පත්‍ර කීයක් අනුමත කරනවාද?”
අනතුරුව ඉංජිනේරුවා තවත් අදහසක් ඉදිරිපත් කළේ ය.
“ළඟදි ඔය වෙල් යාය හරහට ඉරිගේෂන් ඇළ මාර්ගයක් ඉදි කරන්න යෝජනා වෙලයි තියෙන්නේ. එහෙම වුණොත් ඉදිරියේදී ඔය කුඹුරුවල වටිනාකම ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා දැන් ම ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න ඕනෑ නෑ.”
අන්තෝනිස් අයියගේ පැත්තට යමක් කීවේ පොඩි දුව පමණි.
“තාත්තා දැන් රත්නපාල අයියාට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා නම් ඒක වෙනස් කරන එක හොඳ නෑ. තාත්තාගේ වැඩ තාත්තාට ඕනෑ හැටියට කරගන්න දෙන එකයි හොඳ”
ඒ ඇසූ පොඩි නෝනා වහා ඈ වෙත කඩා පැන්නාය.
“පොඩ්ඩි උඹ කට පියාන හිටපන්. උඹ මේවට කට දාන්න ඕනෑ නෑ.”
පොඩි දුව කවදත් අන්තෝනිස් අයියාට ආදරේය. විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරණ ඇය ජීවිතය දෙස අපිස් ලෙස බලන්නියකි. සිය පියාගේ උදාර ජීවන පුරුෂාර්ථ කෙරෙහි ඇය තුළ ඇත්තේ මහත් භක්තියකි. ගෙදර සිටින අනෙක් අයගේ ඕළාරික ඇවතුම් පැවතුම් ඇය නුරුස්සයි.
“පොඩි පුතේ (දුවක වුව ද ඔහු ඇය අමතන්නේ පුතා කියාය) මම දැන් රත්නපාලට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. අනෙක් අයගේ කොටසුත් දැන් රත්නපාලට ම දෙන්න පොරොන්දු වෙලයි තියෙන්නේ. ලබන බදාදා ඔප්පු ලියනවා ය කිව්වා. මං දැන් කොහොමද ඒ මිනිහාට මූණ දෙන්නේ?”
“තාත්තා ඕකට හිත කලබල කරගන්න එපා. මම පස්සේ අයියලා අක්කලා එක්ක ඔය ගැන කතා කරලා බලන්නම්කො. තාත්තා දැන් තේ එක බොන්න” එසේ පැවසූ පොඩි දුව ගෙතුළට ගියා ය. පොරොන්දු වූ පරිදි එදින සවස පොඩි දුව තාත්තාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අම්මාගේ හිත වෙනස් කරන්නට උත්සාහ කළා ය.
“මොනව ද අම්මේ තාත්තාගේ හිත රිද්දන්නේ. ඔය ඉඩකඩම් අයිති තාත්තාට. ඒ හින්දා ඒවා ගැන එයාට ඕනෑ හැටියට තීරණයක් ගන්න ඉඩ දුන්නා නම් ඉවරයි නේ.”
“එහෙම කොහොමද? රත්නපාල දැනට මත් ඔය මනුස්සයා රවට්ටලයි ඇත්තේ. උඹලාගේ නැන්දලාගේ හැටි මං නොදන්නවා කියලාද? රත්නපාල ඒ ගොල්ලන්ට අත යට මුදල් දීල ඇති.
“රත්නපාල අයියා එහෙම කරන්නේ නෑ.”
“උඹ දන්න කෙහෙල් මල. උඹත් ඉතින් තාත්තාගේ ම දුවනේ.” කුඹුර විකිණීම සම්බන්ධයෙන් ගෙදර අයගෙන් තීරණයක් ලැබේ යැයි අන්තෝනිස් අයියා දින දෙකක් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ගෙන් ඊට කිසි ම ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත වරක් අඟහරුවාදා රාත්‍රියේ ඔහු පොඩි දුව සමඟ ඒ ගැන කතා කෙළේ ය. ඉස්තෝප්පුවේ ඇඳෙහි නිදා ගන්නා ඔහුට හැමදාම රාත්‍රියට බීමට වතුර වීදුරුවක් ගෙනවුත් දෙන්නේ පොඩි දුවයි. එදින වතුර වීදුරුව මේසය මත තැබූ ඇය තාත්තාගේ ඇඳෙහි කෙළවරක වාඩි වී ඔහු දෙස සෙනෙහසින් යුතුව බැලුවා ය.
“පොඩ්ඩියෙ අර ඔප්පු ලියවිල්ල තියෙන්නේ හෙට. මොකද අයියලා අක්කලා ඒ ගැන කිව්වේ?
“ඒ අය නම් කිව්ව දෙයක් නෑ. ඒ ගොල්ලන්ට දැන් ඒක මතකත් නෑ. මම අම්මා එක්ක ඔය ගැන කතා කළා. ඒත් අම්මව නම් වෙනස් කරන්න අමාරුයි. තාත්තා දැන් ඔය ගැන කල්පනා කරන්නේ නැතිව නිදා ගන්න. තාත්තාට ඕන්නම් පස්සෙ දවසක වුණත් ඕක රත්නපාල අයියාට ලියලා දෙන්න පුළුවන්නේ.”
“ඒක නම් එහෙම තමා. ඒත් මං නිකම් බොරු කාරයෙක් උණ එක ගැනයි මට කණගාටු.”
ඒ බදාදා දිනයයි. එනම් ඔප්පු ලිවීමට නියමිත දිනයයි. රත්නපාලට දීම සඳහා කිසිදු සාධාරණ පිළිතුරක් ඔහුගේ සිහියට එන්නේ නැත. තමා මහා බොරු කාරයෙක් වී ඇතුවා නොවේ ද? මුළු ජීවිත කාලය තුළ ම මෙවන් තත්ත්වයකට ඔහු කිසි දිනක මුහුණදී නැත.
එසේ සිතන විට ඔහුගේ ශරීරයෙන් මහත් දාහයක් පිට වන්නට විය. ඒ සමඟ ම ඔහුගේ පපුව දෙසින් මහත් වේදනාවක් ඇති වූයේ ය. මොහොතකින් දෙ ගුණ තෙ ගුණ වූ එම වේදනාව සමඟ ම පපුව දඬු අඬුවකින් හිර කරන්නා මෙන් ඔහුට දැනුණි. ඔහු වතුර ටිකක් බීමට සිතා අත ඔසවා මේසය මත වූ වතුර වීදුරුව ගන්නට උත්සාහ කළත් එය කළ හැකි නොවී ය. අනතුරුව ඔහු ‘පොඩ්ඩී’ යයි උස් හඬින් කතා කළත් ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත. දහස් ගණනක් කළා මැදිරි එළි ඇස් ඉදිරියේ පාවී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු දෑස් තද කර පියා ගත්තේ ය.
උදේ පොඩි නෝනා දොර හැරගෙන එළියට අවුත් අන්තෝනිස් අයියාගේ ඇඳ දෙස බැලුවේ ඔහු කුඹුර වෙත ගොස් ඇද්දැයි දැන ගැනීමටයි. වෙනදා පාන්දර නැගිටින ඔහු දවල් වනතුරුත් ඇඳේ වැතිරී සිටිනු දුටු පොඩි නෝනා ඔහු අසලට පැමිණ කතා කළා ය.
“ඒයි... මේ ඇහුණ ද?”
එහෙත් අන්තෝනිස් අයියාගෙන් කිසි ම පිළිතුරක් නො ලැබුණි. ඔහුගේ නිශ්චල බව පොඩි නෝනාට සිතා ගත නොහැකි විය. ඇය ඔහුගේ ඇඟට අත තබා බැලුවා ය. එය සිසිල් දිය කඳක් මෙන් ශීතල වී තිබුණි. ඇයට මහත් බියක් දැනිණ. අන්තෝනිස් අයියාගේ සිරුරෙන් ප්‍රාණය නිරුද්ධ වී තිබුණි.